ගෙවී ගියේ පාර්ලිමේන්තුව නොපැවැති සතියකි. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු තම තමන්ගේ වැඩකටයුතුවල නිදහසේ යෙදී සිටියා යැයි කීවොත් වරදක් නැත. එහෙත් ක්‍රියාකාරී තලයේ දේශපාලන පෙරළිකාරයන්ට නම් නිදහසක් තිබුණේ නැති තරම්ය.

පසුගිය සතිය වන විට බොහෝ දෙනෙකුගේ අවධානය ඉදිරියේ එන මැතිවරණය කෙරෙහි යොමු වී තිබිණි. ජාතික ජන බලවේගය මේ දිනවල උපරිමයෙන් රට පුරා යමින් ජනතාව එක් රැස් කරමින් සිය මැතිවරණ සටන පටන් ගෙනය. මේ රටේ දේශපාලන කරළිය තුළ පෙරළියක් කළ හැක්කේ කාන්තාවන්ට යැයි යන මතයේ දැඩිව එල්බගෙන සිටින ජාතික ජන බලවේගය කාන්තාවන් ඒකරාශී කර ගනිමින් පවත්වන රැලිවලට වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනෙන්නට විය. ජාතික ජන බලවේගය මූලික වශයෙන් විශ්වාස කළේ ඔවුන්ට සැප්තැම්බරයේ ජනාධිපතිවරණයකට මුහුණ පෑමට සිදුවේ යැයි කියාය.

ඒ කෙසේ වෙතත් අනෙකුත් දේශපාලන පක්ෂ සිටියේ මේ දෙකෙන් කුමක් ඉදිරියට පැමිණේ දැයි විචිකිච්ඡාවෙන්ය. බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට යළි ලංකාවට පැමිණි දා පටන් මේ ගැන දේශපාලන කරළියේ කතාබස් වෙනස් මගක් ගත්තේය. ඊට එක් පැත්තකින් හේතුවක් වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුගිය දිනක හිරු රූපවාහිනියට පැමිණ විශේෂ දේශපාලන වැඩසටහනකදී දැක්වූ අදහස් කිහිපයකි.

මෙම වැඩසටහනේදී විමල් වැදගත් දේශපාලන කරුණු කීපයක් හෙළිදරව් කළේය. ලබන සිංහල අවුරුද්දට පෙර පාර්ලිමේන්තුව තුළ පෙරළියක් විය හැකි යැයි ඔහු අනතුරු ඇඟෙව්වේය. ඒ පෙරළියට අනුව බැසිල් පොහොට්ටුවේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ගලවාගෙන විපක්ෂයට ගනු ලබයි. ජනාධිපති රනිල් ජාතික ආණ්ඩුවකට අවශ්‍ය කළමනා සූදානම් කරයි. රනිල් හා සජිත් අතර දේශපාලන දීගයකට ඉන්දියාව මැදිහත් වෙයි. නාමල් ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ බලය අල්ලයි. ඒ අතර ජනාධිපතිවරණයක් නොව මහ මැතිවරණයක් පැමිණෙයි. ඊට පෙර ඒ කවර හෝ මැතිවරණයකට මුහුණ දීමට ඉතිහාසයේ බිහි වූ විපක්ෂයේ පුළුල් මහා බලවත්ම සන්ධානය බිහිකරනු ලබයි.

විමල් කරනු ලැබූ මේ තොරතුරු අනාවරණයන් කීපයක් සමගම දේශපාලන කරළියේ මාතෘකා පුළුල් පරිවර්තනයකට ලක් විය. ඒ අනුව ඉදිරියේදී එන්නේ ජනාධිපතිවරණයක් නොව මහ මැතිවරණයක් බව සමාජයේ තැන තැන දේශපාලන වේදිකාවල කතා බස් වන්නට පටන් ගත්තේය.

“මහ මැතිවරණයක් ආවොත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගොඩක් ඉන්නේ බැසිල් එක්ක. ඒ මොකද මොකක් හරි පක්ෂයකින් පාර්ලිමේන්තුවට එන්න ඕන නිසා. හැබැයි ජනාධිපතිවරණයක් ආවොත් ආණ්ඩුවත් එක්ක ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගොඩක් ඉන්නේ රනිල් එක්ක. අන්න ඒක දන්න නිසා බැසිල් ඉස්සර වෙලා ඉල්ලන්නේ මහ මැතිවරණයක්…” ඇතැමෙකු එම තර්කය ගොඩනඟන්නට වූයේ තමන් දන්නා දේශපාලන සාධක රැසක් ද පෝලිමට සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි.

මේ කතාබහ සමාජය ඔස්සේ පුළුල්ව පැතිර යන අතර වාරයේ සජිත් ප්‍රේමදාස ද උණුසුම් සටනකය. ඔහුට පක්ෂය අභ්‍යන්තරයේ කිසිත් ප්‍රතිරෝධයක් නොවීය. පළාතෙන් පළාතට ගමෙන් ගමට යමින් ඔහුද ජාතික ජන බලවේගයට නොදෙවෙනි රැස්වීම් මාලාවක් පවත්වාගෙන ගියේය. මේ පක්ෂ දෙකටම සෙනඟෙන් නම් අඩුවක් නොවීය.

ඒ අතර එක්සත් ජාතික පක්ෂය පසුගිය සතියේ තම පළමු ජනරැලිය පවත්වනු ලැබුවේ කුලියාපිටිය ආසනයේ ය. කුලියාපිටිය සංවිධායක අකිල විරාජ් කාරියවසම් ඒ රැස්වීමේ බර කරට රැගෙන ඉතා සාර්ථකව එය පවත්වන්නට සූදානම් කළේ මුළු රටටම දැනෙන පරිදිය. “සැබෑව” ජනරැලිය යනුවෙන් නම් කර තිබූ එම රැලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආරාධනා කිරීම ද විශේෂත්වයකි. ඔහු පවසන ආකාරයට පසුගිය කාලය මුළුල්ලේ ඔහු සහභාගි වූ රැස්වීම් කිසිවක් දේශපාලන රැස්වීම් නොවීය. අවුරුදු දෙකකට පසුව තමන් සහභාගි වන පළමු දේශපාලන රැස්වීම ලෙස රනිල් නම් කර තිබුණේ කුලියාපිටිය රැස්වීමයි.

රැස්වීමේදී ජනාධිපති රනිල් ඉතා ආකර්ෂණීය කතාවක් ද කළේය. ඔහු දන්නා සාහිත්‍ය හා භාෂාත්මක යෙදුම් පාවිච්චි කරමින් විපක්ෂයේ යම් යම් ප්‍රබලයින් සියුම් ලෙස විවේචනයට ලක් කළේය. ජනාධිපතිවරයා එහිදී කරන ලද කතාව සතිය පුරාම විවිධ දේශපාලන වේදිකාවන්වල මාතෘකා බවට පත්වන අයුරු අපට දැකගත හැකි වූහ. ජනපති එහිදී සට්ටඹිරාළ කෙනකු හා ගොඩ පෙරකදෝරුවකු ගැන කීවේ වත්මන් විපක්ෂයට සිදුව ඇති ව්‍යසනය ගැන සිහිපත් කරමිනි.

සඳුදා පෙරවරුවේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් මුණ ගැසී සාකච්ඡා කළෝය. මේ සාකච්ඡාවට එන්නැයි ජනපති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණත් පැමිණ සිටියේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණකි.

දේශපාලන වේදිකාවට ආණ්ඩුකාරවරු බැහැලු

එය නිමවා පැමිණි ජනපති රනිල් ඇමැති මණ්ඩල හමුවට යෑමට පෙර මැති ඇමැතිවරු පිරිසක් මුණගැසී සාකච්ඡා කළේය.

අයි.එම්.එෆ් වැඩසටහන ගැන කතා කරන්න ආරාධනා කළත් විපක්ෂය කර ඇරීම ගැන මෙහිදී මැති ඇමැතිවරු ජනපතිගෙන් විමසන්නට වූහ.

“විපක්ෂය හැමදාම කිව්වේ රහස් ගිවිසුමක් අපට තියෙනවා කියලනේ. ඒක ඇත්තද නැත්තද කියලා හරි දැන ගන්න තිබුණා මෙතනට ආවා නම්. ජනතාව ළඟට ගිහින් එකක් කියනවා එන්න කිව්වාම මඟ හරිනවා.” ඇමැති බන්දුල කීවේ සෙසු පිරිස දෙස බලමිනි.

“හර්ෂ, එරාන් වගේම කබීර් පවා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක හැමෝම එකතු වෙලා කතා කරන්න ඕනා කියලා. ජනාධිපතිතුමා එන්න කිව්වාම දැන් බෑ කියනවා. එයාලව මෙතනට එන එක නවත්තන්නේ පොහොට්ටුවේ ඉඳලා ගිය කණ්ඩායම.” ඇමැති ශෙහාන් කීවේය.

“සජබේ ඇතුළේ දැන් යූ.එන්.පී කාරයන්ට ඉඩක් නෑ. ජනාධිපතිතුමා කුලියාපිටියේදි කියපු කතාව ඇත්ත.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූවේය.

“ආණ්ඩුව එක්ක වාඩි වෙලා කතා කළා නම් රටක් හැටියට අයි.එම්.එෆ්. එකට මීට වඩා බලපෑමක් කරන්න තිබුණා. ජනතාවට සෙතක් කරන්න තිබුණ අවස්ථාව ඒ අය මග හැරියා.” ජනපති රනිල් කීවේ කනගාටුවෙනි.

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව එදින සවස ජනපති මුණ ගැසුණේ කොටුව කාර්යාලයේදීය. කුලියාපිටිය රැලිය ගැන කතා කළ අතර එහිදී ද සට්ටඹිරාළගේ කතාව ඇදී ආවේය. “මගෙන් බොහෝ දෙනෙක් අහනවා සට්ටඹිරාල කියන්නේ කවුද කියලා” වෙනත් කටයුත්තකට එහි පැමිණ සිටි නීතිඥ දිනේෂ් විදානපතිරණ විමසා සිටියේ කාගේත් සිනා හඬ මධ්‍යයේය.

රැලියට හරීන් ප්‍රනාන්දුගේ නොපැමිණීම ගැන කතා කරද්දී හරීන් කීවේ තමන්ට යෙදුනු වෙනස් කළ නොහැකි කටයුත්තක් නිසා පැමිණීමට නොහැකි වූ බවය. තව අයෙක් මතු කළේ නවීන් දිසානායකට කතාවක් නොදීම ගැන ඔහු සමාජ මාධ්‍යයට යොමු කළ පණිවුඩය ගැනය.

“ආණ්ඩුකාරතුමෙකුට මම ඉන්න දේශපාලන වේදිකාවක කතා කරන්න මම කොහොමටත් ඉඩ දෙන්නේ නෑ. මේක දේශපාලන රැලියක්.” ජනපති කීවේ දැඩි ස්වරයෙනි.

පක්ෂය විසින් සංවිධානය කර තිබූ අනුරාධපුර තරුණ දේශපාලන හමුව ගැනත් නුවර වෘත්තිකයන්ගේ රැලිය ගැනත් කතා බහ කෙරිණි. එහිදී ජනපති උපදෙස් දුන්නේ මෙය නිදහස් තැනක පවත්වන ලෙසය. තරුණ හමුවක් බැවින් පක්ෂයකට සීමා නොකර සියලු පක්ෂවල තරුණයන් එකතු කරගත් හමුවක් පවත්වන ලෙස ද උපදෙස් ලැබිණි.

මාලිමාව තියෙන්නේ හරි අත පෙන්නන්නලු

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ දිනවල සිටින්නේ ප්‍රංශයේ නිල සංචාරයක නිරතවෙමිනි. සංචාරය අතරතුරදී ඔහු ඉඩ ලැබෙන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් හමුවීම ද සිදු කරයි.

“සර්.. දැන් ලංකාවේ මොකද වෙන්නෙ” ඒ බොහෝ තැන්වලදී පාක්ෂිකයෝ විමසති.

“දැන් අපිට ඉන්ධන, ගෑස්, විදුලිය තියෙනවා. හැකි උපරිමයෙන් ජනතාවට සහන ලබාදෙනවා. අපි දැන් අර්බුදකාරී සීමාව පහුකරගෙන ඉදිරියට එමින් ඉන්නේ. අලුත් අවුරුදු සමය වෙනකොට ලංකාවේ තත්ත්වය තවත් හොඳ වෙයි” ඇමැතිවරයා කීය.

“ඒත් ඇමැතිතුමා අපිට ආරංචි වෙන විදියට ප්‍රශ්න තවම විසඳිලා නෑ” සාකච්ඡාවකදී ලාංකිකයකු කීය.

“ඔය ශෝෂල් මීඩියාවල යන දේවල් විශ්වාස කරන්න එපා. ඔය නිවුස් සල්ලිවලට ප්ලාන්ට් කරන ඒවා. මාලිමාව තියෙන්නේ හරි දිසාව පෙන්වන්න. ඒත් අපේ රටේ මාලිමාවෙන් කෙරෙන්නේ මිනිස්සුන්ට වැරදි පාර පෙන්වන එක. එක පාරක් හඳුන්නෙත්ති කිව්ව ලංකාවට පිටරට සල්ලි එවන්න එපා කියල. මොකද වුණේ. එකෙන් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් වුණා. දුක් වින්දේ අහිංසක මිනිස්සු.” ඇමැති ප්‍රසන්න කීවේ ජ.වි.පෙ අතීත ක්‍රියාකාරකම් පිළිබඳව උදාහරණ ද ගෙනහැර පාමිනි.

“අර්බුදය වෙලාවෙ රට භාර ගන්න කියල ගෝඨාභය ජනාධිපතිතුමා අනුරට, සජිත්ට කිව්වා. හැබැයි එයාල අර්බුදය ඉස්සරහට දාල මඟ හැරිය. කෝච්චියට බෙල්ල තිව්වෙ රනිල් වික්‍රමසිංහ මහත්තය විතරයි. දැන් ආර්ථිකය හරි ට්‍රැක් එකට වැටිලා. මේ වෙලාවේ රට පාලනය කරන්න සුදුස්සා තමන් කියල ජනාධිපතිතුමා ඔප්පු කරමින් ඉන්නවා. රටට ආදරේ නම් අපි කරන්න ඕන ඒ මනුස්සයයට සහය දෙන එකයි. හැබැයි ජ.වි.පෙයි, ස.ජ.බයි කරන්නෙ ආණ්ඩුවෙ කකුලෙන් අදින එක. ඒ නිසා ඒවගේ කුහක මිනිස්සු කියන දේවල් විශ්වාස කරන්න එපා. ඔයාලත් පුළුවන් උපරිම සහය අපිට දෙන්න” ඇමැතිවරයා කීය.

“පහුගිය ජනාධිපතිවරණයේදී අපි ඡන්දය දුන්නේ ගෝඨාභය මහත්තයට. හැබැයි අපිට වැරදුණා” තවකෙක් කීය.

“එතුමා කළ දේවල් හරිද වැරදිද කියල අනාගතය තීරණය කරාවි. පහුගිය කාලේ ඇතිවුණ අර්බුදවලට එතුමා විතරක් වගකියන්න ඕන නෑ. රට පාලනය කරපු හැමෝම වග කියන්න ඕන. දැන් රටත්, ආර්ථිකයත් අවදානම් සීමාවෙන් ඈත්වෙලා. අපි මේ මැච් එක හෙමිහිට ගහගෙන යනවා. ඔයාල අපිට සහයෝගය දෙන්න. ඔය ශෝෂල් මීඩියාවල යන දේවල් විශ්වාස කරන්න එපා. ඇමැති ප්‍රසන්න යළිත් කීය.

පසුගියදා නාමල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු මුණ ගැසුණේය. මෙම හමුව සිදුවී තිබුණේ එම එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයාගේ මල් පාරේ නිවසේදීය.

නාමල් මෙහිදී පවසා ඇත්තේ මුලින්ම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය. ඇත්තටම මේ වෙලාවෙ ජනාධිපතිවරණයක් තිබ්බොත් අපි උදව් කළත් පරදිනවා එහෙම වුණොත් එක්සත් ජාතික පක්ෂයට වෙන්නෙ කලින් වුණා වගේම පල්ලෙහාට යන්න. ඒ වගේම මහ මැතිවරණයකට ගියොත් අවාසියි. මෙසේ පවසද්දී එජාප ප්‍රබලයා එය ඉතා සාවධානව ඇහුම්කන් දුන්නේය.

ඔව් එතකොට මොකක්ද කරන්නෙ එජාප ප්‍රබලයා ඇසීය. මුලින්ම අපි මහ මැතිවරණයක් තිබ්බොත් දිනන්න පුළුවන් නැතිනම් කරට කර සටනක් දෙන්න පුළුවන් ආසන අඩු වුණොත් ජනාධිපතිට පුළුවන් සජබෙන් හරි දෙමළ මුස්ලිම් පක්ෂවලින් කට්ටිය අරන් ජාතික ආණ්ඩුවක් හදන්න. එහෙම මහ මැතිවරණයක් තියලා ජනාධිපතිවරණයක් තිබ්බොත් තිබෙන වාසිය ඒකයි නාමල් පැහැදිලි කළේය.

ඔව් ඒකත් ඇත්ත තමයි එජාප ප්‍රබලයා පැවසීය. ඔව් මේක අපි ජනාධිපති එක්ක කතා කරමු ඒකට වෙලාවක් දාලා හම්බවෙමු. අනික නාමල් ඔයත් ජනාධිපති එක්ක කතා කරනවනෙ ඒ වෙලාවෙදි ඔයත් කියන්න එජාප ප්‍රබලයා ද නාමල්ට පැවසීය.

මහ බැංකු අධිපතිට යුතුකමෙන් නඩුවක්..!

මහ බැංකුවේ පඩි වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේත් කතාබහක් ඇති විය. මහ බැංකුවේ අරමුදල් රටේ වෙනත් ලාභ ලැබීය හැකි ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් මහ බැංකුව ලබාගන්නා ලාභයෙන් කොටසක් ගෙන තම පඩි වැඩි කර ගැනීම වරදක් නොවේ යැයි මහ බැංකුවේ අධිපතිවරයා පසුගිය දිනවල තර්කයක් ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහ බැංකු නිලධාරීන් හමු වූ අවස්ථාවේ ද ඔහු එම තර්කය කළේය.

ඒ අනුව යමින් පසුගිය සතියේ යුතුකම සංවිධානය තවත් තර්කයක් කරළියට ගෙනාවේය.

“ඒක වරදක් නොවේ නම් 2022 අවුරුද්දේ ලැබූ ලාභයෙන් සියලු වියහියදම් ඉවත් කර අර්ථසාධක ලාභීන්ට 9% බැගින් සියලු ප්‍රතිලාභ ගෙවූ පසු තවත් රුපියල් බිලියන 21ක් ඉතුරු වේ. ඒ මුදල අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලාභීන්ට බෙදා දෙන්න. එමෙන්ම මෙම ගනුදෙනු හරියාකාරව කළමනාකරණය නොකිරීම හේතුවෙන් මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් රුපියල් දහය බැගින් අය කරගන්න…”

යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මෙය තර්කයක් හැටියට ඉදිරිපත් කළා පමණක් නොවේ. පසුගිය 14 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණයට මහ බැංකුවේ අධිපති හා නිලධාරීන්ට විරුද්ධ පැමිණිල්ලක් ලෙසද ඉදිරිපත් කරන්නට සැලසුම් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙම නඩුව ගොනු කිරීමට මත්තෙන් ගෙවිඳු කුමාරතුංග ඇතුළු හිතවතුන් පිරිසක් බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකින්නට ගොස් සිටියහ. මේ ගමනට ආචාර්ය ගුණදාස අමරසේකරයන් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.

යථෝක්ත කරුණ ගැන සාකච්ඡා කරන්නට මත්තෙන් ආචාර්ය ගුණදාස අමරසේකර, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිස ඇල්ලේ ගුණවංශ හිමියන් හා ආගිය තොරතුරු හා දේශපාලන කරළියේ අලුත් තොරතුරු ගැන විශේෂ සැලකිල්ලක් දක්වමින් සාකච්ඡා කරන්නට වූහ.

ඒ අතර ආචාර්ය ගුණදාස අමරසේකරගේ උපන්දිනය වෙනුවෙන් පැවැති සැමරුම් උත්සව ගැනද කතාබහක් ඇති විය.

“සමහර තැන්වල සමහර අය ඔබතුමාව අරන් ගිහිල්ලා ඉස්සරහින් වාඩි කරවලා ඔබතුමාගේ පිහිටෙන් බැබලෙන්න උත්සාහ කරනවා. මම නම් පුද්ගලිකව ඒකට කැමති නෑ.” ඇල්ලේ හාමුදුරුවෝ එසේ කීවේ කුමක් ගැනදැයි ඇතමෙකුට වැටහී ගියේ නැත. ඒ අතර ජාතික උත්සව, ජාතික ඇඳුම ආදී ජාතික දේවල් ගැන ද කතාබහක් ඇති විය. ජාතික ඇඳුම ගැන කතාබහේදී ජාතික ඇඳුමට යොදන සාටකය ගැන ද මාතෘකාවක් පැමිණියේය.

“ඔය සාටකය වුණත් ඉස්සර වෙලාම තිබිලා තියෙන්නේ අපේ සීයගෙ ඇඳුම්වල… බණ්ඩාරනායක මහත්තයත් එතනින් ගත්තද දන්නේ නෑ…” ගෙවිඳු කුමාරතුංග එසේ කීවේ තම සීයා වූ මුනිදාස කුමාරතුංග ගැනය.

“සීයා සාටකය දැම්ම නම් ඔයා සාටක දාන්න එපා.” ඇල්ලේ හාමුදුරුවෝ කීවේය.

“ඒ මොකද නායකයෝ තම පරම්පරාවෙන් පියාගෙන් ගන්න ඕන ඇඳුම නෙවෙයි, ප්‍රතිපත්තිය. ඒ කියන්නේ වැඩපිළිවෙළ. බාහිරින් තාත්තා වගේ ඇඳගෙන වැඩක් නැහැ…”

“ඒකනේ හාමුදුරුවනේ වෙන්නේ. හැම තැනම ඇඳගන්නවා…”

“ඔව් ඔව්… දැන් ඉන්න සමහරු තාත්තලාගේ හරපද්ධතිය ගන්නේ නැතුව බාහිර ඔපේ විතරක් ගන්න හදනවා. සමහරු ඇඳුම අදිනවා. සමහරු සාටක දානවා. සමහරු කොණ්ඩෙ වවනවා. සමහරු තාත්තගෙ වගේ උඩු රැවුල වවනවා. තවත් සමහරු තොප්පි දාගන්නවා…” ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ඒ කතාව දිගටම කියාගෙන ගියේ බහුතේරුම් ඇති කතාවක් විලාසයෙනි.

“අර උවිඳු විජේවීර… ඒ හාදයත් තොප්පියක් දානවනේ. මම එයාට කිව්වා ඔය තොප්පිය ගලවලා දාන්න කියලා…” ආචාර්ය ගුණදාස අමරසේකරයෝ කීහ.

“සමහරු තොප්පි දානවා. සමහරුන්ට තොප්පි වැටෙනවා” මේ කතා බහ අතරතුර ඉදිරියේදී එන්නේ ජනාධිපතිවරණයක් ද නැත්තම් මහ මැතිවරණයක් ද යන කතාබහ ද ඇදී ආවේය. ගෙවිඳු එහිදී පෙන්වා දුන්නේ ඉදිරියේදී මහ මැතිවරණයක් එන්නට නියමිතව ඇති බවට කතාවක් පැතිර යනවා කියාය. ලොකු ලොකු දේශපාලන කරුණු සාකච්ඡාවට ගැනෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන්නට යන පෙත්සම ගැන ද සාකච්ඡාවක් ඇති විය.

කතාබහ අතර බුදුන්ට මල් වට්ටියක් තබා පන්සිල් ගෙන තම කටයුත්තට ආශිර්වාද ලබාගන්නට යුතුකම කවයේ සූදානමක් තිබිණි. ගෙවිඳු, ඇල්ලේ ගුණවංශ හිමියන්ට දුන් මල් වට්ටිය ඇල්ලේ හිමියෝ ගුණදාස අමරසේකරයන්ට අතගස්සවා “අපි බුදුන් වැඳලා පන්සිල් අරන් එන්නම්. ඔබතුමාට ගොඩක් වෙලා නැගිටලා ඉන්න බැරි හින්දා ඔතනම ඔහොම වාඩිවෙලා ඉන්න කියමින්” බුදු ගේ අසලට ගොස් මල් පහන් පූජා කළහ. උන්වහන්සේ පන්සිල් දෙන්නට පටන් ගත්තා පමණි. එතෙක් වාඩි වී සිටි ගුණදාස අමරසේකරයෝ නැගී සිටියේය. සෙසු අය බුදු පිළිමය ඉදිරියේ පන්සිල් ගන්නවා දුටු එතුමන් සැරයැටියේ වාරුවෙන් එතනට පැමිණ ඔක්කෝටම පිටිපසින් සිට දෝත් මුදුන් දී පන්සිල් ගන්නට පටන් ගත්තේය. ඒ බව අන් අය දුටුවේ ටික වෙලාවක් ගත වූ පසුවයි.

එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය රැස්වීම ගැන හා එහිදී රනිල් කළ කතාව ගැන බොහෝ දෙනා සමාජයේ බොහෝ තැන්වල කතාබහ කරන්නට පටන් ගත්හ. පසුගිය දිනක නිදහස ජාතික සභාවේ පුවත්පත් සාකච්ඡාවකදී ද ඒ ගැන එක්තරා කතාබහක් ඇති විය.

නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම පසුගිය දාහතර වැනිදා උදේ තම පක්ෂ කාර්යාලයේදී පුවත්පත් සාකච්ඡාවක් කැඳවනු ලැබීය. එහිදී ඩලස් විශේෂ කරුණු තුනක් කෙරෙහි මාධ්‍යවේදීන්ගේ අවධානය යොමු කළේය.

මුලින්ම ඔහු මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ අද දේශපාලන පක්ෂවලටත් සිවිල් සංවිධානවලටත් විපක්ෂයටත් ජාත්‍යන්තර සංවිධානවලටත් අමතක වී ඇති කාරණාවක් ගැනය.

“දැන් මේ වෙන විට මේ රටේ පළාත් පාලන ආයතනවල මැතිවරණ සිතියම අකුළලා වසරක් ගත වෙලා ඉවරයි. කිසි කෙනෙකුට මතක නෑ. කිසි කෙනෙක් ඒ ගැන කතා කරන්නෙත් නෑ. දේශපාලන පක්ෂවලට මන්ත්‍රීවරුන්ට ඒ ගැන අමතක වෙච්ච එක කමක් නෑ කියමු. පුදුම වැඩේ මැතිවරණ කොමිසමටත් ඒ ගැන අමතක වීම.

අන්න ඒක ගැන අධිකරණයේ නඩුවක් විතරක් යනවා. දැන් අවුරුද්දක් තිස්සේ මේ නඩුව ඉදිරියට ඇදෙනවා. මම ගෞරවනීය අධිකරණයෙන් ඉල්ලා හිටිනවා මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව ඉක්මනින් ඉවරයක් කරලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරකින්න අවස්ථාව දෙන්න කියලා.

ජනාධිපතිවරණය සඳහා තව තියෙන්නේ සති විසි හතයි. සති විසි හතයි කියලා කියන්නේ දිනවලින් ගත්තාම දවස් 189යි. ඒ ගැනත් කාටවත් ලොකු උනන්දුවක් නෑ. හැබැයි ඉතින් මුදල් නැහැයි කියලා මැතිවරණයක් නොපවත්වන ලෝකයේ එකම රටත් ශ්‍රී ලංකාව. අද විපක්ෂයේ යුතුකම විය යුත්තේ විපක්ෂය උත්සාහ ගත යුත්තේ දිනන්න පරිදින්න නෙවෙයි. ඊට වඩා වැදගත් දේ තමයි කල් දාපු මැතිවරණය දිනාගන්න එක. අන්න ඒකටයි විපක්ෂය සටන් වදින්න ඕන…”

කාරණා අතරතුර මාධ්‍යවේදීන් ඩලස්ගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ ගෝඨාභයගේ කුමන්ත්‍රණය පිළිබඳ හෙළිදරව්ව ලියැවුණු පොත බැලුවේ ද කියාය…

“මම ඒක බැලුවා. ඉතා හොඳ භාෂාවකින් ලියලා තියෙන ව්‍යක්ත පොතක්. හැබැයි ඉතින් මං ඒකේ නම පිළිබඳ කාරණාවට එකඟ නෑ. මට හිතුනා ඒකේ නම “69 ලක්ෂයක නපුරු හීනය” කියා වෙනස් වුණා නම් හොඳයි කියලා.

ඊට පෙර ඩලස් තම කතාවේදී මහ බැංකුවේ ගනුදෙනු ගැන ද විවරණයක් කළේය. ඔහු කිව්වේ මහ බැංකුවේ තඩි මීයෙක් සිටින බවය. ඒ තඩි මීයා හා සසඳා බලන විට ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයේ සිටි මීයා බටු මීයෙක් තරම් කුඩා හා නො වැදගත් බවය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න අතර කුලියාපිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ කතාව ගැනද ප්‍රශ්නයකි.

ඒ ගැන නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

පසුගිය දවස්වල ඔස්කාර් සිනමා උළෙලට ජෝන් සීනා නිරුවතින් ආවා ඔයාලට මතක ඇතිනේ. අන්න ඒ වගේ “එහේ ජෝන් සීනා – මෙහේ සීන් ජෝනා” කියලා විතරයි මට කියන්න තියෙන්නේ” කියමින් ඩලස් කතාව නිමා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අලුතින් ගොඩනගන සන්ධානය පිළිබඳ විශේෂ සාකච්ඡා කිහිපයක් ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අනුව ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පසුගියදා පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර ඒ සඳහා වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, අංගජන් රාමනාදන් සහභාගි විය. එහිදී සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනට තිබෙන ප්‍රගතිය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එහිදී දැඩි අවධානයට ලක්වූ කරුණක් වී ඇත්තේ සන්ධානයේ නායකත්වය භාර ගැනීමට කැමැත්ත පළ කර සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ වන විට සිය ස්ථාවරය හිටිහැටියේම වෙනස් කර තිබීම පිළිබඳවයි. ඒ ගැන යළිත් හිටපු ජනාධිපතිතුමිය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට එහිදී තීරණය විය. ඊට අමතරව සන්ධානයේදී ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ සහ ස්වාධීනව කටයුතු කරන බොහෝ පිරිසක් එක්ව කටයුතු කර බැවින් ඒ අය දරන මතය සහ ස්ථාවරයත් ඔවුන් සන්ධානගතව වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එහිදී තීරණය වී ඇත්තේ ජනාධිපතිවරණයේදී එම අවස්ථාවේදී අවස්ථානුකූලව තීරණයක් ගත යුතු බවත් මහ මැතිවරණයකදී එක්ව සන්ධානයෙන් තරග කළ යුතු බවත්ය. ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ශ්‍රීලනිපය ඒකමතිකව ගන්නා තීරණය අනුව කටයුතු කිරීමටද තීරණය වී තිබේ.

අගමැති දිනේෂ් පසුගිය අඟහරුවාදා(12) පුත්තලම බලා පිටත් වූයේ, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වීමටය. එම ගමනේදී සුවිශේෂී සිදුවීමක් වූයේ, හලාවත කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැඳුරට පැමිණ, පසුගිය දෙසැම්බර් මාසයේ අභිනවයෙන් පත්වූ හලාවත රදගුරු අතිඋතුම් ආචාර්ය දොන් විමල් සිරි ජයසූරිය මාහිමිපාණන් හමුවීමට දිනේෂ්ට අවස්ථාව ලැබීමය. හලාවත පදවියේ සිව්වන රදගුරු හිමිපාණන් වන උන්වහන්සේ සිය පත්වීමෙන් පසු කිසිදු දේශපාලන නායකයෙකු හමුවී තිබුණේ නැත.

“පදවියට පත්වීමේ අවස්ථාවටවත් මේ අයටවත් එන්න කිව්වෙ නෑ.” රදගුරු හිමිපාණන් සිනාසෙමින් කීවේ, දිනේෂ් සමග එහි ගොස් සිටි පුත්තලම නියෝජනය කරන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරු පෙන්වමිනි. පා.ම. යදාමිණි ගුණවර්ධන ද එහි සිටියේය.

“පාර්ලිමේන්තුවේ කරන කතාවලදී ඒ කරුණු කොහෙන්ද හොයාගන්නෙ?, අනික අලුත් දේ ගැනත් අගමැතිතුමා හොඳ අවධියකින්නෙ ඉන්නෙ. ඒ කතා අහනකොට මට පුදුමත් හිතුනා.”

“ඉතිං පොත්පත් කියවීම එදා ඉඳන් ම මගෙ ජීවිතේ කොටසක්නෙ.” දිනේෂ් පිළිතුරු දුන්නේය.

“තලවිල පූජා භූමියක් කළේ ඔබතුමාගෙ කාලෙ, ඒක අපිට මතකයි. රාගම තේවත්ත දේවස්ථානය සංවර්ධනයටත් ඔබතුමා උදව් කළා.”

රදගුරු හිමිපාණන් කීවේ, දිනේෂ්, පූජාභූමි සංවර්ධන ඇමැති සමයේ කළ වැඩ කිහිපයක් සිහිගන්වමිනි.

“මෙරට පළමු සහ එකම පූජා භූමි අමාත්‍යවරයා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමානෙ” එහි සිටි අයෙකු තවත් කරුණක් එකතු කළේය.

අගමැති සහ රදගුරු හිමිපාණන්, ආගමික මෙන්ම ජාතික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ ටික වේලාවක් සාකච්ඡා කළහ. පසුව අගමැති දිනේෂ්, උන්වහන්සේගෙන් සමුගෙන, කෙළින්ම ගියේ පුත්තලම, නවදන්කුලම විද්‍යාලයට සහ හලාවත ශාන්ත මේරි විද්‍යාලවලටය. එහි සිසු දරු දැරියන්, ගුරුවරුන් සමග සුහද කතාබහක නිරත වූ අගමැති, එම විද්‍යාලවල පුස්තකාල සඳහා පොත් කට්ටල ද ප්‍රදානය කළේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment