කලාවැව අද්දර එළවළු හේනක ගෙවුණු රැයක්…

මෙවර අපගේ ‘සංචාරේ’ සැලසුම් වන්නේ වැව් බැඳි රාජ්‍යයේ සුන්දරත්වය හා අපූර්වත්වය විඳිනු පිණිසය. ඒ අනුව අපගේ සංචාරය සැලසුම් කෙරුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කැකිරාවට නුදුරු කලාවැවේ අසිරිය විඳ එහි දින කිහිපයක් ගතකරනු සඳහාය. මෙම ගමන සැලසුම් කරගන්නට ‘සංචාරේ’ අපේ කණ්ඩායමට පළමු ආරාධනාව ලැබුණේ කවදත් සංචාරේ කණ්ඩායම සමග දිවයිනේ කොතැනක හෝ සිදුකරන සංචාරයක් සඳහා තම නිබඳ කැපවීම ලබාදෙන අපගේ සුන්දර මිතුරා ජයන්ත විජේසිංහ විසිනි. අමතරව කැකිරාවට නුදුරු තිබ්බටුවැව-ඔලොම්බෑවේ පිහිටි ‘ෆුල්ඩා’ පෙර පාසල් සමූහයේ විදුහල්පතිනිය රේණුකා කුමුදුනී රත්නායක විසින් ද අපට ආරාධනාවක් කරනු ලැබුවේ ඇය විදුහල්පති ධුරය දරන ‘ෆුල්ඩා’ පෙර පාසල් ජාලය අයත් ‘ෆුල්ඩා ශිෂ්‍ය සංවිධානයේ’ 30 වැනි සංවත්සරික උත්සවය ද මේ දිනවලටම යෙදෙන බැවින් ඒ සඳහා ද සහභාගි වන ලෙස ඉල්ලමිනි. එම සංවිධානයේ පෙර පාසල් සමූහය ද පිහිටා ඇත්තේ කලාවැව ඉස්මත්තේම සුන්දර කොදෙව්වකය.

ගෙවී ගිය 17 වැනි ඉරිදාට ‘ෆුල්ඩා’ මොන්ටිසෝරි සමූහය ආරම්භ කර වසර 30 ක් සපිරීම නිමිත්තෙන් උත්සවය සංවිධානය කර තිබුණේ ‘ෆුල්ඩා’ ශිෂ්‍ය සංවිධානයේ නිර්මාතෘ අයිවෝ වැන්කියුලන්බර්ග් මහතා ප්‍රමුඛ ඊට ආධාර සපයන ජර්මනියේ සිට පැමිණි ජර්මන් ජාතික මිතුරු-මිතුරියන් පිරිසකගේ සහභාගිත්වයෙනි. මෙම උත්සවයටම සමගාමීව අපගේ සංචාරේ කටයුතු ද සැලසුම් කරන ලද අතර ඒ අනුව කලාවැව ජාතික උද්‍යානය ආශ්‍රිතව කරනු ලබන සංචාරයක් සහ කලාවැව අසබඩ හේනක ගතකරන රාත්‍රියක් ඇතුළුව ‘ෆුල්ඩා’ 30 වැනි සංවත්සර උත්සවය සඳහා ද සහභාගිවීම සඳහා මෙසේ අපගේ සංචාරේ සැලසුම් කරන ලද්දේ සති කිහිපයකට කලිනි.

කලාවැව අද්දර එළවළු හේනක ගෙවුණු රැයක්…

කල්තියාම මේ සඳහා දින වෙන්කරගත් පරිදි ඉකුත් සති අන්තයේ කැකිරාව නගරයට ළඟාවූ අපේ පළමු දින සැලසුම වූයේ එදින රාත්‍රිය කලාවැව ඉස්මත්තේ එළවළු හේනක ගතකර සංගීත සාජ්ජයක මිහිර විඳීම සඳහා ය. එම කටයුතු ජයන්ත සොයුරා මනාව සැලසුම් කර තිබූ අතර, ගායනයේ හා වාදනයේ දක්ෂයකු වන මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතාට ද මේ සඳහා ආරාධනා කර තිබිණි. ඊට අදාළ සියල්ල ඒ වන විටත් සූදානම් කර තිබුණේ කැකිරාව පැත්තට ගමන් කරන අපට කවදත් නැතිවම බැරි මිත්‍රයකු වන ‘නන්දන’ සොයුරා විසිනි. සැබැවින්ම මෙම එළවළු හේනේ හිමිකරු නන්දන ය. කැකිරාව නගරයේ තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන නන්දන, අමතරව මෙසේ තම ගම්මානය පිහිටි තිබ්බටුවැව-ඔලොම්බෑවේ කලාවැව අද්දර එළවළු වගාබිමක් පවත්වාගෙන යනු ලබයි. ඒ සඳහා වෙනමම සේවක පිරිසක් යොදාගෙන මෙම වගාබිම පවත්වාගෙන යනු ලබන්නේ වගාවට ඇති තමන්ගේ බලවත් ඇල්ම නිසාම සහ ඒ මගින් ලැබෙන ආදායම ද මේ දිනවල ඉතා හොඳ නිසා බව නන්දන කියයි. අක්කර දෙකක පමණ හේනක වම්බටු, බණ්ඩක්කා, මාළුමිරිස්, තක්කාලි යනාදී මිශ්‍ර බෝග වගාවක් සිදුකරමින් සුපිරි වෙළෙඳ සල් ජාලා ඇතුළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත නන්දන තම අස්වනු අලෙවි කරන්නේ ජාතික ආර්ථිකයට දායකත්වයක් සපයමින් පමණක් නොව, රැකියා අවස්ථා කිහිපයක්ද බිහිකරමිනි.

කලාවැව අද්දර එළවළු හේනක ගෙවුණු රැයක්…

නිරන්තරයෙන් වන අලින් ගැවසෙන ප්‍රදේශයක පිහිටි නන්දනගේ හේනේ ‘උඩ පැල’ හා ‘බිම පැල’ ලෙස කොටස් දෙකකින් සමන්විත නවාතැන් පොළක්ද ඇති අතර, වන අලින්ගේ තර්ජනය නිසාම හේනේ වැඩකරන උදවිය රාත්‍රිය පහන් කරන්නේ නම් මේ උඩපැලේ පමණකි. එනම්, රාත්‍රියට සප්පායම් වන දෙයක් පිස ගැනීමෙන් පසු ‘උඩ පැල’ට නගින පැල් රකින්නෝ එළිවෙන තුරා නිදි නැතිව හේන රැක නොදුන්නොත්, වගා බිමේ හිමිකරුට සිදුවන්නේ වහ කෑමටය. ඒ නියත ලෙසම හේනට කඩාවදින වන අලින් හේන වනසා දමන බැවිනි. එසේ හෙයින් අලි කටේ ගොවිතැන් කරන නන්දනලා මේ කරන්නේ එක අතකින් ජීවිතයත්-මරණයත් අතර සටනකි.

කලාවැව අද්දර එළවළු හේනක ගෙවුණු රැයක්…

කෙසේ හෝ ජයන්ත විජේසිංහ රසවතාගේ මැදිහත් වීමෙන් නන්දනගේ ආරාධනයෙන් නන්දනගේ එළවළු හේනේ (බටු හේනට) සුන්දර සන්ධ්‍යාව ගතකරන්නට යන්නට පෙරාතුව අපේ කණ්ඩායම කැකිරාවේදී එකට මුණගැසුණෙමු. ඊට මහාචාර්ය ප්‍රියන්ත යාපා, ජයන්ත විජේසිංහ, කීර්ති අමරසේකර, ශ්‍රීලාල් නානායක්කාර ඇතුළු කණ්ඩායම සමග අපගේ ‘සංචාරේ’ කණ්ඩායම ද ඊට ඇතුළත් වූහ.

කලාවැව අද්දර එළවළු හේනක ගෙවුණු රැයක්…

තිබ්බටුවැවෙන් ඔලොම්බෑව දෙසට ඇති වැලි පාරේ යන විට රන් තැටියක් සේ රත් පැහැයෙන් දිලෙන සුවිසල් හිරු වනාන්තරය අතරින් බැස කලාවැවේ සැඟව යන අයුරු අපිට දකින්නට ලැබිණි. තවත් මොහොතකින් අප නන්දනගේ ‘බටු හේනට’ ගොඩවැදුනේ මද අඳුර හාත්පස වෙළාගනිමින් පවතින මොහොතකය. පසෙකින් ලා සඳ මෝදුවෙමින් පැවතිණි. අප යනවිට නන්දන අවශ්‍ය අඩුම-කුඩුම ලක ලැහැස්ති කරමින් සිටි අතර, ඇතැමෙක් ලිපට ගිනි පිඹිමින් සිටියහ. ඒ අතර ඇතැමෙකුගේ දෑස් සහ විදුලි පන්දම් එළි නිරන්තරයෙන් වගා බිම වටා සහ විදුලි වැටෙන් ඔබ්බෙහි වන, වන ගොමුව වෙත සුපරීක්ෂාකාරී වන අයුරුද දුටිමු.

කාලය කෙමෙන් ගෙවී තරු පන්ති පැහැදිලි වී ලාසඳ අඹරේ මෝරද්දී ජයන්ත, ප්‍රියන්ත, ශ්‍රීලාල්ලා අපූරුව ගී පදවැල් ඇල්ලුවේය. කොහොමත් ගායනයට දක්ෂ ජයන්ත සහ ගායනයෙන් හා වාදනයෙන් යූටියුබ් නාලිකාව පවා ජයගත් රසවතෙක් වූ මහාචාර්ය ප්‍රියන්ත හරි හරියට සරල ගී වැලක්ම ගායනා කරන ලද්දේ ප්‍රකට සිත්තරකු වන ශ්‍රීලාල් නානායක්කාර ගේ බිරිඳ සුරූපා ගීකියනගේ ගේ යුග ගායනයට ද ඉඩ සලසමිනි. පෙර අප නොකීවාට “බටුහේනේ රාත්‍රියට” ජයන්තගේ බිරිඳ සුධර්මා, කීර්ති අමරසේකරගේ බිරිඳ නිර්මලී ආරියරත්න සමග සුරූපා ද එක්ව සිටියහ.

විදුලි ආලෝකය නැති, ගිනි මැලයකින් හා සඳු-තරු මල්වලින් මඳ ආලෝකය ලබන ඉතා මනරම් රාත්‍රියක තත්පර විනාඩි බවට පත්වී ඒවා පැය ගණන් බවට පත්වුණේ අපූරුවට ගැයුණු ගීත ගොන්නක් මැදිනි. තනි තරුවට නැතත්…. තරු මල් යායට ගී ගැයූ ඒ රාත්‍රියට සාධාරණය කරන්නට ආචාර්ය ප්‍රියන්ත, ජයන්ත, ශ්‍රීලාල් සහ සුරූපා ගත්තේ සැබෑ උත්සාහයකි. කීර්ති මෙන්ම අපි එහි රසවින්දකයෝ වූහ. නන්දන සත්කාරයෙන් එහා ගොස් තම හේනේ කලකට පසු රසගැන්වුණු මේ රසගුලාවේ මිහිර හදවතින්ම විඳින අයුරු ඔහුගේ දෑසින් අපට පසක් කළේය. ඒ අතර අප දැහැන් ගතකළ ගී සමාධිය බිඳ දමන්නට අවට හේන් තුළට වැදුණු වන අලි රැළකට හැකිවූ බවද කලාවැව අද්දර ‘බටු හේනේ’ ගතකළ රාත්‍රියේ තතු නිමා කරන්නට පෙර සඳහන් කළ යුතුව ඇත.

කලාවැව අද්දර එළවළු හේනක ගෙවුණු රැයක්…

ජගත් කණහැරආරච්චි
කැමරාව – කීර්ති අමරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment