පාර්ලිමේන්තු සභා ගැබ කැටයමින් සැරසූ ප්‍රවීණ කලාකරු විමල් වික්‍රම සුරේන්ද්‍ර පසුගියදා දිවිසැරිය නිමා කළේය.

ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද කීර්තියට පත් විමල් වික්‍රම සුරේන්ද්‍රයන් ගැන කලකට ඉහතදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සැකසූ ලිපියක් ඒ ප්‍රවීණ කලාකරුවාට උපහාර පිණිස නැවත පළකරමු.

අවුකන පිළිමය, සඳකඩපහණ, ඉසුරුමුණි පෙම් යවළ නෙළුෑ සීගිරි සිත්තම් කළ අපේ පාරපරික කලාකරුවකුගේ පුනර්භවයකැයි සිතිය හැකි කලාකරුවකු ගැන අසන්නට ලැබීම දකින්නට ලැබීම ජාතියේම භාග්‍යයක් නොවේ ද?

අවුකන පිළිමය නෙළන කාලයේ ඒ ශිල්පියාට අපිත් කටු මිටිවත් ළඟට දෙන්න ඇති. ඒ අනුහසින් කිසියම් කුසලතාවක් අපටත් හිමිවුණා ද දන්නේ නැතැයි නිහතමානීව කියන මේ අග්‍රගණ්‍ය ශිල්පියා අපේ කිතුගොස රටින් රට ගෙන යන නිර්මාණ රැසක නිර්මාතෘවරයාය.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ සභා ගැබට පිවිසෙන ප්‍රධාන දොරටුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සහිත රිදී ඇගෑ දොරටුව සහ සභා ගැබ හොබවන දිසා ධජ පන්තිය ද ලඹ දෙන මනහර යෝධ පහන ද ශ්‍රී ලංකා මහ බැංකුවේ කාසි තොරණ ද පැරැණි පාර්ලිමේන්තු මන්දිරයේ අද ජනාධිපති මහ ලේකම් කාර්යාල අභ්‍යන්තරයේ පියගැට පෙළ පාමුල පිහිටි උස අඩි 6 1/2 පළල 6 1/2 කින් යුත් ටොන් දෙකක් බර කලාත්මක සිංහ සංකේතය ද මේ විශිෂ්ට කලාකරුවාගේ නිර්මාණ අතර වෙයි.

ඒ අතරට එක්වන ඔහුගේ නවතම නිර්මාණය පාප් වහන්සේ සමස්ත ලෝකවාසී බැතිමතුන්ට ආශිර්වාද කරනු පිණිස සුරතින් දරා සිටින කුරුසියේ අඩි 16ක් උස අනුරුවකි.

1956 දී ජේ. ඩී. ඒ. පෙරේරා ශූරීන් අධිපතිකම දරන සමයේ රජයේ කලායතනයේ ශිල්ප හදාරන අවධියේ පටන් පැවැති ප්‍රාර්ථනාවක් ඉටු කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ මේ පිළිරුව නිර්මාණය කිරීමේ අවස්ථාව කළුතර දූව පන්සල පාරේ විමල් වික්‍රම සුරේන්ද්‍ර කලාකරුවාට ලබාදුන්නේ ඇන්. සලම් පෙරේරා මහතාය.

විස්කම් සුරිඳු සඳ
යළි පණ ලබා ආ ලෙද
විස්කම් පාන අද
විමල් සුර ඉඳු සැරද මින් සඳ

විශ්වකර්මයාගේ පුනරුත්පත්තිය

වරෙක අරිසෙන් අහුබුදු කවියා විසින් හඳුන්වන ලද පරිදි ඔහුගේ දහසකුත් එකක් මල් ලිය කවිත් කළ නිර්මාණ දුටු කල ඔහු විස්කම් දෙව් පුතුගේ පුනර්භවයකැයි සිතීම සාධාරණ යැයි අපට ද හැඟෙයි.

මාලිගාවත්තේ ප්‍රදීප මාවතේ අලුතින් ඉදි කළ සාමයේ රුජින වන අප ස්වාමිදුවගේ දේවස්ථානයේ ඉකුත් සතියේ තැන්පත් කළ විමල් වික්‍රම සුරේන්ද්‍රගේ නවතම නිර්මාණය වන තඹ තහඩුවෙන් නිර්මිත ජේසු ස්වාමි දරුවාගේ ප්‍රතිමාව බොරුල්ලේ ගෝතමී විහාරයට ජෝර්ජ් කීට්ගේ චිත්‍ර පද්ධතිය විසින් අත්පත් කර දෙන ලද ජාත්‍යන්තර කීර්තිය අපගේ රටට ගෙන දෙනවාට කිසිදු සැකයෙක් නැත.

ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාකරුවකු විසින් මේ ප්‍රතිමාව නිර්මාණය වීම තවත් විශේෂයකි. ප්‍රතිමාව නිර්මාණයට අත ගැසීමට පෙර ක්‍රිස්තුස් වහන්සේගේ චරිත කතා ගණනාවක් කියවා හදාරා උන් වහන්සේගේ චරිතයේ හරයන් ප්‍රමුඛ ලක්ෂණත් හඳුනාගත් සුරේන්ද්‍ර බර්ට්‍රම් දාබරේරා පියතුමා සහ ඇන්. සලම් පියතුමා විසින් ඉතාලියෙන් ගෙන්වා දෙන ලද අඟල් 6ක කුරුසියේ රිද්මය පමණක් ගෙන මේ කාරියට අත ගැසුවේය. අඩි 4×4 ගේජ් 18 පැතලි තඹ තහඩු ගණනාවකින් මේ ජගත් කීර්තිය ලැබිය හැකි නිර්මාණය කිරීමට විවිධ බර ප්‍රමාණයේ මිටි පහර ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ගසා ඇත. රුපියල් තිස් පන් දහසක වෑල්ඩිං භාවිත කර ඇත. නොකඩවා මාස තුනක කාලයක් ගත කර ඇත. එහෙත් ඔහුගේ නිර්මාණ ශක්තිය මෙතෙක් මිල කර නැත. මිල කළ හැකි වන්නේ ද නැත.

කලාවත්, තාක්ෂණයත්, ජ්‍යාමිතිවත්, කාර්මික ඥානයත් එක්තැන් වීමෙන් නිර්මිත මේ විශිෂ්ට කලා කෘතියට සමතැන් ගතහැකි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවක් ආසියාවේ නැත. යුරෝපයේ ඇත්නම් ඒ එකක් හෝ දෙකක්ය.

මේ ප්‍රතිමාව නිර්මාණයේ දී කලාකරුවා සැලකිලිමත් වූ කරුණු හෙළි කළේය. ලෝකයේ නිර්මිත සෑම කුරුස ගසකම පිළිබිඹු වන්නේ යුදෙව්වන් විසින් වධ දී ඇණ ගසා මරා දමනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේය. එහෙත් මෙහිදී මා නිර්මාණය කළේ ප්‍රාණය නිරුද්ධවීමට මොහොතකට පෙර ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයයි. උන් වහන්සේගේ අඩවන් දෑස ඊට සාක්ෂි’ සුරේන්ද්‍ර මහතා කියයි.

ප්‍රතිමා කර්මාන්තයේ යෙදී සිටිය දී මිටි පහර පන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ගසද්දී සුරේන්ද්‍ර මහතාගේ දියණි රන්සළු වික්‍රම සුරේන්ද්‍ර කීවේ තාත්තා ක්‍රිස්තුස් වහන්සේට දෙන තරම් වධ වේදනා යුදෙව්වන්වත් උන්වහන්සේට දෙන්න නැතුව ඇති කියාය. ඔහුට අත් උදව් කළ රවි මන්දාන්, කේ. ඩී. රත්නසිරි, පී. ඩී. ගුණතිලක, පුෂ්පලාල් ද සිල්වා සහ වොල්වින් ද සිල්වා ආදීහු යුදෙව්වන් මෙන් තඹ තහඩුවට පහර දෙමින් නිර්මාණයට දායක වූහ. එහෙත් ඒ එදා යුදෙව්වන් මෙන් ක්‍රිස්තුස් වහන්සේ වනසන්නට නොවේ. අද බැතිමතුන් හමුවේ යළි බිහි කරන්නටය.

විවිධ බරැති මිටිවලින් පහර පන් ලක්ෂයක් ගැසීම නිසා තවමත් සුරේන්ද්‍රයන්ට අත්සනක් තැබීමට ඇඟිලි එකතු කළ නොහැකිය. ප්‍රතිමාවේ රළු නිමාව සඳහා කට්ට කපන ලද විවිධ බර මිටි රැසක් ද විවිධ හැඩයට නවා තබා තළා හදාගන්නා ලද අසවල් ආයුධ යැයි නම් කළ නොහැකි උපකරණ රැසක් ද අපි දුටිමු. ඔහු සියුම් කැටයමට මල් ලියකමට භාවිත කරන සියුම් ආයුධ කට්ටල වෙනම තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකාවේ කාසියේ විකාශය පිළිබිඹු කරන ‘කාසි තොරණ’ විවෘත කළ ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා මේ මනරම් මන්දිරය ලංකාවේ හෝ ලෝකයේ මුදලින් මිල කළ හැකියි. එහෙත් මේ කලා නිර්මාණය මිල කිරීමට ආසියාවේ හෝ ලෝකයේ මුදල් ප්‍රමාණවත් නොවේ” යැයි කීවේ එහි විශිෂ්ටතම කලාත්මක ලක්ෂණ අවබෝධ කර ගැනීමේ හේතුවෙනි.

රන් රිදියෙන්, දැවයෙන්, සමෙන්, වීදුරුවලින්, ලෝහයෙන් විවිධ නිර්මාණ කරන විමල් වික්‍රම සුරේන්ද්‍ර විසින් නිර්මිත අත් දහයකින් යුත් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ ලෝහමය අර්ධෝන්නත පුවරුවක් ඔහුගේ කලාගාරයක් බඳු නිවහනේ ප්‍රධාන දොරටුව අභියස බිත්තියේ දැක්වේ. මේ නම් සුරේන්ද්‍රයන්ගේ විස්කම් වැඩ වේ යැයි දක්වන අපූර්ව සංකේතයකි.

අද බොහෝ කලාකරුවන් කඩිමුඩි කලාවට මිස සමාධිගත සැබෑ කලාවට පිවිසීම දුර්ලභ බව සුරේන්ද්‍රයන්ගේ අදහසයි. සිය කලා කාර්යය ගැන කොතරම් උනන්දුවක් දක්වන්නේ ද යත් ක්‍රිස්තුස් වහන්සේගේ මෙම ප්‍රතිමාවේ වැඩ ඇරැඹුවේ රාහු කාලය මඟ හැර සුබ නැකතකිනි. ආගමික ශාස්තෲවරයකුගේ අනුරුවක් සාදනවිට කළමනා සියලු වත් පිළිවෙත් ඔහු කළේය. මේ කාරිය අරඹා අවසන් වන තුරුම මෙය සුරේන්ද්‍රයන්ට භාර දුන් බර්ට්‍රම් දාබරේරා පියතුමාත් ඇන්. සලම් පෙරේරාත් යාඥා කරමින් මේ උතුම් කාර්යයට දේවාශිර්වාද ප්‍රාර්ථනා කළහ.

ලක්ෂ ගණනක පඩියකටවත් පිටරටක පදිංචියට යෑම අකෘතඥකම කැයි කියන මේ කලාකරුවා මයිකල් ඇන්ජලෝ කෙනෙකු හෝ රවීන්ද්‍රනාත් තාගෝර් කෙනෙකු රුපියල් කෝටි ගණනකටවත් බිහි කළ නොහැකි කොට එසේ යෑම නිෂ්ඵල ක්‍රියාවකැයි පවසයි.

විශ්වකර්මයාගේ පුනරුත්පත්තිය

ජෝර්ජ් කීට් නිර්මාණය කළ ගෝතමී විහාරය බොදු බැතිමතුනට පූජනීය ස්ථානයක් ද කලාගාරයක් ද වෙයි. සෙසු බැතිමතුනට එය අග්‍රගණ්‍ය කලාගාරයක් පමණි. එසේම සුරේන්ද්‍රයන්ගේ නවතම නිර්මාණය කිතු බැතිමතුනට පූජනීය වස්තුවක් වන්නා සේම සෙස්සන්ට අග්‍රගණ්‍ය කලාත්මක වස්තුවකි.

විමල් වික්‍රම සුරේන්ද්‍ර තවත් වික්‍රමයක් සිය ජීවිත කාලය තුළ දී කරන්නට අධිෂ්ඨාන කරගෙන සිටී. එනම් අති පූජනීය මහනුවර දළදා මන්දිරයේ දළදා වංශය මූර්තිමත් කර දැක්වීමයි. දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා සමග මේ පිළිබඳ දැනට මූලික කතා බහක යෙදී ඇත.

1936 දෙසැම්බර් 16 වැනිදා උපත ලද මේ විශිෂ්ට කලාකරුවා අපේ රටේත් ජාතියේත් අතීත කලාකරුවන්ගේ පරම්පරාවෙන් විසි වැනි සියවසට දායාද වශයෙන් ලත් නියෝජිතයකු වැනිය.

මෙම විශිෂ්ට කලා කෘතිය දුටු බොහෝ දෙනකුහට සිය සතුට පළ කළේ ඔහුගේ දෑත සිප ගනිමිනි. අජීවී පැතලි තහඩු හත අටකින් වධ වේදනාවට ලක්වූ උතුම් මනුස්‍යයකුගේ ජීවමාන ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමේ හැකියාව දෙවැනි වන්නේ මැවුම්කාර දෙවියන් වහන්සේගේ ලෝක නිර්මාණයට පමණකැයි කීම අතිශයෝක්තියකැයි කීම වරදකැයි මට නම් නොසිතේ.

● තිලකරත්න කුරුවිට බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment