රූපාගේ පිටපත හරි රහයි

මේ දවස්වල රූපා මිස් හරි ජනප්‍රියයි වගේම තත්පරයක් දෙන්න ටෙලිය ගැන බොහෝ දෙනා කතා වෙනව. වෙනස් කතා තේමාවක් වගේම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන්ගේ කරට කර රංගනය මේ කතාබහට විශේෂයෙන්ම හේතු වෙලා. ඉතිං වැඩිදුර විස්තර ටිකක් දැනගන්න අපි ඇය සමග කතාබහකට එකතු වුණා. මේ මාදනී මල්වත්තගේ.

මාදනී, වෙනස්ම චරිතයකින් කරළියට ඇවිත්?

මම ක්‍ෂේත්‍රයට ඇවිත් දැනට අවුරුදු විසි පහක් විතර වෙනව. ඒ කාලයත් එක්ක ගත්තාම රූපා මිස් වගේ චරිතයක් මට ලැබුණෙ බොහොම කාලෙකට පස්සෙ. මේක මාදනී නොවී මට රඟපාන්න පුළුවන් චරිතයක්. බොහෝ වෙලාවට යම් චරිතයක් සාර්ථකව කළාම නැවත ලබාදෙන්න උත්සාහ කරන්නෙත් ඒ වගේම චරිත. නමුත් මෙහි පිටපත් රචක රසික සුරවීරආරච්චි, අධ්‍යක්‍ෂ සුපුන් රත්නායක සහ නිෂ්පාදක රුවන් යන අය එකතුවෙලා මට වෙනස් විදිහේ චරිතයක් පිරිනමල තියෙනව. ඒකාකාරී චරිත ලැබෙනකොට කම්මැළිකමක් දැනෙනව. එතනදි මම වගේම ඕනෑම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කැමතියි වෙනස් චරිත ලැබෙන එකට. චරිතාංග ශිල්පියෙක් කියන්නෙ ඒකනෙ. ඉතිං මමත් හරි කැමතියි කම්මැළි නොවී චරිතයක් ගැන හොයමින් රඟපාන්න. රූපා මිස් කියන්නෙත් ඒ වගේ චරිතයක්.

රඟපෑමට වෘත්තීය මට්ටමක් නැහැ - මාදනී මල්වත්තගේ

රූපා මිස් මොන වගේ කෙනෙක්ද?

ඇය මවක්. ඇය තුළ මව් ගුණය වගේම ලැබෙන හැම අවස්ථාවකදීම තමන්ට ප්‍රතිලාභයක් ලැබෙනවනම් ඒක ගන්න ඇය මැළි වෙන්නෙ නැහැ. ඒ වගේම තමන්ගෙ ස්වාමි දුව වන බි්‍රජට් මැඩම්ට බොහොම ආදරයෙන් සළකන, ගෞරව කරන කෙනෙක්. ඇය යටහත් පහත් වෙන්නෙ ස්වාමි දුව ළඟ විතරයි. ඒ වගේම තමන්ගේ අභිප්‍රාය වෙනුවෙන් වැඩ කරන කපටි චරිතයකුත් ඇය තුළ තියෙනව. මම දකින විදිහට මේ චරිතය තූළ කළු සහ සුදු යන දෙපැත්තක් තියෙනව.

තත්පරයක් දෙන්න ටෙලියේ ශිල්පීන් කරට කර?

තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යය තුළින් කතා කරන්නෙ සමාජයේ යථාර්ථය. විශේෂයෙන්ම මෙතනදි කියන්න ඕන සහෝදර ශිල්පීන් ගැන. ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් පිරිසක් තමයි මේ සඳහා තෝරාගෙන තියන්නෙ. හැම කෙනාම උරෙන් උර ගැටිල එකහා සමානවම හැම චරිතයකටම සාධාරණයක් කරනව. නිර්මාණයක් සාර්ථක වෙන්න නම් පිටපත, අධ්‍යක්‍ෂණය වගේම ඒ ඒ චරිත තේරුම් අරගෙන රංගනයේ යෙදෙන නළු නිළි පිරිසකුත් අවශ්‍යයි. මෙතනදි ප්‍රේක්‍ෂකයන්ට ඒ අත්දැකීම ලබන්න පුළුවන්. ඉතිං මම හිතනව තත්පරයක් දෙන්න හැම අතින්ම සමබරයි කියල.

රඟපෑමට වෘත්තීය මට්ටමක් නැහැ - මාදනී මල්වත්තගේ

පිටපතක් කියන දේ ඔබට අළුත් දෙයක් නෙමෙයි. මේ පිටපත අතට ලැබෙද්දි වෙනසක් දැනුණාද?

ඇත්තටම රසික සුරවීරආරච්චි සහෝදරයා සමග මීට අවුරුදු ගාණකට කලින් වැඩකරල තියෙනව. මේ නිසා ඔහුගේ රචනය පිළිබඳ හොඳ විශ්වාසයක් මට තියෙනව. ඔහු වැඩ කරන්නෙ වෙනස් විදිහේ ඉවකින්. ඔහු වැඩ කරන්නෙ වෙනස් විදිහකට. ඉතිං පිටපත ලැබුණාම විශ්වාසයෙන්ම මම ඒක කියෙව්වා. එක හුස්මට කියාගෙන යන්න පුළුවන්කමක් තිබුණ නිර්මාණයක්. ඇත්තටම ඒක හරි රහයි.

නිර්මාණයක් භාර ගනිද්දි මාදනී පරිස්සම් වෙන තැන් මොනවාද?

ඇත්තම කිව්වොත් අපේ රටේ රංගනයට වෘත්තිය මට්ටමක් නැහැ. නමුත් මම වෙන වෘත්තියක් කරන්නෙ නැති නිසා මේක මගේ වෘත්තිය වෙලා තියෙනව. එහෙම වුණත් ගොඩක් වෙලාවට මමත් තෝරා බේරා ගැනීමක් කරනව. එතනදි ගොඩක් වෙලාවට මම උත්සාහ කරන්නෙ ඒකාකාරී චරිතවලින් මිදෙන්න. ඒ වගේම අපිට සංස්කෘතියක් සදාචාරයක් කියල දෙයක් තියෙනවනෙ. එතනින් එහාට ගිහින් නිරුවත් හෝ අඩ නිරුවත් දර්ශන සහිත චරිත තියෙනවා නම් මම එවැනි චරිත කවදාවත් භාර ගන්නෙ නැහැ.

ඔබේ වෙනත් නිර්මාණ?

‘තත්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයට අමතරව ස්වර්ණවාහිනියේ විකාශය වන බුද්ධික ලොකුකැටියගෙ ‘හපන්නු අපි ගමේ රාජ්ජේ’, හිරු ටී වී නාළිකාවේ විකාශය වන තරංග දිසානායකගෙ ‘හිච්චි’, දිවිතුරා, දෙරණ නාළිකාවේ විකාශය වන ජී. නන්දසේනගෙ ‘බේකරි ගෙදර’ යන ටෙලි නාට්‍ය වලට මගේ රංගන දායකත්වය ලබාදීලා තියෙනවා.

වර්තමානයේ බිහිවන ටෙලි නාට්‍ය ගැන ඔබේ අදහස මොන වගේද?

අද වන විට බොහෝ නාළිකාවන් හරහා මෙගා නාට්‍ය තමයි විකාශය වෙන්නෙ. ඉස්සර නම් ටෙලි නාට්‍ය ගත්තත් පවුල් සංස්ථාව ගැන තමයි කතා කරන්නෙ. නමුත් ඒකෙ විවිධ පැතිකඩ ගැන කතා කරනව. අසල්වැසියෝ, දුන්හිඳ අද්දර, ඇල්ල ළඟ වලව්ව, ගිරය වගේ ටෙලි නාට්‍ය අපි හරි ආසාවෙන් නැරඹුවා. ඒවායේ කතාංගය තුළ කොටස් පහළොවයි, විස්සයි විහිදුණේ. නමුත් අද වන විට එක රාමුවකට කොටුවෙලා පවුල ඇතුළෙ සිද්ධ වෙන ඛේදවාචක බොහොම සෘණාත්මකව කතාකරනව. ප්‍රේක්‍ෂකයන්ට මේවා ආදර්ශ නෙමෙයි. ප්‍රේක්‍ෂකයාට තමන්ගෙ ජීවිතයට ආදර්ශයට ගත හැකි දෙයක් නිර්මාණ හරහා කතා කරනව නම් හරිම සාර්ථකයි සහ ගොඩක් වටිනව.

රූපා මිස්ට මගතොට ප්‍රතිචාර කොහොමද?

මම මගතොට ගියත්, පිටරට සංචාරයකට ගියත් මුණගැහෙන ප්‍රේක්‍ෂකයො කතා කරන්නෙ රූප මිස් ගැන තමයි. මගේ චරිතයට බනිනවට වඩා ටෙලියේ සියලු චරිතවල සාර්ථකත්වය තමයි කතා කරන්නෙ.

මාදනී සමග කතා කරනකොට වේදිකාව අමතක කරන්නම බැහැ. මොනවද එහි අලුත් තොරතුරු?

මේ වන විට උදයසිරි වික්‍රමරත්නගෙ සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍යය ලංකාවේ විවිධ පළාත්වල දර්ශන වේදිකාගත කරනව. එතනදි මනෝ අයියගේ චරිතය මනාවට, අපූරුවට ඉෂාර වික්‍රමරත්න විසින් රඟපානව. ඒ වගේම ආර්. ආර්. සමරකෝන්ගෙ කැලණි පාලම නාට්‍යයේත් දර්ශන වාර පැවැත්වෙනව.

ඔබේ වැඩි නැමැත්ත වේදිකාවටද?

වේදිකාවෙන් එන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් අභියෝගවලට හරි කැමතියි. මම හිතන විදිහට අභ්‍යාස කරන්න හොඳම තැන වේදිකාව. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් ටෙලි හෝ සිනමාව ඉදිරියෙන් ඉන්නව. නමුත් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ වේදිකාවට.

සිනමාවේ ඔබ දකින්න නොලැබෙන තරම්?

ඔව්, ඇත්තටම සිනමාවට මට ආරාධනා ලැබිල තියෙන්නෙ හරිම අඩුවෙන්. මගේ හැකියාවන් දැකල නැද්ද, වෙනත් හේතුවක්ද කියල මම දන්නෙ නැහැ.

ඔබේ නාට්‍ය වැඩමුළුව ගැනත් කියමු?

ඔව්, මගේ ‘ඩිපිරම්භය’ නාට්‍ය වැඩමුළුවේ කණ්ඩායම් දෙකක් මේ වන විට සාර්ථකව අවසන් කරල තියෙනව. තුන්වැනි කණ්ඩායම මැයි මාසයේදී ආරම්භ කරනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment