නහර ගැටගැසීම නිසා ඇතිවන තුවාල

405

නහර ගැටගැසීම (Varicose Veins) රෝගී තත්ත්වය ගැන අප අසා ඇත. එසේම එවැනි රෝගීන් ද අප දැක ඇත. වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් සහ පිරිමින් අතර මෙම රෝගය බහුලව පවතී.

සිරුරෙහි රුධිරය ගමන් කරන ධමනි (Artery) සහ ශිරා (Veins) අතරින් ශිරා තුළ මෙම රෝගය හටගනී.

එහිදී මෙය බහුලවම දැකිය හැක්කේ දෙපාවලය. ඊට හේතුව වී ඇත්තේ දෙපාවල සිට හෘදයවස්තුව වෙත ශිරා ඔස්සේ රුධිරය ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධවය. එනම් ඉහළටය. මෙය පහසු කරවීමට දෙපාවල ඇති කපාටවල ක්‍රියාකාරීත්වය උපකාරි වේ. කිසියම් හේතුවක් නිසා දෙපාවල ශිරා හි ඇති කපාට ක්‍රියාකාරිත්වය අක්‍රිය වීම හෝ දුර්වල වීම සිදුවීමෙන් රුධිරය ගමන් කිරීම අඩාල වේ. (Venous Insufficency) එවිට එම රුධිරය ශිරා හි තැන් තැන්වල රැස්වීම නිසා ශිරා තුළ පීඩනය වැඩිවීම, ඒවා විශාල වීම, ඉදිමීම, වේදනාව හටගැනීම සහ තුවාල හටගැනීම සිදුවේ.

නහර ගැටගැසීම යනු ශිරා තුළ කපාට දුර්වල වීමේ රෝගයෙහි රෝග ලක්ෂණයකි. එනිසා මෙම රෝග ලක්ෂණය මතුවූ විට නිසි වෛi උපදෙස් මත ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුය.

නහර ගැටගැසීමේ රෝගයට බහුලව ගොදුරු වී ඇත්තේ කාන්තාවන්ය. එසේම තරබාරු පුද්ගලයන් දවසේ වැඩි වේලාවක් සිටගෙන හෝ ඉඳගෙන රාජකාරි කටයුතු කරන පුද්ගලයන් ද ඉතා පහසුවෙන් නහර ගැටගැසීමේ රෝගයට ලක්වේ. ඊට අමතරව ශිරාවල කපාට දුර්වලතාවය පරම්පරාගතව සිදුවන පවුල් හි සාමාජිකයෝ ද සිටිති.

නහර ගැටගැසීම නිසා ඇතිවන තුවාල

(Venous Ulcers)

ශිරාවල රුධිරය ගමන් කිරීමේ දුර්වලතාවයන් නිසා ඇතිවන නහර ගැටගැසීමේ තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර නොගැනීම නිසා එම ස්ථානයේ සම වියළීමට ලක්වීම, කැසීමට ලක්වීම ආදී මට්ටමට වර්ධනය වී තුවාල හටගනී.

පළමු අවස්ථාව

නහර ගැටගැසීම නිසා ඇතිවන තුවාල බහුලව හටගන්නේ දෙපාවල වළලුකර ප්‍රදේශයේය. (Gaiter Area) මෙලෙස තුවාල හට ගැනීමේදී වළලුකර හෝ ඉහළ ප්‍රදේශයේ සම මත තැන් තැන්හි කළු පැහැ ගැන්වීම් හටගනී. (Hemosiderin) මෙලෙස සමේ පැහැය වෙනස් වන්නේ සමේ වර්ණකවල වෙනස්වීමක් නිසා නොව, රුධිරයේ ඇති යකඩ තැන්පත්වීම නිසාය. මෙය ඇති වන්නේ රුධිරය ගමන් කිරීමේ දුර්වලතාවය නිසාය. මෙය නහර ගැටගැසීම නිසා ඇතිවන තුවාලවල මූලික ලක්ෂණය ලෙස සැලකිය හැකිය. එබැවින් යම් පුද්ගලයකුගේ දෙපාවල වළලුකර හෝ ඒ අවට ප්‍රදේශයේ සමෙහි කළු පැහැයක් මතුව ඇත්නම් ඒ සඳහා නිසි වෛi පරීක්ෂාවකට ලක්විය යුතුය. එවිට නහර ගැටගැසීම නිසා තුවාල ඇතිවීම මුල් අවස්ථාවේදීම වළක්වා ගත හැකිය.

දෙවැනි අවස්ථාව

සම කළු පැහැ ගැන්වූ ප්‍රදේශය වියළි තත්ත්වයට පත්වී කැසීම සිදුවීම ආදිය සමඟ දදයක් ලෙස මතුවීම දක්වා වර්ධනය වේ. මෙලෙස දදයක් බවට පත්වූ විට (Venous Eczema) වහාම ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුය. එහිදී ආලේප වර්ග භාවිතය, දදය ඇති ප්‍රදේශය ආවරණය වන පරිදි වෙලුම් සිදුකිරීම, මේස් වර්ග භාවිතය ආදී ප්‍රතිකාර මගින් එය සුවපත් කරගත හැකිය.

තෙවැනි අවස්ථාව

සම කළු පැහැවීම, දද හටගැනීම ආදී අවස්ථා ද නොසලකා හැර සිටි විට වළලුකර ප්‍රදේශයේ සමේ පැහැය වෙනස්වීම, පාදයේ හැඩය වෙනස්වී ඉදිමුමට ලක්වී නහර ගැටගැසීම නිසා තුවාල හට ගැනීම (Venous Ulcers) දක්වා බරපතළ තත්ත්වයට පත්වේ.

බොහෝදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නේ මෙම අවස්ථාවේදීය. මෙය බොහෝ වේදනාකාරි සහ දිගු කාලයක් ප්‍රතිකාර ගත යුතු මට්ටමකි. තුවාල සුවවීම සඳහා අපගේ දිනචර්යාව ද වෙනස් කර ගැනීමට සිදුවේ. එනම් අපගේ එදිනෙදා රාජකාරි කටයුතු ද තුවාල සුවවීම සඳහා අවශ්‍ය පරිදි සකස් කර ගත යුතුවේ. එහිදී විවේකීව සිටීම, දෙපා ඉහළට ඔසවාගෙන සිටීම ආදිය කළ යුතු වේ.

ඇතැම් පුද්ගලයන්ගේ පවතින තුවාල අනුව ඒ සඳහා සැත්කමක්ද කළ යුතු වේ. එබැවින් තුවාල මතුවීම දක්වා අවස්ථාවට පත්වීමට පෙර මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබාගැනීමට යොමුවීම වැදගත්ය.

නහර ගැටගැසීම නිසා ඇති වූ තුවාල සුව කිරීමේදී ඒ සඳහා විශේෂ වෙලුම්පටි (Bandage) ප්‍රතිකාර භාවිත කරනු ලැබේ. මෙම වෙලුම්පටි ප්‍රතිකාරය සිදු නොකර තුවාල සුව කිරීම අපහසුය.

එබැවින් නහර ගැටගැසීම දෙපාවල වළලුකර ප්‍රදේශයේ සම කළු පැහැ ගැන්වීම ආදී මූලික රෝග ලක්ෂණ යම් පුද්ගලයකුට මතුවූ විට ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. එවිට තුවාල ඇතිවීම වළක්වා ගත හැකිය. නහර ගැටගැසීම නිසා ඇතිවූ තුවාල සුවපත් කිරීමට බොහෝ කාලයක් ගත වේ. එසේම එම තුවාල අතිශය වේදනාකාරී තත්ත්වයකි. මෙය නහර ගැටගැසීමේ රෝගයට ලක්වූවන් අවධානයට ලක්කළ යුතුය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0778899021 ඇමැතිය හැකිය.

නහර ගැටගැසීම නිසා ඇතිවන තුවාල

තුවාල ප්‍රතිකාර සම්බන්ධ
පශ්චාත් උපාධිධාරී
වෛද්‍ය ගයාන් ජයකොඩි
(MBBS, MSC)
වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්, තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය, රද්දොළුගම.

advertistmentadvertistment
advertistmentadvertistment