ටින්කර් වැඩේ අතහැර පාතාලෙට ඇන්කර් ගැහුව ටින්කර් ලසා…තවත් පාතාලයකුගේ අවසන් ගමන

1230

මාකඳුරේ මධුෂ් බන්ධනාගාරයේදී ‘සෙට්’ වෙයි

ෂන්ෂයින් සුද්දාගේ සාතකයා

  • සුන්දර මිරිස්ස මුහුදු තීරයේ පිහිටි එක්තරා සංචාරක හෝටලයකි. හෝටලය උඩුමහලේ අතිසුඛෝපභෝගී කාමරයක නවාතැන් ගෙන සිටි එක්තරා පුද්ගලයකු බරපතළ දුරකථන සාකච්ඡාවකි.

මේ පුද්ගලයා වෙන කවරකුවත් නොව මිරිස්සේ ලසන්ත ය. දුරකථනය අනෙක් කෙළවර සිටියේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ නියමුවන් කීපදෙනාගෙන් එකකු වන නදුන් චින්තක නොහොත් හරක්කටාය. බොස් මං සේරම විස්තර හොයාගත්තා. අපේ බඩු ටික මාට්ටු කරලා දුන්නෙ සන්ෂයින් සුද්දා. ඌ කරපු වැඩෙන් අපිට කෝටි තුන්හාරසීයක පාඩුවක් වුණා. ඒ වගේම අපේ කොල්ලො ටිකත් පොලිසියට කොටු වුණා. මිරිස්සේ ලසන්ත තමන් සොයාගත් සියලූ තොරතුරු වට්ස්ඇප් දුරකථන මාර්ගය ඔස්සේ හරක්කටාට කීවේය. ‘‘ ඕකව කපලා මුහුදෙ දැම්මත් මදි. අපට කරපු ඩැමේජ් එකට. පුළුවන් තරම් ඉක්මනට ඌව සීන් එකෙන් අයින් කරලා දාපං. ඕක ගැන අහන අහන ගානෙ මගේ ඇෙඟ් මාළු නටනවා.’’

හරක්කටා කෝපයෙන් කෑගැසුවේය.

‘‘හරි හරි ලොක්කා…. ඌට අමතක නොවන පාඩමක් උගන්වන්න මං සේරම ලෑස්ති කළා. දන්නවනෙ ලසන්ත වැඩකට අත ගැහුවම වරදින්නෙ නැහැ කියලා.’’

හරක්කටා දැඩි ලෙස කෝපයට පත්ව සිටින බව තේරුම් ගත් මිරිස්සේ ලසන්ත ඔහු අස්වසාලන අරමුණෙන් එසේ කීවේය. මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ වර්තමානයේ මහා කෙළිකාරයන් කීපදෙනාගෙන් එකකු වන්නේ මිදිගම නඳුන් චින්තක හෙවත් හරක්කටා ය. මේ පාපතරයා මේ වන විට සිටින්නේ විදේශගතවය. බුද්ධි අංශ පවසන ආකාරයට හරක්කටා සියලූ ජාවාරම් සිදුකරන්නේ ඩුබායි රාජ්‍යයේ අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටින අතරය. හරක්කටාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහමොළකරු වන්නේ මිරිස්සේ ලසන්තය. හරක්කටා ඩුබායි රාජ්‍යයේ සිට ශ‍්‍රී ලංකාවට පොම්ප කරන හෙරොයින් ටොන් ගණන් බෙදාහැරීමේ ජාලයේ නියමුවා වන්නේ මිරිස්සේ ලසන්තය.

ඉකුත් 2020 වර්ෂයේ මුල් කාර්තුවේ හරක්කටා විසින් ශ‍්‍රී ලංකාවට එවූ රුපියල් කෝටි තුන්හාරසියක් වටිනා හෙරොයින් තොගයක් මහ මුහුදේදීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අත්අඩංගුවට ගෙන තිබුණේ ය. හෙරොයින් තොගය ගෙන එමින් තිබූ ධීවර යාත‍්‍රාව මෙන්ම හරක්කටාගේ ගෝලබාලයන් කීපදෙනෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත කොටුවූහ. මේ සිදුවීමෙන් හරක්කටා දැඩි ලෙස කෝපයටත් කම්පනයටත් පත්ව සිටියේය. මත්ද්‍රව්‍ය තොගය පොලිසියට කොටු වූ ආකාරය සෙවීමට හරක්කටා තම ගෝලබාලයන් පිරිසක් යෙදෙව්වේ ය. දින කීපයක් ගත වන්නට පෙර සිදු වී ඇති සියල්ල අනාවරණය කර ගන්නට මිරිස්සේ ලසන්තට හැකි විය. හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත අල්ලා දීම සඳහා සන්ෂයින් සුද්දා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවට තොරතුරු සොයාගත් හරක්කටා ඔහුට මරණ වරෙන්තුව නිකුත් කළේය.

‘‘සතියක් යන්න ඉස්සර මූට ගහල දාන්න ඕනෙ. අනිත් උන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක රටම හෙල්ලිලා යන වැඩක් කරපං. මේ වැඬේ හරියට කරන්න ඕනෙ කීයක් ගියත් කමක් නැහැ.’’ ඒ වන විට සන්ෂයින් සුද්දා කෙරෙහි දැඩි වෛරයෙන් පසු වූ හරක්කටා සිය කල්ලියේ න්‍යායාචාර්යවරයා වන මිරිස්සේ ලසන්තට උපදෙස් දුන්නේය. සන්ෂයින් සුද්දා පරලොව යැවීමේ මෙහෙයුමේ සාකච්ඡාව දින කීපයක් තිස්සේ පැවැතිණි. මිරිස්සේ ලසන්ත ඩුබායි රාජ්‍යයේ සිටින හරක්කටා සමඟ වට්ස්ඇප් දුරකථන මාර්ගයෙන් දිගින් දිගටම මේ පිළිබඳව කතා කළේය.

‘‘සුද්දාට ගහලා දාන්න හොඳ සෙට් එකක් හොයා ගන්න. මට මේ වැඬේ හරියටම කෙරෙන්න ඕනෙ.’’ හරක්කටා කීවේය.

‘‘හරි.. හරි ලොක්කා ඒ සේරම මං ලෑස්ති කරලා තියෙන්නේ. සුද්දගෙ ජන්මාන්තර වෛරක්කාරයෙක් ඉන්නවා සුමිත් කියලා. සුමිත්ගෙ ගෑනි තියාගෙන ඉන්නෙ සන්ෂයින් සුද්දා. ඒ නිසා මිනිහා සුද්දා එක්ක මාර වෛරයකින් ඉන්නේ. අපේ වැඬේට මිනිහව පාවිච්චි කරන්න පුළුවන්. සුද්දා යන එන තැන් හොයන්න ඉන්ෆොමේෂන් ගන්න සුමිත්ව දැම්මා. මිරිස්සේ ලසන්ත සියලූ සැලසුම් එකින් එක හෙළිකරන්න ගත්තේය.

‘‘සුද්දට ගහලා දාන වැඬේ භාරදුන්නෙ ටින්කර් ලසා ට මිනිහ වැඩකාරයා. හැබැයි සල්ලි ටිකක් විසිකරන්න වෙනවා.’’ මිරිස්සේ ලසන්ත කීවේය.

‘‘හරි හරි කෝටියක් ගියත් කමක් නැහැ උඹ වැඬේ කරපං. මට ඕන එච්චරයි.’’

හරක්කටාට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ සන්ෂයින් සුද්දාට අමතක නොවන පාඩමක් ඉගැන්වීමටය. ඒ සඳහා ඕනෑතරම් මුදල් වියදම් කිරීමට ඔහු ඉදිරිපත්ව සිටියේය. සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාර දී තිබුණේ ටින්කර් ලසා නමැති පාතාල මැරයාටය. කුලී ඝාතකයකු ලෙස පාතාලයේ කුප‍්‍රකටව සිටින ‘ටින්කර් ලසා’ කැකනදුරේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට වසර 15 කට පමණ උඩදී කැකනදුර ප‍්‍රදේශයේ වාහන ටින්කර් වැඩපොළක් පවත්වාගෙන ගිය හේවාලූණුවිලගේ ලසන්ත ප‍්‍රදේශයේ ජනප‍්‍රිය චරිතයක් විය.

වාහන ටින්කරින් වැඩවලට දක්‍ෂයකු වූ නිසාම ලසන්ත සොයා බොහෝ පිරිස් ආහ. කුඩා කල සිටම දඩබ්බර චරිතයක් වූ ලසන්ත පසු කලෙක කැකනදුරේ චන්ඩියකු බවට පත් වුණේය. ජවසම්පන්න ශරීරයක් තිබූ නිසා කිසිවෙකුත් ඔහු සමඟ පැටලෙන්නට ගියේ නැත. ඉක්මණින් කෝපයට පත්වීම ලසන්තගේ ලක්‍ෂණයක් විය. කැකනදුරේ ප‍්‍රදේශයේ සෑහෙන දෙනකු ලසන්තගේ පහරකෑම්වලට ලක්වූහ. මේ චන්ඩිකම් නිසාම හේවාලූණුවිලගේ ලසන්ත ‘ටින්කර් ලසා’ ලෙස ප‍්‍රදේශයේ කුප‍්‍රකට වන්නට පටන් ගත්තේය. මේ චන්ඩිකම් සමඟම ගිනි අවි පරිහරණයට ද ලසාට අවස්ථාවක් ලැබුණේය.

වාහන ටින්කර්වලින් හොඳ ආදායමක් නොලැබුණු නිසා ‘ලසා’ වෙනත් කෙටි මාර්ගවලින් මුදල් උපයන ආකාරයන් ගැන සිතන්නට වුණේය.

කොල්ලකෑම් සඳහා ලසන්ත සම්බන්ධ වන්නේ ඔය අතරතුරදීය. 2007 වර්ෂයේ මාතර ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට ආයුධ සන්නද්ධව කඩාවැදී මුදල් කොල්ලකෑම ටින්කර් ලසාගේ මුල්ම බල අපරාධය ලෙස ඔහුගේ අපරාධ ගිණුමට බැර වුණේය. කොල්ලකෑම් පහරදීම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ලසා බන්ධනාගාර කීපයකම රඳවා සිටියේය. මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ටින්කර් ලසාට දැන හඳුනාගන්නට ලැබෙන්නේ බන්ධනාගාර සෙවණේ සිටියදීය.

‘‘උඹ ගැන මං අහලා තියෙනව. කැකනදුරේ පැත්තේ චණ්ඩියෙක්ලූ නේද. අපටත් ඕනෙ උඹල වගේ ෆේස්ටු ෆේස් යන කොල්ලො සෙට් එකක්. අපේ සෙට් එකට එකතු වෙයං. උඹට කවදාවත් වරදිනේන නැහැ.’’

මාකඳුරේ මධුෂ් ටින්කර් ලසන්තට කීවේය. එතැන් පටන් ටින්කර් ලසන්ත මධුෂ්ගේ කල්ලිය සමඟ සමීප සබඳතා පවත්වමින් විවිධ අපරාධවල නිරතවන්නට පටන් ගත්තේය. මාකඳුරේ මධුෂ් ලබාදුන් අපරාධ කොන්ත‍්‍රාත් භාරගත් ලසන්ත ඒවා අකුරටම ක‍්‍රියාත්මක කළේය. මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයට ද සක‍්‍රීයව සම්බන්ධ වූ ටින්කරින් ලසා යහමින් මුදල් හම්බ කරන්න පටන් ගත්තේය. මධුෂ් ඝාතනයට ලක්වීමෙන් පසු ටින්කර් ලසා හරක්කටා මෙහෙයවූ සංවිධානාත්මක කල්ලිය සමඟ සම්බන්ධතා ගොඩනඟා ගත්තේය. ඉකුත් 2020 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ එක්තරා දිනෙක ‘ටින්කර් ලසා’ ට මිරිස්සේ ලසන්තගෙන් ඇමතුමක් ලැබුණේය. ඒ වන විට ‘ටින්කර් ලසා’ හරක්කටා සහ මිරිස්සේ ලසන්ත සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟාගෙන සිටියේය. ‘ලසා’ අපේ බොසාට උඹට කියලා ලොකු වැඩක් කරගන්න තියෙනවා. අපි පොඞ්ඩක් හම්බවෙලා කතා කරමු. මේක හරියටම කෙරෙන්න ඕනෙ වැඩක්. බොස් කිව්වා උඹට හොඳට සලකන්නම් කියලා.

මිරිස්සේ ලසන්ත කීවේය. ඒ වන විට හරක්කටාගේ වැඩ කීපයක්ම අකුරටම කර දී තිබූ නිසා ටින්කර් ලසාට හොඳ ප‍්‍රතිචාරයක් ලැබී තිබුණේය. මිරිස්සේ ලසන්තගේ දැනුම්දීම අනුව ලසා ඔහු සොයා ආවේය. මිරිස්ස ප‍්‍රදේශයේ එක්තරා රහසිගත ස්ථානයකදී ලසන්ත සහ ටින්කර් ලසා එකට මුණගැසී සාකච්ඡා කළේය.

සන්ෂයින් සුද්දා අපේ බොසාට බලූ වැඩක් කරලා. කාලෙක ඉඳලා සුද්දා දඟලනවා වැඩියි. ලොක්කා තීරණය කළා මූව සීන් එකෙන් අයින් කරලා දාන්න. මිරිස්සේ ලසන්ත තම අවශ්‍යතාව ලසාට කීවේය. උඹ මධුෂ් එක්ක එකට වැඩ කරපු එක ඇත්ත. සන්ෂයින් සුද්දත් මධුෂ් එක්ක හිටියා. ඒව මෙතනට අදාළ කරගන්න එපා. අපට ඕනෙ මේ වෙලාවෙ මේ වැඬේ කරගන්න. ලසන්තගේ යෝජනාවට ටින්කර් ලසා කැමැත්ත පළ කළේය. ඒ වන විට කොන්ත‍්‍රාත් මිනීමරුවකු ලෙස ටින්කර් ලසා දකුණේ පාතාලයේ කුප‍්‍රකටව සිටියේය.

‘හරි හරි ලසන්ත අයියා. උඹ බයවෙන්න එපා.

ටින්කර් වැඩේ අතහැර පාතාලෙට ඇන්කර් ගැහුව ටින්කර් ලසා…තවත් පාතාලයකුගේ අවසන් ගමන

ගනුදෙනු හරියට වෙනවා නම් මම ඕනෙම දේකට ලැස්තියි. සල්ලි අතට එනව නම් ගහන්න ඕනෙ මොකාටද කියලා මට ප‍්‍රශ්නයක් නැහැ. අපි වැඬේ කරමු. බල්ලන් මරා හෝ මුදල් ඉපයීමේ ඒකායන පරමාර්ථයෙන් සිටින ‘ටින්කර් ලසා’ මිරිස්සේ ලසන්තගේ කොන්ත‍්‍රාත්තුව භාරගත්තේය.

වැඬේට ඕන කරන පිස්තෝලෙ මං දෙන්නම්. තව ගෝලයෙකුත් අපි ලෑස්ති කරලා දෙන්නම්. උඹට තියෙන්නේ වැඬේ හරියට කරන්න. සන්ෂයින් සුද්දා ඝාතන කොන්ත‍්‍රාත්තුව ටින්කර් ලසාට භාරදුන් මිරිස්සේ ලසන්ත ඔහුගෙන් සමුගත්තේය.

ඉකුත් 2020 වර්ෂයේ මැයි මස 30 වැනිදා උදෑසන සන්ෂයින් සුද්දා මිරිස්ස වරායට පැමිණ සිටියේය. ඒ වන විට සන්ෂයින් සුද්දාට අයත් ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් මිරිස්ස වරාය වෙත සේන්දු වී තිබුණේය. සන්ෂයින් සුද්දා පැමිණ සිටියේ තම ට්‍රෝලර් යාත‍්‍රාවලින් රැගෙන ආ මාළු තොගය අලෙවි කිරීම සඳහා ය. සන්ෂයින් සුද්දාගේ අනියම් බිරිඳගේ සැමියා සුමිත් ඒ වන විට ඔහු ලූහුබඳිමින් සිටියේය. හරක්කටා ලබාදුන් කොන්ත‍්‍රාත්තුව අනුව සුමිත් සියලූ විස්තර සොයා බලා හරක්කටාගේ කල්ලියේ මහමොළකරු ලසන්ත වෙත ලබා දී තිබුණේය. මැයි 30 වැනිදා උදෑසන සන්ෂයින් සුද්දා මිරිස්ස වරාය වෙත පැමිණ සිටින බවට ඔත්තුව ලබාදුන්නේ ද සුමිත් විසින් ය. මිරිස්සේ ලසන්ත ඒ මොහොතේ ම ටින්කර් ලසාට ඇමතුමක් ලබා ගත්තේය.

‘අන්න අරූ මිරිස්ස වරායට ඇවිත් ඉන්නවා. දැන්ම ගියොත් වැඬේ ලේසියෙන් කරන්න පුළුවන්. මිරිස්සේ ලසන්ත ලබාදුන් තොරතුරු මත ක‍්‍රියාත්මක වූ ලසා සහ තවත් පාතාල මැරයකු මිරිස්ස වරායට කඩාපැන්නෝය. ඒ වන විට සන්ෂයින් සුද්දා වරාය පිවිසුමේ ඇති තේ කඩයෙන් ප්ලේන්ටියක් පානය කරමින් සිටියේය. හරක්කටාගේ කල්ලියෙන් තමන්ට තර්ජනයක් එල්ල වී තිබෙන බව ඒ වන විට සන්ෂයින් සුද්දා හොඳාකාරවම දැන සිටියේය. ටින්කර් ලසා සහ තවත් පාතාල මැරයකු තමන් ලූහුබඳින බව කල්තියාම දුටු සන්ෂයින් සුද්දා තේ පානය පසෙක දමා ජීවිතය බේරා ගැනීමට දිව ගියේය.

ටින්කර් ලසා සහ අනෙක් මැරයා සන්ෂයින් සුද්දා පසුපස දිව යන්නට වූහ. ලසා සන්ෂයින් සුද්දා ඉලක්ක කර වෙඩි ප‍්‍රහාර කීපයක් එල්ල කළ ද පිස්තෝලය ක‍්‍රියාත්මක වුණේ නැත. එදින වාසනාව තිබුණේ සන්ෂයින් සුද්දාගේ පැත්තේය. මිරිස්ස ධීවර වරාය ඉදිරිපිට අතුරු මාර්ග ඔස්සේ දිවගිය සන්ෂයින් සුද්දා යන්තමින් දිවි ගලවා ගත්තේය. සන්ෂයින් සුද්දා ඝාතනයට ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව දැන ගැනීමෙන් පසු හරක්කටා දැඩි ලෙස කෝපයට පත්වුණේය.

‘‘උඹලට දෙන වැඩක් හරියට කරන්නෙ නැහැනෙ. මං කොච්චර බලාපොරොත්තු තියාගෙන ද හිටියෙ. ඒ සේරම වතුරේ ගියා…’’

හරක්කටා කෝපයෙන් කෑ ගැහුවේය. හරි හරි ලොක්කා ඒක අපෙත් වැරැද්දක්. ලසාට දුන්න වෙපන් එක වැඩ කළේ නැහැ. ඒක අපි චෙක් කරන්නෙ නැතිව දුන්නෙ. ඒකයි මේ අවුල වුණේ. තව ටික දවසක් යන්න ඇරලා අපි සුපිරියටම වැඩක් දෙමු. මිරිස්සේ ලසන්ත හරක්කටාගේ සිත සැනසුවේය. කාලය කෙමෙන් ගෙවී ගියේය. සන්ෂයින් සුද්දා ටික කාලයක් රහසිගත ජීවිතයක් ගත කළ ද පසුව නැවතත් කරළියට ආවේය. සන්ෂයින් සුද්දා සිතා සිටියේ හරක්කටා තමා කෙරෙහි ඇති වෛරය පහව ගොස් ඇතැයි කියා ය. එහෙත් හරක්කටාගේ වෛරය පළිගැනීමේ චේතනාව ඒ අයුරින් ම පැවතුනේය. සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී වසරකට ආසන්න කාලයක් ගත වුණේය. හරක්කටා තම කල්ලියේ න්‍යායාචාර්යවරයා වූ මිරිස්සේ ලසන්තට කතා කළේය. අරූගෙ නම ඇහෙන ඇහෙන ගානෙ මගේ ඇෙඟ් මාළු නටනවා. මූ ජීවත්වෙලා ඉන්න එක අපේ ව්‍යාපාරවලට ලොකු බාධාවක්. ඒ නිසා තවත් කල් අරින්නෙ නැතිව වැඬේ ඉවරයක් කරල දාමු.

හරක්කටා මිරිස්සේ ලසන්තට කීවේය. අපි ටින්කර් ලසාටම වැඬේ භාරදෙමු.

ගියපාර වැඬේ අවුල් වුණේ අපේ වරදින්. අපි දුන්න පිස්ටල් එක වැඩ කළේ නැහැ. මේ පාර හොඳ වෙපන් එකක් සෙට් කරල දෙමු. වැඬේට යන්න කලින් ෆයරින් ඇරල චෙක් කරලා බලමු. සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමේ සැලසුම නැවත ක‍්‍රියාත්මක කිරීමට එකඟ වූ ලසන්ත කීවේය.

මිරිස්සේ ලසන්ත ටින්කර් ලසාට දුරකථනයෙන් කතා කළේය. ‘‘මේ පාර අපි වැඬේ හරියටම ප්ලෑන් කරලා කරමු. ගියපාර වැඬේ අප්සට් වෙච්ච එකට ලොක්කගෙ හිතට හරි නැහැ. මූව ඉක්මනින් අයින් කරලා දාන්න ඕනෙ. එහෙම නොවුනොත් අපට ලොකු ප‍්‍රශ්නයක් අපේ ව්‍යාපාරත් අවුල් වෙනවා.

මිරිස්සේ ලසන්ත සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව නැවතත් ටින්කර් ලසාට භාරදෙමින් කීවේය. අපේ මේ වැඬේට උඹට ලක්‍ෂ 50 ක් දෙනවා. වැඬේට ඕන කරන වෙපන් එකයි වාහනෙයි ගෝලයෝ දෙන්නෙකුයි දෙනවා. වැඬේ හරියට කරපං. දන්නවනෙ ලොක්ක ළඟ හොර බොරු නැහැ. පොරොන්දු වෙච්ච විදිහට හැම දෙයක්ම සිද්ධ වෙයි.

ලසන්ත කීවේය. සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව දෙවන වරටත් භාරගත් ටින්කර් ලසා ඒ සඳහා සූදානම් වුණේය. සන්ෂයින් සුද්දාගේ අනියම් බිරිඳගේ සැමියා වන සුමිත් ඔත්තු බැලීමේ කාර්ය සඳහා යෙදවූ ලසන්ත ඔහුගේ සේවය වෙනුවෙන් වරින්වර මුදල් ලබා දුන්නේය. මේ අතර මිරිස්ස ප‍්‍රදේශයේ මහා පරිමාණ මාළු ව්‍යාපාරිකයකුගේ ගෝලයකු හරහා රුපියල් ලක්‍ෂ 4 ක මුදලක් මුලින්ම අත්තිකාරම් වශයෙන් ටින්කර් ලසා වෙත යැවීමට මිරිස්සේ ලසන්ත කටයුතු කළේය. මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් රුපියල් අටලක්‍ෂයකට කුලී පදනම මත වෑන් රථයක් ලබාගත් ලසන්ත ඝාතන සැලසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා එය ලබා දුන්නේය. ලසා උඹ ලෑස්තිවෙලා හිටපං. සුමිත් ඔත්තුවක් දුන්න ගමන් උඹට තියෙන්නෙ වැඬේට බහින්න ඉතුරු හරිය අපි බලා ගන්නම්.’’

පසුගිය සැප්තැම්බර් මස 03 වැනිදා දහවල් සන්ෂයින් සුද්දා කාර්යබහුල විය. ඔහු යන එන ගමන් බිමන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටි සුමිත් ඒ සියලූ තොරතුරු ලසන්තට ලබා දුන්නේය.

ඒ වන විට ටී 56 ගිනි අවියක් සහ තවත් අවියක් ටින්කර් ලසා වෙත ලබා දීමට මිරිස්සේ ලසන්ත පියවර ගෙන තිබුණේය. හිතන සැලසුම ක‍්‍රියාත්මක කිරීමට ගෙන ආ වෑන් රථය මෙන්ම ඊට රියැදුරකු ද ලබාදීමට ලසන්ත කටයුතු කළේය. සැප්තැම්බර් 03 වැනිදා දහවල් සුමිත්ගෙන් මිරිස්සේ ලසන්තට ඇමතුමක් ලැබුණේය.

‘‘ලසන්ත අයියෙ අන්න අරූ මගේ ගෑනිගෙ මහ ගෙදරට ගියා. ඕකා තව ටික වෙලාවකින් එතනින්න එයි. දැන් ආවොත් වැඬේ කරන්න පුළුවන්…..’’ සුමිත් කීවේය. ඒ වන විට තවත් ඔත්තුකරුවන් කීපදෙනෙකුගෙන්ම ලසන්තට සන්ෂයින් සුද්දා ආගිය තැන් පිළිබඳව විස්තර ලැබී තිබුණේය.

ඒ මොහොතේම ලසන්ත ටින්කර් ලසාට ඇමතුමක් ලබා ගත්තේය. අන්න අරූ සුමිත්ගෙ මහගෙදරට ඇවිත් ඉන්නවා. දැන්
ගියොත් වැඬේ කරන්න පුළුවන්. ඌ වෑන් එකක ඇවිත් ඉන්නේ. පස්සෙන් පන්නලා වෑන් එක බ්ලොක් කරලා ගහලා දාපං. මිරිස්සේ ලසන්ත ටින්කර් ලසාට උපදෙස් දුන්නේය. වහාම ක‍්‍රියාත්මක වූ ටින්කර් ලසා සහ ගෝලබාලයන් මිරිස්ස වරකාපිටිය ප‍්‍රදේශයට පැමිණියේය. සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගෙන සිටින ටී. 56 ගිනි අවිය නිවැරදි ආකාරයට ක‍්‍රියාත්මක වනවා දැයි පරීක්‍ෂා කිරීමට ලසාට අවශ්‍ය විය.

‘‘ගිය පාරත් වැඬේ වැරදුනෙ වෙපන් එක හරියට වැඩ කළේ නැති නිසා. ඒ නිසා මේක චෙක් කරගෙනම යන එක තමයි ඇඟට ගුණ.’’ එසේ කියූ ටින්කර් ලසා වරකාපිටිය ප‍්‍රදේශයේ මහාමාර්ගය අසල පාළු ඉඩමක් ඉදිරිපිට වෑන් රථය නවතා ටී 56 ගිනි අවියෙන් වෙඩි උණ්ඩ 3 ක් නිකුත් කර එය නිවැරදිව ක‍්‍රියාත්මක වන්නේ දැයි පරීක්‍ෂා කළහ. සන්ෂයින් සුද්දාගේ අනියම් බිරිඳ ඒ වන විට සිටියේ ඔහුට අයත් හෝටලයක ය. අනියම් බිරිඳ කාලයක් තිස්සේ නිදන්ගත රෝගයකින් පෙළෙමින් සිටි නිසා ඇයට අවශ්‍ය ආහාරපාන සකස් කර දුන්නේ ඇගේ මව විසින්මය. ඒ ආහාරපාන රැගෙන යෑමට සන්ෂයින් සුද්දා දිනපතාම පාහේ අනියම් බිරිඳගේ මහ ගෙදරට ආවේය. එදින දහවලේ ද ඔහු ඇගේ මහ ගෙදරට ආවේ ආහාර රැගෙන යෑමටය. අනියම් බිරිඳගේ මව ලබාදුන් ආහාර පාර්සලය රැගෙන සන්ෂයින් සුද්දා සිය වෑන් රථයේ නැගී හෝටලය වෙත යන්නට පිටත් වුණේය.

එහෙත් තමන් බිලිගැනීමට මාරයා දත් විලිස්සාගෙන මහමඟ රැක සිටින බව සන්ෂයින් සුද්දා දැන සිටියේ නැත. ටින්කර් ලසා ඇතුළු මැරයන් පිරිස රැගත් වෑන් රථය සන්ෂයින් සුද්දාගේ වෑන් රථය ලූහුබැඳ ගොස් වරකාපිටිය විදුහල ආසන්නයේදී මඟ හරස් කළේය.

එක්වරම වෑන් රථයෙන් බැසගත් ටින්කර් ලසා සන්ෂයින් සුද්දා වෙත ටී. 56 ගිනි අවියෙන් වෙඩි වරුසාවක් එල්ල කළේය. මුළු වරකාපිටියම දෙවනත් කරමින් එල්ල වූ වෙඩි ප‍්‍රහාර සන්ෂයින් සුද්දාගේ සිරුර විනිවිද ගියේය. සන්ෂයින් සුද්දා ලේ විලක් මැද මැරී වැටුණේය. සිය ඉලක්කය අකුරටම සපුරාගත් ටින්කර් ලසා ඇතුළු පාතාල මැරයන් නිරුපද්‍රිතව පලා ගියහ. සන්ෂයින් සුද්දාගේ අනියම් බිරිඳගේ සැමියා වූ සුමිත් සිද්ධිය වූ ස්ථානය වෙත ආවේය. සුද්දා මැරී වැටී සිටිනු දුටු සුමිත් අත්පොළසන් දෙමින් සිය ප‍්‍රීතිය පළකර පලා ගියේය. ඔන්න ලසන්ත අයියා අපි වැඬේ තිතට කළා. දැන් අපේ ගණන් හිලව් බේරලා දාන්න. දන්නවනේ මේ ලසා වැඩකට බැස්සම ඒක ඉවර කරලම තමයි පස්ස බලන්නෙ.

ටින්කර් ලසා මිරිස්සේ ලසන්තට ඇමතුමක් දී කීවේය.

හරි හරි දැන් උඹලා මාරුවෙයල්ල. ඒ ගනුදෙනු සේරම මං ලැබෙන්න සලස්වන්නම්. මේ වෙලාවෙ එහෙට මෙහෙට වෙලා හිටපල්ලා. දැන් පොලිසිය පන්නන්න පුළුවන්. ලසන්ත උපදෙස් දුන්නේය. ටින්කර් ලසා දින කීපයක් මාතර මිරිස්ස ප‍්‍රදේශයේ කරක් ගසමින් සිට පසුව කොළඹ බත්තරමුල්ලට ආවේය. පොරොන්දු වූ පරිදි ඝාතන කොන්ත‍්‍රාත්තුව වෙනුවෙන් ලක්‍ෂ 49 ක මුදලක් ටින්කර් ලසාගේ බිරිඳ වෙත යැවීමට මිරිස්සේ ලසන්ත කටයුතු කළේය. ලසා ඇතුළු පාතාල මැරයන් රැගෙන ගිය වෑන් රථය පැදවූ පාතාලයාට රුපියල් විසිලක්‍ෂයක මුදලක් ලබා දුන්නේය.

ඝාතනයට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයන්ට ද මුදල් ත්‍යාග ලබා දීමට මිරිස්සේ ලසන්ත කටයුතු කළේය. සන්ෂයින් සුද්දා ඝාතනය කළ පුවත ඇසීමෙන් හරක්කටා පස්වනක් ප‍්‍රීතියෙන් පිනාගොස් සිටියේය. ඕකා හැප්පුනේ නරක මිනිහා එක්ක. දැන් අනිත් උනුත් හොල්මන්වෙලා ඇති. අපිට ප‍්‍රශ්න දාපු එක විෂබීජයක් ඉවරයි.

හරක්කටා මිරිස්සේ ලසන්තට සිය සතුට ප‍්‍රකාශ කළේය. මිරිස්ස වරකාපිටියේදී මහ දවල් සන්ෂයින් සුද්දාට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමෙන් මුළු රටම උණුසුම් වුණේය. ඒ උණුසුම ඇත ිවුණේ සන්ෂයින් සුද්දා ඝාතනයට ලක්වීම නිසා නොව මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදී ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඝාතකයන් නිරුපද්‍රිතව පලායෑම නිසාය. ඒ සිදුවීම නිසා පොලිසියට විශාල අභියෝගයක් ගෙන දුන් සිදුවීමක් විය. සන්ෂයින් සුද්දා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට
ගැනීම සඳහා පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ පොලිසිය වෙත එල්ල වී තිබූ මේ විශාල අභියෝගය මේම අවමානයෙන් ගැලවීම සඳහා ය.

එහෙත් ඝාතකයන් අල්ලා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඊට හේතු වුණේ හරක්කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාගෙන් වේතන, වරදාන, වරප‍්‍රසාද ලබන පහළ ශ්‍රේණිවල නිලධාරීන් සෑහෙන දෙනෙකු දකුණේ පොලිස් ස්ථානවල රාජකාරි කරමින් සිටි නිසා ය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ‍්‍රී දමින්ද මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් පොලිස් කණ්ඩායම් කීපයක් ඒ වෙනුවෙන් යොදවා සිටියහ. හක්මන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සහන් කුමාර, දික්වැල්ල ස්ථානාධිපති ඒ නිශාන්ත, මාතර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නුවන් විජේසිංහ යන නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් කීපයක් මෙම විමර්ශනය ක‍්‍රියාත්මක කළහ.

සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා මෙම විමර්ශන කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබා දුන්නේය. කෙසේ වෙතත් සන්ෂයින් සුද්දා ඝාතනයට සම්බන්ධ වූ මිරිස්සේ ලසන්ත ඇතුළු සැකකරුවන් කීපදෙනෙකු පොලිස් භාරයට ගැනීමට සමත් වූහ. ඝාතනයේ ප‍්‍රධානියා වූ ටින්කර් ලසා අල්ලා ගැනීමට පොලිසියට සෑහෙන කාලයක් බලා සිටින්නට සිදුවිය. ඒ වන විට ටින්කර් ලසාට එරෙහිව කොල්ලකෑම් සම්බන්ධ චෝදනා 15 කට වැඩි ප‍්‍රමාණයක් එල්ල වී තිබුණේය. පහරදීම්, මිනීමැරීමට තැත් කිරීම් සම්බන්ධ චෝදනා ගණනාවකි. මිනිස් ඝාතන කීපයක් සම්බන්ධයෙන් ද ටින්කර් ලසාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේය. මේ අතර කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස මහතා වෙත ලැබුණු තොරතුරක් මත පසුගියදා ටින්කර් ලසා මොරොන්තුඩුව පනාපිටිය ප‍්‍රදේශයේදී කොටුකර ගැනීමට පොලිසියට හැකි විය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අත්අඩංගුවට ගත් ටින්කර් ලසාගෙන් ප‍්‍රශ්න කිරීම ආරම්භ විය. වසර 15 කට අධික කාලයක් තිස්සේ තමන් විසින් සිදුකළ මහා අපරාධ ගණනාවක තොරතුරු ටින්කර් ලසා වමාරන්නට පටන් ගත්තේය.

‘‘කෝ එතකොට සන්ෂයින් සුද්දට වෙඩි තියපු වෙපන් එක. ඒක කොහෙද තියෙන්නේ.’’

පොලිස් නිලධාරීන් ප‍්‍රශ්න කළහ. ‘‘ඒක සර් හංගලා තියෙනවා. මට ඒක පෙන්වන්න පුළුවන්.’’ ටින්කර් ලසා කීවේය. පොලිස් කණ්ඩායමක් ටින්කර් ලසා රැගෙන කළුතර දියගම ප‍්‍රදේශයට ගියහ. එහිදී සඟවා තිබූ ගිනි අවියක් ක‍්‍රියාත්මක කිරීමට උත්සහ කළ ටින්කර් ලසා පොලිසියෙන්ම වෙඩි කෑවේය. හරක්කටාගේ කල්ලියේ කුලී ඝාතකයා ලෙස ක‍්‍රියාකළ ටින්කර් ලසා අවසන් ගමන් ගියේ තවත් එක් පාතාල අපරාධකාරයකුට උරුම වූ දඬුවම භුක්ති විඳිමින්ය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment