ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු වනු දැකීම අපේක්ෂාවයි

168

දේශපාලනය සහ ක්‍රීඩාව වෙන්ව තබා ගත යුතුයි – සිංහල ක්‍රීඩා සමාජයේ 125 වැනි සංවත්සර සැමරුමට එක් වෙමින් ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකී සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වැන සංවත්සර සැමරුමට එක් වෙමිනි.

සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළි දැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් එස්එස්සී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා ඔවුන් සමග සමූහ ජායාරූපයකට ද එක් විය.

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු වනු දැකීම අපේක්ෂාවයි

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රාජකීය, ශාන්ත තෝමස්, වෙස්ලි වැනි පාසල්වලින් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වුණු සියලු දෙනාම අද මෙහි පැමිණ සිංහල ක්‍රීඩා සමාජය සමග සිය අනන්‍යතාව තහවුරු කර තිබෙනවා.

ඒ වගේම තමයි, මගේ මීමුත්තණුවන් වූ මීදෙණිය අදිකාරම්, මගේ සීයා වුණු සී.එල්. වික්‍රමසිංහ ඇතුළු එම යුගයේ සිටි බොහෝ දෙනෙක් සිංහල ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණේ ඔවුන්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය වූ නිසායි. නිදහස ලැබුණු පසු මගේ පියාත් මීට සම්බන්ධ වුණා.

එදා අප මේ අයුරින් ක්‍රීඩා සමාජ ඇති කරගත්තා. දෙමළ ජනයා දෙමළ ක්‍රීඩා සමාජ නිර්මාණය කළා. ඒ ජනවාර්ගික ගැටුමක් උදෙසා නොවෙයි. නමුත් විවිධ කණ්ඩායම් මේ තුළින් තමන්ට අනන්‍යතාවයක් ලබා ගැනීමට උත්සාහ කළා. ඒ ආගම හෝ කුලය මත නොවෙයි, භාෂාව සහ සංස්කෘතිය මතයි. මැලේ ජාතිකයින්ට පවා ඔවුන්ගේම ක්‍රීඩා සමාජයක් තිබුණා. ඒ සමග සිංහල, දෙමළ, මැලේ, සියලු දෙනාම එක්වුණා වගේම පසු කාලෙක එම සියලු දෙනා එක්ව පොදු අනන්‍යතාවයක් ලබා ගත්තා.

සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන් අතර අප පක්ෂයේ නායකයන් ද කටයුතු කර තිබෙනවා. ඩී. එස්. සේනානායක මැතිතුමා මෙන්ම හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ද එවකට මෙහි සභාපතිවරු ලෙස කටයුතු කළා. එය අපට විශාල ගෞරවයක් බව කිවයුතුයි. පසුව මමත් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වුණා.

දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වළකිනවා නම්, එය අප සියලු දෙනාටම යහපත් තත්ත්වයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මොකද දේශපාලනයත්, ක්‍රීඩාවත් එකිනෙකට වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වගේම කාලෝචිත බව කිවයුතුයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් මෙහිදී යමක් ප්‍රකාශ කිරීමට මම කැමතියි. අප ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගත යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛයකු වනු දැකීම මගේ අපේක්ෂාවයි.

මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියනයක මුදලක් වෙන් කර තිබෙන අතර ලබන වසරේ ඊටත් වඩා වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බව කිවයුතුයි. එම මුදල් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු වන සිදත් වෙත්තමුණි මහතා යටතේ වන භාරයකින් පවත්වා ගෙන යනු ඇති අතර ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින් ක්‍රිකට් තරග පැවැත්වීමට වගේම ග්‍රාමීය මට්ටමින් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් ඇති කිරීමටත් එමගින් කටයුතු කෙරෙනවා.

අප පාසල් 1000-1500 අතර ප්‍රමාණයක ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. එවිට ජාතික කණ්ඩායමට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පුළුල් සංචිතයක් නිර්මාණය වෙනවා. ඒ වගේම රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම කටයුතුවලදී ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ක්‍රීඩා සමාජ සතුව මහඟු වගකීමක් පැවරෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව ප්‍රමුඛයකු බවට පත් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, සිංහල ක්‍රීඩා සමාජයේ සභාපති ඉඳුනිල් ද සිල්වා, ලේකම් වසන්ත විජේසේකර, භාණ්ඩාගාරික නිලංක පිරිස් යන මහත්වරුන් ඇතුළු විධායක කමිටු සාමාජිකයන්, සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් ද හිටපු එංගලන්ත ක්‍රිකට් නායක නසාර් හුසේන්, අයිසීසී තරග තීරක රංජන් මඩුගල්ලේ යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment