සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට වාස්තු විද්‍යානුකූලව ව්‍යාපාරය අරඹන්න

302

මනුෂ්‍යයාගේ පරිණාමයෙන් පසුව මනුෂ්‍ය වර්ගයාගේ බෝවීම දිනෙන් දින වර්ධනය විය. ඒ සමගින් ඔවුනොවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ද විශේෂයෙන් ආහාර සපයා ගැනීම ආදි දේ විවිධ විය. සතකු මරාගෙන කා දිවිපෙවෙත ගතකළ මනුෂ්‍යයා, ගොවිතැන් කටයුතුවලට යොමුවිය. කල්යත්ම දඩයම් සතුන් හා කෘෂිකාර්මික නිෂ්පාදන අල, ධාන්‍ය එකිනෙකට හුවමාරු කරගනිමින් ජීවිතය පවත්වාගැනීම අරඹන ලදී. මෙසේ තව තවත් කල්ගතවීමේදී ඔවුන් අතර හුවමාරු ඒකකයක් වශයෙන් මුදල් ඒකකය භාවිතය ඇරඹුණි. මුදල් හුවමාරුවත් සමගින් වෙළෙඳාමේ වර්ධනය ඇතිවිණි. අප තථාගතයන් වහන්සේගේ පන්සිය පනස් ජාතක කථාවක සේරිවණිජ ජාතකයේ කදාවළලු වෙළෙඳුන් ගැන අපූර්ව කථා වස්තුවක් පවතී. බුදුන්වහන්සේ හා දෙව්දත් අතර වෛරය ආරම්භ වුණේ ද වෙළෙඳාම මුල්කරගෙනය. ඉන්පසු බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වුණ ප්‍රථම සතියේ තපස්සු භල්ලුක වෙළෙඳ දෙපළ බුදුන්වහන්සේට විලඳ-මී පැණි පූජා කළේ ද වෙළෙඳාම සඳහා ගමන් කරමින් සිටින මොහොතේයි. එදා සංචාරක වෙළෙඳාම ගෙයින් ගෙට, නගරයෙන් නගරයට ව්‍යාප්ත වුණ ද වර්තමානය වනවිට ස්ථාවර ගොඩනැඟිල්ලක, ස්ථිර ස්ථානයක වෙළෙඳසල් කුඩා, මධ්‍යම හා මහා පරිමාණයෙන් කරගෙන යනු ලබයි. දැන වෙළෙඳාම් නොදැන ගොවිතැන් යනුවෙන් ප්‍රස්ථා පිරුළ සම්පූර්ණ කරමින් අද සෑම ස්ථානයකම හතුපිපෙන්නා ලෙසින් වෙළෙඳසල් ඉදිකරයි. වෙළෙඳාම සෑම කෙනකුටම දකින පලියට කළහැකි කාර්යයක් නොවේ. එයට පූර්ව කුසල් ශක්තියක් තිබිය යුතුයි. ජන්ම පත්‍රයේ 2 හා 11 අධිපති ධනය සම්බන්ධයෙන් පවතී. රවි සඳු යහපත් රාශිවල සිටීම, සිකුරු වෘෂභ රාශිගත වීමත් විෂ්ණු යෝග යෙදී ඇතිවිටත් එවැනි කේන්ද්‍ර හිමියන්ට වෙළෙදාම ඉතා උචිත වේ.

තමන්ගේ වටපිටාවේ වෙළෙඳසල් වල සෙනඟ පිරී සිටියාට, වෙළෙඳාමෙන් ධනය ලැබීම හොඳින් සිදුවේ යැයි සිතා හෝ අසල පිහිටි වෙළෙඳසල් සමඟ අමනාප වී එයට පාඩමක් උගැන්වීමට යැයි සිතා හෝ වෙළෙඳාම තමන්ට නොගැළපේ යැයි සිතනවා නම් හෝ එවැනි අය කරන්නන් වාලේ වෙළෙඳසල් ආරම්භ කර අමාරුවේ වැටෙන්න එපා. ව්‍යාපාරයකට අතගැසීමට පෙර තමාගේ කේන්ද්‍රය පරීක්‍ෂා කරගන්න. ඉන්පසු සුදුසු භූමියක වාස්තු විද්‍යානුකූලව ගොඩනැඟිල්ලක් ශුභ හෝරාවක ඉදිකිරීම ආරම්භ කර ශුභ හෝරාවක වෙළෙඳ සල ආරම්භ කරන්න.

වෙළෙඳසලක් ආරම්භ කිරීමට ප්‍රථම සැලකිය යුතු කරුණු

  1. භූමිය

වෙළෙඳ සලකට උචිත හා ශුභ ඵල දෙන භූමිය වන්නේ හතරකොන මුලු පරස් නොමැති, දිශාවන් ශූන්‍ය නොවූ සමචතුරස්‍රාකාර භූමියකි. ත්‍රිකෝණ භූමි, පාර්ශුනාම භූමි, කේවල භූමි, මුර්ජාකාර භූමි, ශටක භූමි වෙළෙඳසල් සඳහා උචිත නොවේ.

  1. ගොඩනැඟිල්ල

බොහෝ බස්නාහිරට මුහුණලා ප්‍රධාන මාර්ග තිබෙන භූමිවල අය බස්නාහිරට මුහුණලා වෙළෙඳසලක් ආරම්භ කිරීමට බියක් දක්වති. නමුත් බස්නාහිර දිශාවට බිය යුතු නොවේ. බස්නාහිරට මුහුණලා ඇති වෙළෙඳසල් බලවත් වේ.

නැඟෙනහිරට මුහුණලා ඇති නැඟෙනහිර දිශාවට ප්‍රවේශය ඇති වෙළෙඳසල් ද ඉතා ඉක්මණින් දියුණුවට පත්වේ. කෙසේ වුවද ඒ සඳහා ඉදිකරන ගොඩනැඟිල්ල ද චතුරස්‍රාකාර විය යුතුය. වෙළෙඳසලක වයඹ, ගිනිකොන දිශාවන් අත්තිවාරමෙන් ශූන්‍ය නොවිය යුතුය. එසේ වීමෙන් ව්‍යාපාරය ඉක්මනින් බිඳවැටේ.

වෙළෙඳසලේ වහලය

වෙළෙඳසලකට මොනම හේතුවක් මත හෝ තනි පල වහලයක් යෙදීම සිදුවුවහොත් එහි ආයු කාලය ඉක්මනින් අවසන්ව වසා දැමීමටත් හිමිකරු මානසික පීඩාවට පත්වීමත් වළක්වාගැනීමට අපහසුය. මාර්ග දෙපස ඇති තනි පල වහල සහිත වෙළෙඳසල් බලන්න.

88% කට වඩා වසා දමා ඇති අයුරු

දැකගැනීමට හැකිය. ඒ වාගේම වෙළෙඳසලේ වහලයේ මුදුන් යටලීය, කොන්ක්‍රීට් බීම් එක බ්‍රහ්ම පාදයට සෘජුව වැටී තිබේ නම් එම වෙළෙඳසල ද ඉක්මනින් බංකොලොත් වී ණය ගෙවා ගැනීමට නොහැකි ලෙසත් දුන් ණය අයකරගැනීමට නොහැකි ලෙසත් පත්වේ.

වෙළෙඳසලේ ඉදිරිපස

ව්‍යාපාර ස්ථානයට ගැළපෙන ආකාරයට හොඳ නමක් අවශ්‍ය වේ. හොඳ යනුවෙන් අදහස් කරන්නේ වෙළෙඳසලේ හිමිකරුගේ නැකතට, නමට, ශුභ වන ආකාරයට ඝන, ලඝු, මාත්‍රා පිහිටුවා තබන නමකි. මෙම නාමය නාමපුවරුවක ගැසිය යුත්තේ උස x පළල ඔත්තේ සංඛ්‍යාවකට එන පරිදි උස 1’ පළල 3’ උස 1” පලල 3” ලෙසින් තම උපන් නැකතට සීහුම් කරමින් ආදි වශයෙනි. ඔබගේ වෙළෙඳසලේ නාමපුවරුව වැසෙන පරිදි ව්‍යාපාරික ආයතනවල දැන්වීම් පුවරු ගැසීම හා ඔවුන්ගේ නිෂ්පාදනවල නාමය ඔබගේ ව්‍යාපාරික නාමයට වඩා විශාලවත් වෙළෙඳසලේ නම එහි කොටසක පුංචියට පැවතීමත් ඔබගේ ව්‍යාපාරික ආයතනයට වඩා අර ප්‍රදර්ශනය කරන වෙළෙඳ භාණ්ඩයේ නම කැපී පෙනීම ද ශුභ නොවේ. ඒ වගේම වෙළෙඳ සලේ ඉදිරිපස පිරිසිදුව, ගඳ ගසන කාණු පද්ධති, කැඩී ගිය කාණු පද්ධති නොමැතිව තිබිය යුතු අතර වෙළෙඳසල ඉදිරිපිට බුලත් කෙළ ගැසීම, හොටු සීරීම තුළින් ඉතා අශෝභන අහිතකරතාවයන් නිර්මාණය වේ.

වෙළෙඳසලේ අභ්‍යන්තරයේ භාණ්ඩ ඇසුරුම වාස්තු විද්‍යානුකූලව පවත්වා ගැනීම

වෙළෙදසල ඇතුළත රාක්ක තැබීම, භාණ්ඩ ප්‍රදර්ශනය ක්‍රමවත් ආකාරයකට ඒ ඒ දිශාවන්ට අනුකූල ලෙසින් කරගැනීම තුළින් වෙළෙඳසලේ දියුණුව ළඟා කරගත හැකිය. පාරිභෝගිකයන් අද්දවා ගැනීමට පුළුවන. මෙහිදී වෙළෙඳසලේ බ්‍රහ්ම පාදය අවහිර හෝ බාධා දෙන අයුරින් නොපැවතිය යුතුය. බ්‍රහ්ම පාදය මත මස්, මාළු ගබඩා කර ඇති අධිශීතකරණ කිසිවිටෙකවත් තබන්න එපා. වෙළෙඳසල ඉක්මනින් බංකොලොත්වීමට එය බලපායි. ඒ වගේම බර රාක්ක, තරාදි බරින් අධික භාණ්ඩ ද බ්‍රහ්ම පාදය මත හෝ ඊසාන දිශාවේ තැබීම ද ඉතාම අශුභ වේ.

උතුරු දිශාව

වෙළෙඳසලක දිශාවක් ලෙසින් විවෘතව තැබීම විශාල ද්වාර තැබීම සුදුසුය. උතුරු දිශාව කිසිවිටෙක වෙළෙඳසලක අන්ධ බිත්තියට (Blind Wall) ගන්න එපා. ව්‍යාපාරයට ගනුදෙනුකරුවන් පැමිණීම අඩුවේ. ආදායම පහළ බසී. මුදල් භාරගැනීම උතුරු දිශාව බලා සිදුකිරීම ද යෝග්‍ය වේ. ඉතාම පිරිසිදුව උතුරු දිශාව පවත්වාගෙන යා යුතුය.

ඊසාන දිශාව

පූජා කටයුතු පවත්වාගෙන යෑමටත්, සැහැල්ලු භාණ්ඩ වර්ග සුවද විලවුන්, විසිතුරු භාණ්ඩ, සෙල්ලම් භාණ්ඩ, වටිනා ආභරණ, මැණික් වර්ග, රත්තරන් ආභරණ ප්‍රදර්ශනයටත් ඉතා යෝග්‍ය වේ. ඊශාන දිශාව ද පිරිසිදුව තබාගැනීම අනිවාර්ය වේ.

නැඟෙනහිර දිශාව

වෙළෙඳසලක ප්‍රධාන පිවිසුම මුදල් භාර ගැනීමේ කවුන්ටරය නැඟෙනහිර දිශාව බලා ගනුදෙනු කිරීම, රෙදිපිලි වර්ග, ලිපිද්‍රව්‍ය, වියළි ආහාර වර්ග ප්‍රදර්ශනයට සුදුසුය.

ගිනිකොන දිශාව

ජෙනරේටර්, ශීතකරණ, විදුලි භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා තැබීමත් වෙළෙඳසලේ ශීතකරණ, ජෙනරේටරය තැබීමටත් සුදුසු දිශාව වේ. එයට අමතරව විලාසිතා භාණ්ඩ, කරවල වර්ග, මාළු, මස් තබාගැනීමට සුදුසුම දිශාව වේ.

දකුණු දිශාව

ගබඩා කාමරය පවත්වා ගැනීම, සහල් සීනි ධාන්‍ය වර්ග, ගොඩනැඟිලි ද්‍රව්‍ය, මුළුතැන්ගෙට අවශ්‍ය දේ මෙහි තබාගත හැකිය.

නිරිත දිශාව

වියළි ආහාර වර්ග ප්‍රදර්ශනයට, ගබඩා කිරීමටත් බරින් වැඩි භාණ්ඩ තැබීමටත් යෝග්‍ය වේ. ජෙනරේටර්, ශීතකරණ තැබීම ශුභ නොවේ. සීනි, පිරිප්පු, හාල්, පිටි තොග ගබඩා කිරීම හොඳය. ව්‍යාපාරික ස්ථානයේ අයිතිකරුගේ මේසය තැබීමටත් නැඟෙනහිර, උතුර බලා ගනුදෙනු කිරීමත් භුභ වේ.

බස්නාහිර දිශාව

සේවකයන්ගේ භෝජන ශාලාව, සේවක ගිමන් හල මෙන්ම වැසිකිළි සඳහා යෝග්‍ය වේ.

වයඹ දිශාව

වෙළෙඳසලට පැමිණෙන ගනුදෙනුකරුවන් රැඳී සිටින ස්ථානයට, භාණ්ඩ ප්‍රදර්ශනයට මෙම දිශාව යෝග්‍ය වේ.

කුඩා වෙළෙඳසලක වුවද ඉහත දිශාවන්ට අදාළව භාණ්ඩ තබාගැනීම, ප්‍රදර්ශනය තුළින් එම වෙළෙඳසල ද දියුණුවට පත්වනු ඇත.

සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට වාස්තු විද්‍යානුකූලව ව්‍යාපාරය අරඹන්න

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment