අශ්ව වේගයෙන් ආ ජීප් රියේ ගැටුණු වේරහැර පුද්ගලයා මීටර් 50 ක් ඇදී ගොස් මරුට – රථය පැදවූ සැකකාරියට ඇප ලැබෙයි

1497

* සුපිරි රිය රෝද තුනෙන් යයි

පිළියන්දල පොලිස් වසමට අයත් බෝකුන්දර ප‍්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් පුද්ගලයකු මීටර් 50 ක් පමණ දුරකට ඇදී ගොස් අසල කාණුවකට වැටී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව මහගෙදරවත්ත වේරහැර ප‍්‍රදේශයේ පදිංචි ඉලේපෙරුම සජිත් කුමාර (52) නමැති අවිවාහක පුද්ගලයෙකි.

මෝටර් රථය පැදවූ 52 හැවිරිදි කාන්තාව පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇත. සැකකාර කාන්තාව පවුලේ සාමාජිකයන් සමග ගාල්ලේ සිට අලූයම 5.00 ට පමණ නුගේගොඩ පිහිටි නිවසට පැමිණීමට පිටත්ව තිබෙන අතර පෙරවරු 6.30 ට පමණ අනතුර සිදුවී ඇත.

අනතුරට ලක්වූ පුද්ගලයා පාගමනින් යමින් සිටියදී අධික වේගයෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රියේ ගැටී මීටර් 50 ක් පමණ ඇදී ගොස් අසල කාණුවට වැටී ඇත. ඔහු අනතුරට ලක්වීමෙන් පසු ජීප් රථය අසල පිහිටි තාප්පයක ද ගැටී අනතුරුව රෝද තුනකින් ධාවනය වී අසල මල් බඳුනක ගැටී නැවතී ඇත. මෙම අනතුරෙන් ජීප් රථයේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නැත.

අනතුරෙන් මියගිය පුද්ගලයා සිය සහෝදරිය සමග වේරහැර ප‍්‍රදේශයේ නැවතී සිට ඇත. ඔහු එදිනෙදා කුලියක් කර සහෝදරිය රැුකබලා ගෙන සිට ඇත. අනතුරෙන් මියගිය පුද්ගලයා වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදී ඇති අතර ඔවුන්ට තවදුරටත් උදව් කරන බව පැවසූ බව රථවාහන අංශයේ ස්ථානාධිපති ඒ. විජේසූරිය මහතා ‘දිවයින’ට පැවසීය.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති සරත් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති ඒ. විජේසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment