කොහොඹා යක් ශාන්ති කර්මයෙන් හෙළිවන – කොහොඹා දෙව්වරු වතගොත

262

ලක්දිව පඬුවස් දෙව් රජ සමයේ සිට මේ දක්වා පවත්වාගෙන එනු ලබන කොහොඹායක් ශාන්ති කර්මයේ පුද ලබන දේව සමූහයා අතරින් කොහොඹා දෙවියන්ට මූලිකස්ථානයක් හිමිවේ. අලුත් කොහොඹා පරණ කොහොඹා මහ කොහොඹා යනුවෙන් කොහොඹා දෙව්වරු තුන් කට්ටුවකි.

මෙයින් අලුත් කොහොඹා ස්වදේශීය දේවාත්මයක් වන අතර ලංකාවේ වැලිහෙල නම් ගමේ උපත ලැබූවෙකි. පරණ කොහොඹා ඉන්දියාවේ මධුරාපුර නුවර උපන්නෙක් බවත් මහකොහොඹා බරණැස්පුර උපන්නෙක් බවත් මහා යාතිකාවේ කියවේ.

වැලිහෙල නම් ගමේ උපන්නෙක් වන අලුත් කොහොඹා දෙවියන්ගේ මව වෙළෙඳ කුලයක උපන් ලෝකනාථා නම් කාන්තාවකි. කොහොඹා කුමරු සත් අවුරුදු විය සපුරත්ම තම දෙමාපියන් හැරදා යන බව නැකත්කරුවෝ පැවසූහ. කුමරුන් මල්ල රජුගේ සේවය ඉල්ලා ගිය පසු දේවත්වයට පත්වූ බව පුරාවෘත්තවල කියවේ. කොහොඹා දෙවියන්ට ආදිවාසීන් හා සම්බන්ධතාවයක් ද පවතී. කොහොඹා යකා යනුවෙන්ද හඳුන්වනු ලබන කොහොඹා දෙවියන් සඳහා පවත්වනු ලබන අභිචාර විධිය කොහොඹා ශාන්ති කර්මයයි. ඇතැම් ප්‍රදේශවල කෙහොඹා යක්කම යනුවෙන්ද මෙම අභිචාර විධිය හඳුන්වනු ලබයි. සත් කෝරළය, සතර කෝරළය, උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව දුම්බර ආදී ප්‍රදේශවල මෙම ශාන්ති කර්මය ප්‍රචලිතව පවතී.

කෘෂිකාර්මික ජන සමාජයක් තුළ ජීවත්වන ජනතාව තම ගොවිතැන් කටයුතුවල සශ්‍රීකත්වය ආරක්‍ෂාව වනයෙන් සිදුවන උවදුරු දුරුකර ගැනීම අපල උපද්‍රව රෝගවලින් මිදීම කොහොඹා ශාන්ති කර්මය කිරීමේ අපේක්‍ෂාව වේ. කැලයට අධිපති දෙවියන්ද වන කොහොඹා දෙවියෝ කැලෑවේදී මංමුලා වූවන් ආරක්‍ෂා කරන බවද පැවසේ. උඩරට නර්තන සම්ප්‍රදායේ නර්තනාංග රාශියක් කොහොඹා ශාන්ති කර්මයේ පවතී. කොහොඹා දෙව්වරු ප්‍රධානව බණ්ඩාර දෙව්වරු අඹරාපොති වීරමුණ්ඩ ඇතුළු දෙවිවරු දොළොස් කට්ටුවක් මෙම ශාන්ති කර්මයේදී පුදපෙත් ලබති.

කොහොඹා කංකාරිය සඳහා දිගින් 60 රියනක් පළලින් 30 රියනක් උසින් 9 රියනක් වන පරිදි මඩුවක් ඉදිකොට තැඹිලි දෝතළු පුවක්මල් රඹකැන් ආදී ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මණ්ඩපය අලංකාර කිරීම චාරිත්‍රයයි. මණ්ඩපයේ එක් කෙළවරක යක්ගෙය ඉදිකෙරේ. මෙය මහල් දෙකකින් යුක්ත වන අතර එහි උඩුමාලේ දේවාභරණ තැන්පත් කෙරෙති. පාත මාලේ පැහි දුම් තැබේ.

කොහොඹා කංකාරියේ මූලික චාරිත්‍ර විධි ලෙස කප්සිටුවීම, මඩුපේ කිරීම, තොටපේ කිරීම, මලපේ කිරීම, වී කෙටීම, අයිලේ යැදීම දෙවියන් වැඩමවීම, පේබතපිදීම, මෙලෙයි යකුන් රුප්පා යකුන් පිදීම, නානුමුර කිරීම ද වෙයි. රුප්පා යකුන් පිදීමෙන් පසු පංචතූර්ය නාදය සහිතව දේවාභරණ පෙරහැරින් වැඩමුවා පේ කරන ලද තොට කරා ගෙනගොස් නානුගා පවිත්‍රකොට යක්දෙස්සෙකුගේ ආභරණ කට්ටලයක්ද සහිතව ගෙනවුත් සාදන ලද අයිලේ උඩුමහලේ තැන්පත්කිරීම චාරිත්‍රය. යක්දෙස්සෝ ද නානුගා පිරිසිදුවී රාත්‍රී භෝජනයෙන් පසු මුල් යක්ඇදුරා ප්‍රධාන යක්ඇදුරු සමූහයා ආතුරයා ඉදිරියේ හගළ යැදීම නම්වූ දේව මෙහෙයෙන් කංකාරිය ආරම්භ කරති. අනතුරුව මඟුල් බෙර සහ අත්‍යාබෙර වැයීම, යක් ඇනවුම නැටීම, අස්නේ, අයිලේ යැදීම, හත්පද පෙළපාලිය, ගුරුගේ මාලය, ආවැන්දුම, යක්තුන්පදය, දුනුමාලප්පුව, කෝල්පාඩුව, කඩවර පිදීම, මඩුපුරය, මල් හත්පදය නැටීම, කොහොඹා හෑල්ල, හත්තාලය, දානපහ (පලවැල දානය, උාරුදානය, වැදි දානය, සුරබි දානය, දිවිදානය,) කතාපහ (සීතාපති කතාව, සළුගත් කතාව, කුවේණී කතාව, විජයරාජ කතාව, පඬුවස් දෙවිකතාව), යක්කම් පහ (නයා යක්කම, ඌරු යක්කම, වැදි යක්කම, දර්ශන යක්කම, මහා යක්කම) මහා යාතිකාව, ගබඩා කොල්ලය දුම්මල පදය සහ හමාරපද නටා කොහොඹා යක්කම හමාර කිරීම සිදුවේ.

අලුත් කොහොඹා දෙවියෝ. කොහොඹා යක් කංකාරියක් කිරීමට මෙරටට ගෙන්වාගත් මල්ල රජ්ජුරුබණ්ඩාර දෙවියන් විසින් අලුත් කොහොඹා දෙවියන් යක්කර ගත් බව පුරාවෘත්තවල පැවසේ. එදා මලලරජු විසින් මෙම යාගය ලංකාවේ පවත්වා ගැනීම සඳහා කොහොඹා දෙවිතුන් කට්ටුව ප්‍රධාන දේව සමූහයක් ඇති කළ බව පැවසේ. මලය රජුන් වැලිහෙලට වැඩමවා මලය රජුන් විසින් සත් හැවිරිදි වැලිහෙල ගමේ උපන් ගමරාළලා අප්පුහාමී නමැත්තෙකු නොමරා යක්කර අලුත් කොහොඹා යනුවෙන් නම් කළ බව දේවපුරාණයේ කියවේ. (125 පිටුව)

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා වාර්තා කර ඇති කොහොඹා හෑල්ලෙහි අලුත් කොහොඹා දෙවියන් වැලිහෙල වෙළඳ කුලයක උපත ලද බවත් මව ලෝකා නම්වූ බවත් මෙසේ කියැවේ.

දෙමව්පිය ලද් දී
ලැබෙමින් පතා ලද් දී
වෙළඳකුල ලද් දී
එනන් ලෝකා නමින් බුද් දී
(දේව පුරාණය 126 පිටුව)

ඇසළ මාසේ දෙපෝදා කිවි දිනයක අලුයම් වේලේ කොහොඹා කුමරු උපන් බවත් සත් මසක් ඇවෑමෙන් කුමරුට නම් තැබූ බවත් අනතුරුව මෙකුමරු සත් හැවිරිදි කළ වැදි පිරිස සමග එකතුව දිය කෙළයෙහි යෙදුන ආකාරයත් මලය රජු මෙපවත් බලා සිට බලහෙල නම් ගලේ ගල් දොරක් අරවා කුමරු එහි තැබූ බවත් කුමරුන් එන මග බලා සිටි මවු පියන් කුමරුගේ නොපැමිණීම හේතුවෙන් දුක්වූ අයුරුත් කෙහොඹා හෑල්ලෙහි මෙසේ කියැවේ.

කොසඹෝ දිය නාපු
වයි වයි ගොඩ පැනපු
සිටි මලරජු දැකපු
පා වැඳලා සිටපු

අත් හිස තබා ගෙන
උන්දැයි මග බලා ගෙන
එන කොලු පුතු අතින
පුතුන් කොයිදැයි විචාරන

කොසඹුන් නොමැති සොවින් දෙමාපියන් වැලපුන අයුරු කොහොඹා හෑල්ලේ කවි ගණනාවකින් කියවේ. ජල ක්‍රීඩාව පිණිස ගිය කුමරුන් සිද්ධ දෙවිඳුන් විසින් ගෙනගිය බව කුමරුන් මවුපියන්ට සිහිනෙන් පැවසූ බවද පැවසේ.

පරණ කෙහොඹා දෙවියෝ

පරණ කෙහොඹා දෙවියන් ගේ උපත පිළිබඳව විවිධ මත පවතී. බරණැස් නුවර උපත ලබා රජුගේ උදහසට ලක්ව මෙලකට පැමිණ මලය පෙදෙසේ පදිංචි වූ බවත් පැවසේ.

පරණ කොසඹ දෙවි උපත අසන්නේ
පොරණ එබරණැස් නුවර උපන්නේ
උරණ සිතින් රජු සහ කුමරුන්නේ
මරණ බියෙන් රට හැර පැන යන්නේ
(දේව පුරාණය 296 පිටුව)

මහා යාතිකාවේ පරණ කොහොඹා දෙවියන්ගේ උපත අඹන්වෙල හෙට්ටිහාමී මන්ත්‍රීස්වරයකු ගෙන්වා ගෙන නොමරා යක්කර කන්දේ බණ්ඩාර හෙවත් පරණ කොහොඹා යනුවෙන් නම් තැබූ බවද කියැවේ. මලය රාජ කතාවෙහි දැක්නොවන ඉන්ද්‍රභූපති පරණ කොහොඹා යයිද මතයක් පවතී. පරණ කොසඹා දෙවියන් මධුරා පුරයෙන් පැමිණි කන්දේ බණ්ඩාර නමින් ප්‍රචලිත දෙවි කෙනෙකුන් බවත් මෙම දෙවියන්ට දෙසීයක් වැදි සේනාව භාරකර ලංකාවේ හෑල්ලුම් මඩු කණ්ඩ වරම් දුන් බවත් සිංහල දේව පුරාණයේ පැවසේ.

මහ කෙහොඹා දෙවියෝ

මහ කොහොඹා මලය රජුගේ සේනාපතියකු බව දේව පුරාණයේ කියවේ. මහ කොහොඹා බරණැස් පුරයේදී යක්කර දේවත්වයට පත්වූ බව සඳහන් වෙතත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා දක්වන ආකාරයට ඉරුගල් බණ්ඩාර හෙවත් පායින්ගමුවෙන් යක් බවට පත්වූ කුමාරයා මහ කොහොඹා යයිද දේවපුරාණයේ කියවේ. (344 පිටුව)

මරා ගසාලන කොසඹ දෙනේයා
දරා සිතින් ගත් කඩුපුල් සේයා
තුන්දොළසක් වැදි බාර උනේයා
මහාමෙ කොහොඹා දෙවි වඩිනේයා

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක් වන අභාවප්‍රාප්ත පී. රංගනාත් මහතා මෙම කොහොඹා දෙවිවරුන් ස්වදේශීය ප්‍රභවයක් ඇති දෙවිවරුන් ලෙස දක්වා ඇති බවද දේව පුරාණයේ සඳහන් වේ.

කොහොඹා යක් ශාන්ති කර්මයෙන් හෙළිවන - කොහොඹා දෙව්වරු වතගොත

කලාභූෂණ ‘විශ්වාභිනන්දන’
සියනෑ ගෞරවකීර්ති’
සරණපාල නුවරපක්‍ෂ, පූගොඩ.
දුරකතනය 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment