පසුගිය සතියේ පැවැත්වුණු, ඔස්කාර් සම්මාන උළෙලේදී හොලිවුඩ් ඇකඩමියේ සම්මානවලට ලක් වූ සිනමාකරුවන් අතරින් වැඩිම ජනාදරයට පාත්‍ර වුණේ හොඳම සහාය රංගන ශිල්පියා ලෙස ඕපන්හයිමර් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන ලැබූ කනිෂ්ඨ රොබට් ඩවුනි.

සම්මානය අතට ගැනීමෙන් පසු ඔහු කළ කතාවෙන් කොටසක් සරලව සිංහලයට අනුවර්තනය කළොත් මෙහෙමයි. ‘මම කැමතියි මගේ නරක ළමා කාලයට ස්තූතිවන්ත වෙන්න. ඒ වගේම ඇකඩමියට. ඒ කීව පිළිවෙළට. මම මගේ පශු වෛද්‍ය සමාවෙන්න, මගේ බිරිඳ සූසන්ට ස්තූතිවන්ත වෙනවා. ඇය මා සොයාගත්තා, ගොරවන අනාථ වූ සුරතලෙක් විදියට, ඇය නැවත ජීවිතයට ආදරය ගෙනාවා. ඒ නිසයි අද මම මෙතැන ඉන්නේ. ස්තූතියි. පොඩි රහසක් කියන්නම්, මේ වැඩේ මට ඕනෑ වුණා මේ වැඩේට මාව ඕනෑ වුණාට වඩා.‘

ඒ අනුව ක්‍රිස්ටෝපර් නෝලන්ගේ අතිවිශිෂ්ට සිනමාකෘතිය වූ, පසුගිය වසරේදී බාර්බි චිත්‍රපටය සමග ඉහළම ආදායම් උපයන්නට සමත් වූ ඕපන්හයිමර් රොබට් ඩවුනිට තමන්ගේ ජීවන කතාවේ වැදගත් සන්ධිස්ථානයකට ළඟා වෙන්නට මග සැලසූ බව කියන්න පුළුවන්.

මෙම සම්මානය, ඕපන්හයිමර් චිත්‍රපටයේ ලුවී ස්ට්‍රවුස් නම් වූ චරිතය රගපෑම වෙනුවෙන්. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රොබට් ජේ. ඕපන්හයිමර් වුව, කතා ආකෘතිය චරිත දෙකක් වටා ගොඩනැගි තිබුණා.

ඔස්කාර් දින්න කුඩ්ඩා! - රොබට් ඩවුනි

සම්මාන ලබද්දී, රොබට් සිහිපත් කළ ළමා කාලය කුමක්ද? ඒ ළමා කාලය සහ තරුණ කාලයම රොබට් ඩවුනි කවුද යන්න නිර්වචනය කරන්නට හේතු වුණා. ඒ ළමා කාලයම ඔහු අද සම්මාන ලබද්දී ලෝකයම ඒ සතුට බෙදා ගන්නටත් පසුබිම් වුණා.

1965 දී උපත ලද රොබඩ් ඩවුනිගේ පියා, ජ්‍යෙෂ්ඨ රොබට් ඩවුනි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මව, එලීස් ඈන් රංගන ශිල්පිනියක්ව සිටියා. ඔහු සිටියේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ. මවත්, පියාත් දෙන්නාටම තිබුණේ සුවපහසු දිවියක් නෙවෙයි. සිනමාකරුවන් වුව, ඒ දෙන්නාම අයත් වුණේ වඩාත් ‘කල්ට්‘ හෝ ‘අන්ඩර්ග්‍රවුන්ඩ්‘ සිනමා සම්ප්‍රදායකට. පර්යේෂණාත්මක සිනමාව, අවාන්ට් ගාර්ඩ් සිනමාව ලෙස හැඳින්වූ සාමාන්‍ය සිනමාවේ සම්ප්‍රදායන් හිතා මතා කඩා දැමූ සිනමා සම්ප්‍රදායක් තුළ ජ්‍යෙෂ්ඨ රොබට් ඩවුනි සහ එලීස් ඈන් සිනමා නිර්මාණකරණයේ යෙදුණා. ඔවුන් සම්ප්‍රදායට අභියෝග කළේ සිනමාව තුළ පමණක් නෙවෙයි, තමන්ගේ ජීවිතම වටිනාකම්ම අභියෝගාත්මක විදියට අත්හදා බැලීම්වලට ඔවුන් යොමු කළා.

හොලිවුඩය තියෙන්නේ ඇමෙරිකාවේ බටහිර කෙළවරේ. නිව්යෝක් නගරය තියෙන්නේ අනෙක් කෙළවරේ. රොබට් ඩවුනි සිටියේ හොලිවුඩයට ප්‍රතිවිරුද්ධ කෙළවරේ.

ජීවිත වටිනාකම් අභියෝග කරපු බොහිමියානු සම්ප්‍රදායකට අයත් වූ ඩවුනිගේ මව මත්පැනටත්, පියා මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වී සිටියා. රොබට් ඩවුනි මත්ද්‍රව්‍යවලට යොමු වී තිබුණේ වයස අවුරුදු හයක් වෙද්දී හෝ අටක් වෙද්දී. තාත්තා ඔහුට මරුජුවානා ලබා දුන්නා. පියා සහ පුතාගේ මතකයන්හි මේ වයස සටහන් වී තිබුණේ දෙවිදියකට.

සිනමාවේත්, ජීවිතයේත් සිදුකළ වගකීම් විරහිත අත්හදාබැලීම් නිසාම තමන්ගේ දරුවන්ට මරුජුවානා ලබා නොදුන්නොත් එය අපරාධයක් යැයි එදා දැනුණා කියා තමන් ගැන විකාශය වූ නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපටයකදී ජ්‍යෙෂ්ඨ රොබට් ඩවුනි කියා තිබුණා. ඒ එම ක්‍රියාම ඉතා මෝඩ වැඩක් බවත්, තමන් ඒ ගැන අද ආඩම්බර නොවන බවත් කියමින්.

‘තාත්තායි මායි එකට මත්ද්‍රව්‍ය ගන්නකොට, ඒක දැනුණේ ඔහු මට තමන්ගේ ආදරය තමන් දැන සිටි එකම ක්‍රමයට පෙන්වන්න උත්සාහ කරනවා වාගෙයි.‘ කියා රොබඩ් ඩවුනි පසුකාලීනව කිව්වා.

කුඩා කාලයේ සිට පියා ඔහුට තමන්ගේ නාමය, මත්ද්‍රව්‍ය යන දායාද දෙකට අමතරව දුන් අනෙක් දායාදය වන්නේ සිනමාව. ඒ උත්තුංග මායාකාරී කලාව කනිෂ්ඨ රොබට් ඩවුනිට ළමා කාලයේ සිට උරුමයෙන් හිමි වුණා. තමන්ගේම පියාගේ චිත්‍රපටවල රඟපාන්න පටන් ගත්තා. ‘ක්ලැප්බෝර්ඩ් එකේ සද්දය ඇහෙද්දී නිදා ගන්න මං පුංචි කාලෙම පුරුදු වුණා‘ කියා ඔහු කීවා. පුංචිම කාලයේ කම්පවුන්ඩ් නම් වූ චිත්‍රපටයේ ඔහු රඟපෑවා.

වයස අවුරුදු 12 දී මව සහ පියා වෙන්වීම එක්ක රොබර්ට්ට තිබුණු කුඩා හෝ සාමාන්‍ය ජීවිතය අහිමි වුණා. මව හා නිව්යෝර්ක් නගරයේ ජීවත් වුණේ, පියා සිය සොයුරිය සමග කැලිෆෝනියාවට ගිය අතරේයි. පසුව අවුරුදු 16 දී පියා හා ජීවත් වීමට යන රොබට් ඩවුනි වයස අවුරුදු 17 දී උසස් අධ්‍යාපනයෙන් එළියට විසි වුණා. නැවත, වයස අවුරුදු 24 දී නිව්යෝර්ක් වෙත ආවේ රංගනය පූර්ණකාලීනව යෙදෙන්නට. එහෙත්, රංගන අවස්ථා සීමිත වෙද්දී ඔහුට මේස පිසදැමීම ආදී අමතර රැකියා කරන්නත් සිද්ධ වුණා. කුඩා වේදිකා රංගනයන්, කුඩා නිර්මාණ ආදිය ඔහුට ලැබුණා.

ඔස්කාර් දින්න කුඩ්ඩා! - රොබට් ඩවුනි

1987 දී ඔහු ‘Less Than Zero’ චිත්‍රපටයේ රඟපෑවා. එහි ඔහු රඟපෑ චරිතය මතට ඇබ්බැහි වූ තරුණයෙකුගේ චරිතයක්. යම්තාක් දුරට එය තමන්ගේම ජීවිතය ගැන කතාවක් ලෙස දැනුණු බව ඔහු කියා තිබුණා. එම චිත්‍රපටයේ දර්ශන තලයේදී මත්ද්‍රව්‍ය ඇබ්බැහිය තවත් තීව්‍ර වී තිබුණා. තරුණ වියේදී ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පාලනයෙන් පිටට යන්නට පටන් ගත්තේ ඔය කාලේ. ඔහු තමන් ඉදිරියේ ඇති අභියෝගාත්මක යථාර්ථය වෙනුවට මත්ද්‍රව්‍යවලින් ඔහුට දුන් මායාකාරී ලෝකයට හුරු වුණා. යථාර්ථය වෙනස් කරගන්නට මත්ද්‍රව්‍යවලින් හැකිවේ යැයි ඔහු සිතුවා.

ගාඩියන් වෙත 2003 දී ඔහු කී විදියට, ඒ චිත්‍රපටයට පෙර ඔහු වැඩ කළාට පස්සේ සහ සති අන්තවල පමණක් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ නමුත් ඒ චිත්‍රපටය කාලයේ සම්පූර්ණයෙන් එය බිඳවැටුණා.

ඊට පසු සාර්ථක – අසාර්ථක චිත්‍රපටවලට යොමු වෙන අතරේ, ඔහු අසාර්ථක ප්‍රේම සබඳතාවකටත් යොමු වුණා. Frist born චිත්‍රපටයේදී හමු වූ රංගන ශිල්පිනී සාරා ජෙසිකා පාකර් සමග. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ආදී බොහෝ දේවල් මත සාරා ජෙසිකා පාකර් සමග තිබුණු සම්බන්ධය පසුව බිඳවැටුණා.

මේ ඇබ්බැහියම ඔහු නීතියට කොටු වෙන්නත් හේතු වුණා. 1996 ජුනි මාසයේදී වයස අවුරුදු 30 දී රොබට් මත්ද්‍රව්‍ය ඇබ්බැහිය මත වාහන පදවද්දී අත්අඩංගුවට පත් වුණා. වගකීම් විරහිතව, මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන පමණක් නොව ආයුධත් සමග ඔහු අත්අඩංගුවට පත් වීම හොලිවුඩය කැළඹූ පුවතක් වුණා. ඔහු වසර තුනක අත්හිටුවූ සිරදඬුවම් ලබා මාස හතරක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ගත කළා. 1999 දී නැවත වතාවක් ඔහු වසර තුනක සිර දඬුවමක් ලැබුවා. මාස 15න් එළියට ආවත්, ඔහුව සැලකුවේ කෙතරම් දක්ෂ වුණත්, තාරකාවකට කෙතරම් දරුණු ලෙස සිය ජීවිතය විනාස කරගත හැකිද යන්න ලොවට උගන්වන කඩාවැටුණු තරුවකට උදාහරණයක් ලෙස. එක් වතාවක් ඔහු කියා තිබුණේ ‘මම මගේ කටට පිස්තෝලයක් තබාගෙන ඉන්නවා. ඇඟිල්ල කොකාගස්සන්න නියමිතයි. මම කැමතියි ඒකේ අයෝමය රසයට.‘ යනුවෙන්. ඒ කියන්නේ, තමන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය මරණය දක්වා තමන්ව ගෙනයන නමුත්, තමන් එයට කැමති බව.

ඔස්කාර් දින්න කුඩ්ඩා! - රොබට් ඩවුනි

2000 දී එළියට ආ ඔහු නැවත වතාවක් මත්ද්‍රව්‍ය සමග ඔහු යළිත් අත්අඩංගුවට පත් වුණා. ඔහු කී විදියට ඔය කාලසීමාව, තමන්ට රංගන ශිල්පියෙකු ලෙස අනාගතය කුමක් වේද යන්න කිසිසේත් අදාළ නොවූ කාලයක් බව ඔහු කියා තිබුණා.

මේ සියල්ල සමග ඔහුට නැවත වතාවක් හොලිවුඩයේ සාර්ථක වීමට නොහැකි බව අනාවැකි පළ වුණා. ඔහු අත්හැර දැමුණු බලාපොරොත්තුවක් වුණා. ස්වභාවික දක්ෂතා මෙන්ම පෞරුෂයක් තිබුණු මේ තරුණයා සිය ජීවිතය විනාස කරගත් බව වැඩිහිටියන් කීවා. මත්ද්‍රව්‍ය- කෙතරම් භයානකද? රොබට් දිහා බලන්නැයි කීවා. ඒකට හොඳම උදාහරණය වුණේ Ally Mcbeal සිදුවීම.

2000 දී ඔහුට නැවත අවස්ථාවක් ලැබුණේ, Ally Mcbeal කතා මාලාවේ චරිතයක් ඔහුට ලැබුණා. ඔහුගේ ස්වභාවික පෞරුෂයත් එක්ක හැමෝම ඔහු ගැන යම් බලාපොරොත්තුවක් තැබුවා. ඔහු එමී සම්මානයකට නිර්දේශ වූ අතර, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ජයග්‍රහණය කළා. එහෙත්, ඒ ක්ෂණයෙන් නැවත ඔහු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වුණා. ඔහුව කතා මාලාවෙන් දොට්ට දැම්මා. 2001 දී නැවතත් ඔහු අධිකරණයෙන් දඬුවම් ලැබුවා.

2003 පහු වෙද්දී, ඔහු නැවත වතාවක් මත්ද්‍රව්‍යවලින් ඈත් වී සාර්ථකත්වය සොයා යන්නට පටන් ගත්තා. ඇබ්බැහිය පාලනය කරගත් ඔහු චිත්‍රපටවල රඟපාන්නට පටන් ගත්තා. එක්වරම ඔහු තමන්ගේ ජීවිතය පමණක් නොව, ලෝක සිනමාව වෙනස් කරන මහා සිදුවීමකට දායක වුණා. ඒ තමයි අයන් මෑන්.

2008 දී මාවල් සමාගමේ අයන් මෑන් චරිතය ඔහුට ලබා දීමම හොලිවුඩ් මාධ්‍යවල විශාල සාකච්ඡාවකට බඳුන් වුණා. මාවල් සිනමා සමාගම, ඉතා ඉහළ මිලක් වැය කරමින් සුපිරි වීරයන්ගේ චිත්‍රපට මාලාවක් කරන්නට සැරසෙනවා. ඔවුන් එයට තෝරාගෙන තිබුණේ මාවල් සතු ජනප්‍රියම චරිතයක් නොව, අයන් මෑන් නම් වූ යම්තාක් දුරට ජනප්‍රියත්වයක් ඇතත් ලෝකය කළඹන්නට ප්‍රමාණවත් නොවූ චරිතයක්. අයන් මෑන් චිත්‍රපටය තිරගත වූ අවුරුද්දේම ඩීසී සිනමා සමාගම බැට්මෑන් චිත්‍රපටයකුත් තිරගත කළා. ප්‍රසිද්ධිය අතින් එකල අයන් මෑන් සහ බැට්මෑන් අහසට පොළොව වාගෙයි. එවන් පසුබිමක එකල සිටි විල් ස්මිත් කෙනෙකු හෝ බ්‍රැඩ් පිට් කෙනෙකු හෝ, කියානූ රීව්ස් කෙනෙකු හෝ ටොම් කෲස් කෙනෙකු වෙනුවට මේ කුප්‍රකට රංගන ශිල්පියාව චරිතය රඟපාන්නටත් තෝරාගැනීම ඇතැමුන් පුදුමයට පත් කළා.

එහෙත්, චිත්‍රපටය පැමිණීමෙන් පසු සියල්ල වෙනස් වුණා. සිනමා ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපට මාලාව වූ ‘මාවල් සිනමා විශ්වයේ‘ මුල් ගල රොබට් ඩවුනිගේ අයන් මෑන් බවට පත් වුණා. එම සිනමා විශ්වය අල්ලාගෙන සිටි කේන්ද්‍රීය චරිතය බවට ඔහු පත් වුණා. අයන් මෑන් යනු 2000- 2008 කාලයේ අප දුටු අනෙකුත් සිනමා සුපිරි වීරයන්ට වඩා වෙනස් කෙනෙක්. අයන් මෑන් ‘ආඩම්බරකාරයෙක්‘, සීයට සීයක් හැඟීම්වලට බර වූ භාවාතිශය වීරයෙක් නෙවෙයි. රොබට් ඩවුනිගේ කළු සුදු ඉතිහාසය මෙන්ම අයන් මෑන් කළු-සුදු මිශ්‍ර චරිතයක් වුණා.

ඔස්කාර් දින්න කුඩ්ඩා! - රොබට් ඩවුනි

ඒ අයුරින් සිනමාව වෙනස් කළ ඔහු, නිසි මොහොතේ එම චරිතය අත්හැර දමනවා. ‘වෙනත් චරිත රඟපාන්නට කාලය වෙන් කරන්න ඕනෑ‘ බව කියනවා. ඔහු අත්හදා බැලීම් කිහිපයකට යොමු වෙනවා. ඕපන්හයිමර් හමු වන්නේ ඒ අතර.

ඒ වෙද්දී ඔහුගේත් දායකත්වයෙන් ගොඩනැගුණු මාවල් සිනමා විශ්වය ප්‍රමුඛ, හොලිවුඩ් ස්ටුඩියෝ සතු වූ ‘බුද්ධිමය දේපළ‘ යොදාගෙන කරන ලද චිත්‍රපට කතා මාලා ප්‍රේක්ෂකයන්ට තිත්ත වෙමින් තිබුණා. මාවල් චිත්‍රපට සහ කතා මාලාවලට දිගින් දිගටම විවේචන එල්ල වෙද්දී, පැරණි චිත්‍රපටවලට අනුප්‍රාප්තිකව ආ චිත්‍රපට බොහොමයක් ගැන ප්‍රේක්ෂක උනන්දුව හීන වී තිබුණා. සුපිරි ෆැන්ටසි කතා වෙනුවට, ‘ජීවිත කතාවක්‘ හොලිවුඩයේ බ්ලොක්බස්ටර් චිත්‍රපටියක් බවට පත් විය හැකි බව එවැනි මොහොතක ඕපන්හයිමර් චිත්‍රපටය පෙන්වා දුන්නා. ඇත්තටම 2023 දී ඕපන්හයිමර් චිත්‍රපටය හොලිවුඩයට නව මාවතක් පෙන්නුවා. රොබට් ඩවුනි වසර 15කට පසු යළිත් වතාවක් සිනමාව වෙනස් කරන්නට දායක වුණා.

ඒ අනුව, තමන්ගේ අඳුරු අතීතය යටපත් කරමින් ලොව ආදර්ශයක් වන අන්දමේ චරිතයක් දක්වා රොබට් ඩවුනි ගමන් කර තිබෙනවා. එය අප හැමෝටම වැදගත් වන්නේ අද ලංකාවේ බොහෝ අවස්ථාවල මත්ද්‍රව්‍ය ඇබ්බැහිය අපරාධයක් ලෙස හංවඩු ගැසෙන නිසා. මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනයට කියා තිබෙන ස්ථානවල පවා ඇත්තටම සිදු වන්නේ ඔවුන්ව සිර කර තැබීමත්, මනුෂ්‍යයන් ලෙස පහත් කර සැලකීමත් පමණයි.

එහෙත්, රොබට්ගේ ළමා කාලය වාගේම ඇබ්බැහියට හේතු වන විවිධාකාර පසුබිම් කතා තිබිය හැකියි. දුප්පත්කම, සමාජ පසුබිම, මාපියන්ගේ වැරදි හෝ තව බොහෝ හේතු මත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ජීවිතයේ දෙවැනි අවස්ථාවක් ලැබිය යුතුමයි. ඒ නිසා, ඇබ්බැහිය සෞඛ්‍ය සහ සමාජයීය ප්‍රශ්නයක් ලෙස මිසක සිරගත කොට දඬුවම් විඳින්නට සුදුසු අපරාධයක් ලෙස සැලකීම නව යුගයට ගැළපෙන්නේ නැහැ.

රොබට් ඩවුනි සම්මාන ලැබීමේ කතාවෙන් ලංකාවේ, අද දවසේ අප ඉගෙනගන්නට වටින පාඩම එයයි. ඇතැම්විට, ‘කුඩ්ඩන්‘ ලෙස ලේබල් වී අවමානයට පාත්‍ර වන්නන් අතර කලාකරුවන්, චින්තකයන් හෝ වෙන ඕනෑම ආකාරයක සාර්ථක මනුෂ්‍යයන් සිටිය හැකියි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ ලාලසාව හඳුනාගෙන, එයට කාලය වැය කරන්නට අවශ්‍ය සමාජයීය හා සෞඛ්‍යමය සහයෝගය පමණක් විය හැකියි.

● තරිදු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment