බාල බෙහෙත්වලින් ඖෂධ නීතිගත සංස්ථාවට රු. මිලියන 1500ක පොල්ලක්

86

ගිය වසර නිම වන තෙක් අය කරගෙන නෑ විගණනයෙන් හෙළි වෙයි

වෛද්‍ය සැපයුම් අංශය සඳහා තත්ත්වයෙන් අසමත් සහ හානිවූ ඖෂධ සැපයූ සැපයුම්කරුවන්ගෙන් රුපියල් මිලියන 1,529.83ක මුදලක් අයවීමට ඇතත් එම මුදල 2022 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිටත් අයකර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම අසාදු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අයකරගත යුතුව ඇති රුපියල් මිලියන 306.11ක මුදල අයකිරීම අවිනිශ්චිත තත්ත්වයක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. තත්ත්වයෙන් අසමත් සහ හානි වු ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දරන ලද පිරිවැය, පරිපාලන ගාස්තු හා එම තොග විනාශ කිරීමේ වියදම වශයෙන් මෙම මුදල ඖෂධ සැපයුම්කරුවන්ගෙන් සංස්ථාවට අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2021, 2022 වසරවලදී ඖෂධ කල්ඉකුත්වීම හා හානිවීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැරීමට සිදුවු මුළු අලාභය රුපියල් මිලියන 156.50ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම 2022 වර්ෂයට වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් මිලදී ගත් ඖෂධ තොග අතුරින් රුපියල් මිලියන 265.88ක වටිනා අයිතම් 19ක් තත්ත්වයෙන් අසමත් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන් රුපියල් මිලියන 146.61 ක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අය කර ගෙන නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මින් රුපියල් මිලියන 54.19ක් 2023.04.26 වැනිදා වනවිට සැපයුම්කරුවන්ගෙන් අය කර ගෙන ඇති බවය. ගෙවීම් පැහැර හැරීම නිසා රුපියල් මිලියන 692.78ක හරපත් සඳහා අදාළ වන සැපයුම්කරුවන් අසාදු ලේඛන ගතකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. එමෙන්ම ඖෂධ සැපයුම්කරුවන් සඳහා හරපත් නිකුත් කිරීමේ සහ අයකරගැනීමේ කටයුතු කඩිනමින් ඉටුකිරීමට උපදෙස් ලබාදී ඇති බවද සංස්ථාවේ කළමනාකාරිත්වය විගණනයට දන්වා ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2022 වසරට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment