ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ ගේට්ටු අසලටම එයි

782

ගාසා තීරයේ වෙසෙන හමාස් අන්තවාදීන්ට එරෙහිව දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර ඇති ඊශ්‍රායල හමුදාවන් එම තීරයේ තිබෙන හමාස් අන්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳලමින් ඉදිරියට ගමන් කරමින් සිටින බවත් ගුවන් හමුදාව විසින් ගාසා තීරයේ තිබෙන හමාස් අන්තවාදීන්ගේ ඉලක්ක 11,000කට අධික සංඛ්‍යාවකට මේ වන විට ප්‍රහාරයන් එල්ල කර ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නිවේදනය කර තිබේ.

හමාස් අන්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳලමින් ඉදිරියට ඇදෙමින් සිටින ඊශ්‍රායල් හමුදා ඊයේ (02දා) වන විට ගාසා තීරයේ ගේට්ටු අසලට ළඟා වෙමින් සිටි බව ඊශ්‍රායල හමුදා අණ දෙන නිලධාරියකු බී බී සී පුවත් සේවයට පවසා තිබේ.

පෙරේදා (01දා) දිනයේද ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි හා ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් ගාසා තීරය දෙදරුම් කා තිබූ අතර ඉකුත් අඟහරුවාදා (31 දා) ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ ‘ජබාලියා’ සරණාගත කඳවුර වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර හමාස් අන්තවාදීන් විසින් ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින 240 දෙනා අතර සිටින 07 දෙනකු ද වූ බව හමාස් සංවිධානය විසින් නිවේදනය කර ඇත. එසේ ප්‍රහාරයෙන් මිය ගිය ප්‍රාණ ඇපකරුවන් 07 දෙනාගෙන් 03 දෙනකු විදේශ ගමන් බලපත්‍ර හිමි අය බවද අන්තවාදීන් විසින් සඳහන් කර තිබේ. ජබාලියා සරණාගත කඳවුර වෙත පෙරේදා හා ඊයේ දිනවල එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් කඳවුරේ සිටි 195 දෙනකු මියගොස් ඇති බව හමාස් අන්තවාදීන් උපුටා දක්වමින් විදෙස්, මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. කෙසේ වුවද ඊශ්‍රායල හමුදා පවසානුයේ ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ බව කියන ගුවන් ප්‍රහාරයන් එල්ල කරන ලද්දේ හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් ඉලක්ක කරගෙන බවයි. ඒ අයුරින්ම හමාස් අන්තවාදීන් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයන් ගාසා තීරයේ තිබෙන විශාලතම රෝහල වන ‘අල් ක්විඩ්ස්’ රෝහල අවට ප්‍රදේශයට ද එල්ල වූ බව වාර්තා වී තිබේ. මෙම ප්‍රහාරවලින් හමාස් අන්තවාදීන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ හමාස් අන්තවාදීන් විසින් ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින පිරිස මුදා ගැනීම සඳහා මානුෂීය සටන් විරාමයක් ක්‍රියාත්මක කර අවශ්‍ය පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් පැවතිය යුතු බවයි. මේ අතර ගාසා තීරයේ තිබෙන විශාලතම රෝහල වන ‘අල් ක්විඩ්ස්’ රෝහල අවට තිබෙන හමාස් ඉලක්කයන් වෙත තවදුරටත් ඊශ්‍රායල හමුදා ප්‍රහාරයන් එල්ල වීම හේතුවෙන් රෝහලේ සිටින නේවාසික රෝගීන් ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායලය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ක්‍රියා කිරීම රෝගීන් මුහුණ පාන අවදානම සලකා බලමින් එක්සත් ජාතීන්ගේ හා පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් යන සංවිධානයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර හමාස් අන්තවාදීන්ට සහාය දක්වන ලෙබනනයේ හිස්බුල්ලා අන්තවාදීන් වෙසෙන ප්‍රදේශවලට ඊශ්‍රායලය විසින් යොමු කළ ඩ්‍රෝන යානයක් මිසයිලයකින් පහර දී බිම් හෙලූ බව හිස්බුල්ලා සංවිධානය විසින් පවසා ඇති අතර ඊශ්‍රායල හමුදා පවසා ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා අන්තවාදීන් විසින් මිසයිලයක් යොමු කර ඇතත් සිය ඩ්‍රෝන යානයට කිසිදු හානියක් ඉන් සිදු වී නොමැති බවයි. විදෙස් මාධ්‍යවලට අනුව පවතින ඉන්ධන සැපයුම සීමා කිරීම හේතුවෙන් ගාසා තීරයේ පවතින එකම පිළිකා රෝහලේ කටයුතු ද මේ වන විට නතර කර ඇත. තුර්කි-පලස්තීන මිත්‍රත්ව රෝහල ලෙසද හැඳින්වෙන මෙම රෝහලේ කටයුතු නතර කළද එහි රෝගීන්ට මිය යෑමට ඉඩ නොතබන ලෙස රෝහලේ අධ්‍යක්ෂවරයා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉකුත් 07 වැනිදා සිට මේ දක්වා කාලසීමාවේ ඊශ්‍රායල හමුදා හා හමාස් අන්තවාදීන් අතර පවතින සටන්වලින් ඊශ්‍රායල හමුදා භටයන් 326 දෙනකු මියගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙම යුද්ධයෙන් මෙතෙක් ගාසා තීරයේ වැසියන් 8700කට අධික පිරිසක් මිය ගොස් ඇති බවව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment