සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව නිමාවෙයි

84

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවති 90 වැනි සාන්තුවරයන්ගේ සටන පෙරේදා (23 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

පිතිකරුවන් සිය දක්ෂතා වැඩි වශයෙන් ප්‍රදර්ශනය කළ එම තරගයේදී ශතක එකක් සහ අර්ධ ශතක 3 ක් වාර්තා විය.

ශාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් නියමිත පන්දු වාර 60 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 270ක් ලබා ගත් අතර දිලන දම්සර ලකුණු 103ක් ලබා ගත්තේය.

ජෝශප් විද්‍යාලයේ යෙනුල දෙව්තිස කඩුලු 4ක් දවා ගත් අතර අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ජෝශප් විද්‍යාලය පන්දු වාර 49ක් තුළ කඩුලු 5කට ලකුණු 228ක් ලැබීය.

ජෝශප් විද්‍යාලයේ හිරුන් කපුරු බණ්ඩාර ලකුණු 94ක් ද අභිෂේක් ජයවීර ලකුණු 80ක් ද ලබා ගත් අතර පීතර විද්‍යාලය වෙනුවෙන් විශේන් හැළඹගේ කඩුලු 3ක් බිඳ හෙලුවේය.

අනතුරුව පීතර කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 204ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවූහ. එහිදී දිලන දම්සර ලකුණු 65ක් ලබා ගත් අතර මානස මධුභාෂණ කඩුලු 4ක් දවා ගත්තේය. ලකුණු 247ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජෝශප් විද්‍යාලය තරගයේ අවසන් දිනය නිමා වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 75ක් ලබා සිටියේය.

තරගයේ වීරයා ලෙස පීතර විද්‍යාලයේ දිලන දම්සරත්, දක්ෂතම පිතිකරු ලෙස ජෝශප් විද්‍යාලයේ හිරුන් කපුරුබණ්ඩාරත්, දක්ෂතම පන්දු යවන්නා ලෙස ජෝසප් විද්‍යාලයේ යෙනුල දෙව්තිසත්, දක්ෂතම පන්දු රකින්නා ලෙස ජෝශප් විද්‍යාලයේ හිරාන් ජයසුන්දරත්, තුන්ඉරියව් දක්ෂතමයා ලෙස ජෝශප් විද්‍යාලයේ අභිෂේක් ජයවීරත් සම්මාන ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment