පාස්කු බෝම්බ සිද්ධිය එහෙමම යට යයිද?

788

ඉන්දියාවේ කොයිම්බටෝර් නගරයේ පිහිටි සංගමේස්වරර් කෝවිල අසලදී 2022 ඔක්තෝබර් 23 වැනිදා කාර් බෝම්බයක් පුපුරයි. මේ බෝම්බය සෙට්කරන ලද්දේ ඉස්ලාම් අන්තවාදීන් විසිනි. මේ කාර් බෝම්බය මරාගෙන මැරෙන ප්‍රහාරයක් වූ අතර එය සැලසුම් කළ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට දවස් 30ක් ඇතුළත ඉන්දියානු ආරක්‍ෂක අංශවලට හැකි විය. කාර් බෝම්බය අදාළ කෝවිල ළඟට ගෙන එන ලද්දේ ජමීෂ් මුබින් නමැති 29 හැවිරිදි ඉස්ලාම් අන්තවාදියෙකි. ඔහු කවදාවත් කාර් එලවන්නට දැන සිටියේ නැත. එහෙත් හින්දු කෝවිල අසල කාර් බෝම්බය පිපිරවීමට ඇති වුවමනාව නිසා ඔහු රිය පදවන හැටි පුහුණු විය. ජමීෂ් මුබින් වැඩිපුර කතා කළ කෙනෙක් නොවේ. ඔහුට යහළුවන් ද සිටියේ නැත. පොත් සාප්පුවක සේවකයකු වූ හෙතෙම දවසේ වැඩ අවසන් වූ වහාම ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම් පල්ලියට ගොස් තනිවම දෙවියන් සමග පමණක් කතා කළේය. කාර් බෝම්බය පිපිරවීමට දින කිහිපයකට පෙර ඔහු පොත් සාප්පුවේ රස්සාවෙන් අස්විය. පිපිරීමෙන් දින කිහිපයකට පසු ජමීස් මුබින්ගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. තවත් දින කිහිපයකට පසු ඔවුන් විසින් ඉතා වැදගත් සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී. මේ කියන සැකකරු කේරලයේ ජීවත් වූ ඉස්ලාම් අන්තවාදියෙකි. කේරල පොලිසිය සහ ඉන්දියානු රහස් පොලිසිය විසින් පසුව සොයාගත් පරිදි ඉහත සඳහන් සැකකරු ශ්‍රී ලංකාවේ සහරාන් කල්ලිය සමග කෙළින්ම සම්බන්ධකම් පැවැත්වූ අතර පාස්කු බෝම්බයට ද සම්බන්ධකමක් ඇත්තෙකි. කොයිම්බටෝර් කාර් බෝම්බය ගැන සියලු පරීක්‍ෂණ අවසන් වී ඇති අතර දැනට ඉතිරිව ඇත්තේ චූදිතයන්ට දඬුවම් කිරීම පමණි.

නැගෙනහිර පළාතේ කාත්තන්කුඩියේ විසූ මොහොමඩ් සහරාන් විසින් සිය ගෝලයන්ගේ උදව් ඇතිව 2019 දී පුපුරවන ලද පාස්කු බෝම්බ මාලාව පිළිබඳ පරීක්‍ෂණ කටයුතු තවමත් අවසන් වී නැත. මේ සිද්ධියට සම්බන්ධ කිහිප දෙනකුම බෝම්බ පිපිරවීම් සහ මරාගෙන මැරෙන මෙහෙයුම්වලදී මියගියහ. ජීවතුන් අතර සිටින ඇතැම් දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට බලධාරීන්ට හැකිවී නැත. මේ නිසා පාස්කු බෝම්බ මාලාව පිපිරී අවුරුදු 4කට පසුත් එම පිපිරීම නිසා මියගිය අය වෙනුවෙන් සාධාරණය ඉටුවී නැත. පාස්කු බෝම්බ පිපිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවගේ සහ වතිකානයේ කතෝලික පූජක ප්‍රජාවගේ සිත් සම්පූර්ණයෙන්ම ඉරිතලා ගොස් තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී සිදුවූ පාස්කු ප්‍රහාරයේ එක නඩුවක් පසිඳලන ලද අතර පස් දෙනකුට මුදල් වන්දි ගෙවීමට නියම විය. ඒ වූකලී එකල සිටි ජනාධිපති මෛත්‍රී, එකල සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර, එකල සිටි ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එකල සිටි ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ එකල සිටි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන පස් දෙනාය. එහෙත් සියලුම දෙනා දන්නා පරිදි පෙර කී පස්දෙනා අතින් සිදුවූයේ බෝම්බ පිපිරවීම පිළිබඳ ඔත්තුව ලිස්සා යෑම පමණි. එකී ලිස්සා යෑම නිසා ඔවුන් බෝම්බ ගැන තැකීමක් කළේ නැත. මේ පස්දෙනාට වඩා බලගතු පිරිසක් මේ බෝම්බ පිපිරවීම් සමඟ එකතුවූ බව දැනගන්නට තිබේ. එයින් සමහරු මියගොසිනි. තවත් සමහරු පණපිටින්ය. තවත් අය මැරිලාත් නැත; ජීවතුන් අතරත් නැත. පිපිරවීම් සමූහයට සම්බන්ධ දෙමළ ජාතික කාන්තාවක් වූ ද පසුව ඉස්ලාම් ආගම වැළඳගෙන සාරා ජස්මින් යන නමින් පෙනී සිටියා වූ ද කාන්තාවක් තවමත් ජීවතුන් අතර සිටිනවා ද නොඑසේ නම් මැරිලා ද යන්න පවා තේරුම් බේරුම් කරගැනීමට ආරක්‍ෂක අංශවලට හැකිව නැත. පාස්කු ප්‍රහාරයෙන් පසු සාරා ජස්මින් පණපිටින් සිටින බව දුටු අය වෙති. පොලිසිය සාරා ජස්මින් අමතක කර දමා ඇති බවක් පෙනේ. සමහරවිට ඇය මේ මොහොතේදී එංගලන්තයේ හෝ වෙනත් රටක සිට ඊළඟ බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනවා ඇත.

කොයිම්බටෝර්හිදී පුපුරවන ලද කාර් බෝම්බයේ පරීක්‍ෂණ සහ ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ පරීක්‍ෂණ අතර වෙනසක් පවතී. ඉන්දියාවේ පොලිසිය පුරුදුවී ඇත්තේ හොරු අල්ලන්නට බවත් ශ්‍රී ලංකාවේ පොලිසිය හුරුවී ඇත්තේ හොරුන්ට අහුවෙන්නට බවත් අපට හැඟී ඇත. මොහොමඩ් සහරාන් ලංකාවේ තිබෙන කතෝලික පල්ලි ගණනාවක්ම විනාශ කිරීමේ අරමුණින් ජීවත් වූ බව පැහැදිලිය. මිය යන්නට පෙර ඉතා දුක්ඛ ජීවිතයක් ගතකළ ඔහු සිය දරුවන් සහ බිරිඳ සමග කතාකිරීමෙන් වැළකී සිටි අතර තම ගෙතුළ සිදුවන දෙයක් ගැන දරුවන් විමසන කල්හි එම දරුවන්ගේ කන් කපා දමන බව කියමින් තර්ජනය කළේය. ඔහු සිය බිරිඳ සමග පවා බොහෝ අඩුවෙන් ඇසුරු කළ කෙනෙකි. සහරාන් කල්ලිය සහ ගෝඨාභය රාජපක්‍ෂගේ ආරක්‍ෂක පද්ධතිය අතර විශාල සම්බන්ධකම් තිබුණ බව අප කල්තියාම කීවෙමු. එහෙත් කිසිදු නිලධාරියෙක් මොවුන් ගැන තමන් දන්නා බව ප්‍රකාශ නොකළේය. එයට හේතුව තමන් විසින් සහරාන් හඳුනනු ලබන බව කීමෙන් අනවශ්‍ය ලෙඩක් දමාගැනීමට ඔවුන් තුළ තිබූ නොකැමැත්තය. මේ නිසා සහරාන් සිද්ධියේ අවසන් විග්‍රහයේදී වින්දිතයන්ට වැඩි යමක් ලැබෙතැයි කිව නොහැක. අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ වින්දිතයන්ට කිසියම් සහනයක් ලබාදෙන ලෙස ය. එසේම සහරාන් සිද්ධියට තවමත් අත්අඩංගුවට පත් නොවී සිටින පිරිස අල්ලාගෙන ඔවුන්ට දඬුවම් දෙන ලෙස ය.

advertistmentadvertistment
advertistmentadvertistment