වෛද්‍ය ආයතන නියාමනය ‘හොරාගෙන්ම’ පේන ඇහිල්ලක්

183

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීම සඳහා ස්ථාපිත කර තිබෙන කොමිසමේ සාමාජිකයන් නවදෙනාගෙන් හත්දෙනකුම පුද්ගලික වෛද්‍ය ආයතන හිමිකරුවන්වීම නිසා නියාමනය නිසි පරිදි සිදුනොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

2006 අංක 21 දරන පනතට අනුව මෙම නියාමන කොමිසම ස්ථාපිත කර තිබුණත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කිසිදු සොයා බැලීමකින් තොරව එහි සාමාජිකයන් පත්කිරීම නිසා එහි ස්වාධීනත්වය නැතිවී ගොස් ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.

පෞද්ගලික වෛද්‍ය ආයතනවල ඇතැම් වෛද්‍ය වාර්තා එක්ස්රේ හා වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් තොරවීම සහ රෝගීන්ගෙන් ඉවක් බවක් නොමැතිව මුදල් අයකර ගැනීමේ සිද්ධි වාර්තාවීම මත මෙම ස්වාධීන නියාමන කොමිසම ස්ථාපිත කළ බවද එම නිලධාරියා කීය.

ඒ වසර දාහතක් තිස්සේම මේ අඩුපාඩු තිබුණත් ඊට විසඳුම් ලබාදී නැති බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතාද කියා සිටියේ පුද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවයි. නමුත් ඒ සඳහා පත්කර තිබෙන ස්වාධීන කොමිසම නිසි පරිදි කටයුතු නොකරන බව තම සංගමයද පිළිගන්නා බව සඳහන් කළේය.

එපමණක් නොව පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීම, ඊට අදාළ තාක්‍ෂණික ගැටලු හා අඩුපාඩු, අධික ලෙස මුදල් අය කිරීම්, වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින අය විසින් පවත්වාගෙන යන වෛද්‍ය ආයතන සම්බන්ධයෙන් තම සංගමය දිගින් දිගටම කරුණු පෙන්වාදී තිබුණත් නිසි පිළියම් ගෙන නැතැයි ද ඒ මහතා කීය. රජයේ විගණකාධිපතිවරයා ද විගණන වාර්තාවලින් මෙම කරුණු පෙන්වාදී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment