රුපියලක්වත් අපතේ යවන්න බෑ!

879

අලුත් අවුරුදු අනතුරු ඇඟවීමක්!

පාර්ලිමේන්තුව තම මූලික වගකීම් තවමත් නිසි ලෙස ඉටු නොකරන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එසේ වූවා නම් 2020 ඔක්තෝබර් 13 වන දින මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් පත්‍රයක් හරහා රුපියල් 50 ක් වූ ආනයනික සීනි කිලෝවක් සඳහා වූ බද්ද සත 25 ට අඩුකර මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන ගණනක් අහිමි කළවුන් තවමත් නිදහසේ සිටින්නේ නැත. රාජ්‍ය මුදල් කාරක සභාව මෙම වංචාව සම්බන්ධයෙන් කළ විමර්ශනයට වූ දෙයක් නැත. රජයට රුපියල් බිලියන 600 ක් පමණ අහිමි කළ ගෝඨාභය රාජපක්ෂ රජය 2020 කළ බදු කපාහැරීම සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයමය.

කථානායක: අප සැවොම සිටින්නේ එක රුපියලක්වත් අපතේ නොවිය හැකි තරම් අසීරු තත්ත්වයකය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන 2023 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට නිකුත් කළ පණිවිඩයේ තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික-දේශපාලන-සමාජීය අර්බුදය බරපතලකම අවධාරණය කර තිබිණි. කථානායකවරයාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ මෙලෙස සඳහන් විය. “අලුත් අවුරුද්දේ අපේ වැය බර වැඩි කරන මෙවලම්, උපකරණ රැසක් ගෙතුළ ගොඩගසාගන්නවාට වඩා වටින්නේ සිතුවිලිවල යහපත් වෙනසකි. කුඩා දරුවකුට මේ ආදර්ශය එකවරම උගෙන ගත නොහැකි වුවත්ම වැඩිහිටි අප සැවොම එක රුපියලක්වත් අපතේ නොවිය හැකි තරම් අසීරු තත්ත්වයකය.”

භූමියේ තත්ත්වය පිළිගැනීම සම්බන්ධයෙන් කථානායකවරයාට ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතුය. එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාව තවමත් ඉතාමත් අනාරක්ෂාකාරී දිග සහ පළල හෝ ගැඹුර නොපැහැදිලි කලාපයක බව කථානායකවරයා පිළිගන්නා බවයි. එම අවංකභාවයට ජනතාවගේ ස්තුතිය. නමුත් ශ්‍රී ලංකාව ඛේදවාචකයක් කළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ ක්‍රියාවලිය තුළ වර්තමාන කථානායකවරයාට තම වගකීම් මෙන්ම වගවීම්වලින් ද ගැලවිය නොහැක.

අවසන් මහා මැතිවරණයෙන් (2020 අගෝස්තු) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ අබේවර්ධන පළමුවරට පාර්ලිමේන්තුවට කේවල ඡන්ද ක්‍රමය තුළ එක්සත් ජාතික පක්ෂය හරහාය. ඒ 1983 හක්මන ආසනයට පැවැති අතුරු මැතිවරණය හරහාය. කථානායකවරයාම අවධාරණය ඇති පරිදි ශ්‍රී ලංකාව සිටින්නේ එක රුපියලක්වත් අපතේ නොවිය හැකි තරම් අසීරු තත්ත්වයකය. කථානායකවරයාගේ ප්‍රකාශයට තව පේලියක් එකතු වූවා නම් වඩාත් හොඳය. එනම් ශ්‍රී ලංකාවට රුපියල් පමණක් නොව එක ඩොලරයක්වත් ද අපතේ යැවිය නොහැක.

මෙවැනි තත්ත්වයක් තුළ මූල්‍ය සහ නීති සම්පාදනය සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකුල වගකීම හිමි පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය දැඩි විමර්ශනයකට ලක් විය යුතුය. එවැනි විමර්ශනයක බරපතල අවශ්‍යතාවය අවධාරණය කරන්නේ අන් කිසිවකු නොව කථානායකවරයාම ය. ශ්‍රී ලංකාව බංකොලොත් වනතුරුම පාර්ලිමේන්තුව කළේ කුමක්ද? නමුත් විධායකයේ වගකීම සහ වගවීම නොසලකා එවැනි පසු විපරමක් කළ නොහැක. ඒ විධායකය සැලකිය යුතු කාලයක් මුදල් අමාත්‍ය ධුරය ද දරා ඇති බැවිනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය මුදල් අමාත්‍ය ලෙස (1994-2001) සහ මහින්ද රාජපක්ෂ (2005-2015) එම ධුරයේ කටයුතු කර ඇත. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මුදල් අමාත්‍යාංශය තවමත් තම පාලනයේ යටතේ තබා ගෙන ඇත. ඔවුන්ට අමතරව කේ. එන් . චොක්සි (2001-2004), ආචාර්ය සරත් අමුණුගම (2004-2005), රවී කරුණානායක (2015 ජනවාරි 12-2017 මැයි 22), මංගල සමරවීර (2017 මැයි 22 -2019 නොවැම්බර් 17), මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස (2019 නොවැම්බර් 22-2021 ජුලි 08), බැසිල් රාජපක්ෂ (2021 ජුලි 08 -2022 අප්‍රේල් 04) සහ ජනාධිපති නීතිඥ අලි සබ්රි (2022 අප්‍රේල් 04-2022 මැයි 09).

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ මින් පෙර 16 වතාවක් වැඳ වැටී ඇති ශ්‍රී ලංකාව මෙවර එම ආයතනයෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල කෝකටත් තෛලය ලෙස පෙන්වා දීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ලජ්ජා විය යුතුය. විපක්ෂය සහ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව පාරට බැස ඇති රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුය. ඒ නව බදු ප්‍රතිපත්තියට එරෙහි වන කිසිවකුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 17 වෙනි වරට ශ්‍රී ලංකාවේ කළ මැදිහත්වීම කිසිසේත් පිළිගත නොහැකි බැවිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාස ගණනාවක් ප්‍රමාද වී හෝ කළ මැදිහත්වීම නොවන්නට සමස්ත ආර්ථිකයම අළු වීමට තිබිණි. එම මැදිහත්වීමට මාර්ගය සැදුවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය බව අමුතුවෙන් කිව යුතු නැත. කථානායක අබේවර්ධන තම නව අවුරුදු පණිවිඩය හරහා අවධාරණය කරන්නේ සමස්ත ආර්ථික-දේශපාලනික-සමාජීය කඩා වැටීමයි.

පාර්ලිමේන්තුව මූල්‍ය වගකීම සහ වගවීම පැහැර හැරීම පිළිබඳව කිසිදු සැකයක් නැත. ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක් ඉක්මවා ගෙවාගැනීමට නොහැකි ණය කන්දකට යටවී ඇති ශ්‍රී ලංකාව, තවදුරටත් ණය ගනිමින් සිටී. වර්තමාන අර්බුදයට මූලික පිළියමක් ලෙස වික්‍රමසිංහ-රාජපක්ෂ රජය / රාජපක්ෂ-වික්‍රමසිංහ රජය ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා මහා බැංකු පනත සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය එනම් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සහ එම තීන්දුව පාර්ලිමේන්තුවට කථානායකවරයා ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටු පක්ෂයෙන්) පත්වූ ගෙවිඳු කුමාරතුංග සහ හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සහ අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි කථානායකවරයා කළ ප්‍රකාශය අභියෝගයට ලක් කර ඇත. ඇති වී තිබෙන තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ආර්ථිකය කඩා වැටීම කථානායකවරයා පිළිගෙන ඇති පසුබිමක ය.

වගන්ති 134 කින් සමන්විත වූ එම පනතේ වගන්ති 46 ක් ඉහළ අධිකරණය නිෂ්ප්‍රභ කිරීම සමස්ත ආණ්ඩුක්‍රමයේම විකෘති තත්ත්වය මනාවට අවධාරණය කරයි. ආර්ථික කඩා වැටීමට පිළිතුරක් ලෙස අවධාරණය කළ මහා බැංකු පනත ව්‍යවස්ථානුකුලව ඉදිරිපත් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් රජය පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුය. ගම්මන්පිල මන්ත්‍රීවරයා අදාළ පනත නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නොකළ බවට කර ඇති ප්‍රකාශය ඇත්ත වශයෙන්ම ඛේදනීය තත්ත්වයකි.

අදාළ පනත සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ගම්මන්පිල මන්ත්‍රීවරයා අප්‍රේල් 10 වන දින පිට කෝට්ටේ පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදී ශ්‍රී ලංකා මහ බැංකු පනත සම්බන්ධයෙන් ආණ්ඩුවට ඉදිරිපත් කළ ප්‍රශ්න කීපයකට ලැබෙන පිළිතුරු ද සාකච්ඡාවට ලක් කිරීමෙනි. (1) අදාළ කෙටුම්පත සකස් කළේ කවුද? (2) එම කටයුත්ත නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේන් පිට සකස් කිරීමට භාර දුන්නේ කවුද? (3) රජය ඒ කටයුත්ත සඳහා කළ ගෙවීම කොපමණද? එලෙසම (4) එම ගෙවීම කුමන අමාත්‍යාංශයක් හෝ රාජ්‍ය ආයතනයක් හරහා කළාද?

ආණ්ඩුව ගම්මන්පිල අමාත්‍යවරයා ඉදිරිපත් කළ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා නම් තත්ත්වය වඩාත් බරපතලය. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සකස් කළ පනතක වගන්ති 134 න් තුනෙන් එකක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම අවධාරණය කරන්නේ නීති සම්පාදකයින් ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බවයි. ප්‍රතික්ෂේප වූ වගන්ති පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් හෝ 2/3 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට කළ නිගමනය අදාළ පනත සම්බන්ධයෙන් රජය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නිරාවරණය කර ඇත.

ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ අලි සබ්රි කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ලෙසද ක්‍රියාත්මක ආණ්ඩුවකට මේ ආකාරයට ව්‍යවස්ථාවෙන් පිට පනතක් මොනයම්ම තත්ත්වයක් යටතේ වුවත් ඉදිරිපත් කළ හැකිද?

ශ්‍රී ලංකා මහා බැංකු පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ පාර්ශ්ව අතර වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ උදය ගම්මන්පිල විය. ඊට අමතරව ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු වන වසන්ත සමරසිංහ ද පෙත්සම්කරුවන් අතර විය. කවදත් රටට අහිතකර ක්‍රියාමාර්ගවලට එරෙහි වූ ආචාර්ය ගුණදාස අමරසේකර, අනිල් එස්. අමරසේකර, ජෙහාන් හමීඩ් සහ අනුර දර්ශන පෙරේරා අබේසේකර අනෙකුත් පෙත්සම්කරුවන් ය.

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදිනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර ශ්‍රී ලංකා මහ බැංකු පනතට අදාළව දුන් තීරණය ඉතිහාසගත වී හමාරය. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පොරොන්දුවක් ලබා දී ඇත. පනත බලාත්මක කිරීමට අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාවලියේ කමිටු අවස්ථාවේදී සම්මත කර ගැනීමට රජය වෙනුවෙන් නීතිපති දුන් පොරොන්දුව නිසි ලෙස ඉටු කරනවාදැයි බලා සිටිමු.

මහ බැංකු පනත එරෙහිව අධිකරණයට ගිය සියලුම පාර්ශ්ව මහජන ගෞරවයට පාත්‍ර විය යුතුය. සමස්තයක් ලෙස ඔවුන් විරුද්ධ වූයේ මහ බැංකුව ආණ්ඩුවෙන් ‘ගැලවීමයි.’ නමුත් ආණ්ඩුවේ පූර්ණ අධීක්ෂණය යටතේ තිබූ මහ බැංකුව (මුදල් ලේකම් පස්දෙනකුගෙන් සමන්විත මූල්‍ය මණ්ඩලයේ නිල බලයෙන් පත්වෙන සාමාජිකයෙකි.) හරහා 2015 පෙබරවාරි සහ 2016 මාර්තු ක්‍රියාත්මක කළ බැඳුම්කර වංචා නැවත නැවතත් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගයයි. එහි ප්‍රධානම සැකකරුවකු වන එවකට මහ බැංකු අධිපති සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් එරටින් පිටුවහල් කිරීමට සිංගප්පූරුව එකඟ කරවා ගත නොහැක. බැඳුම්කර වංචා සිදුවන අවස්ථාවේ එම ආයතනය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ වූ අතර අද එජාප නායකයා රටේ විධායක ජනාධිපති ය. එලෙසම මුදල් අමත්‍යවරයා ය.

මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (වර්තමාන සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර), රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (වර්තමාන සභාපති ලසන්ත අලගියවන්න) සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ රජය අතර එම කාරක සභාවේ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සභාපතිවරයෙක් තවමත් පත්කර නොමැත.) පාර්ලිමේන්තුව හරහා නිකුත් කර ඇති නිල වාර්තා පරිශීලනය කළහොත් ජනතාව එක රුපියලක්වත් අපතේ නොවිය හැකි තරම් අසීරු තත්ත්වයකට පත්වූ ආකාරය තේරුම් ගැනීමට අසීරු නැත.

ලංකාවට රුපියලුත්, ඩොලරුත් නැතිකර රටම නන්නත්තාර කිරීමට ප්‍රධානතම හේතුව දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දක්වා ඇති ඉතාමත් අලස ප්‍රතිචාරයයි. පාර්ලිමේන්තුව එලෙස අලස වීමට හේතුව තේරුම් ගැනීමට අපහසු නැත. පාර්ලිමේන්තු ක්‍රමය තුළින්ම හෙළිදරව් වන නාස්තිය, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම් බොහෝ අමාත්‍යාංශවල ප්‍රධාන ගිණුම් නිලධාරියා වන අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයා වැලිකඩ බන්ධනාගාරයේය.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස රජය සමගි ජන බලවේගයේ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පත් කිරීම සම්බන්ධයෙන් මෑතකදී ඇතිවූ මත ගැටුම සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයටම අපහාසයකි. දිසානායක මන්ත්‍රීවරයා පසුව ඉල්ලා අස්විය. තම පක්ෂය ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස යෝජනා කර තිබියදී, දිසානායක මන්ත්‍රීවරයා එම තනතුර භාර ගත්තේ ඇයි? ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව පැවැති පළමුවන රැස්වීමේදී විපක්ෂයේ බලවත් විරෝධය නොතකා ආණ්ඩු පක්ෂය එජාපයේ එකම මන්ත්‍රී (ජාතික ලැයිස්තුව) වජිර අබේවර්ධන රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පත් කළේය. ඒ ස්ථාවර නියෝග අනුව එම තනතුරට පත් කළ යුත්තේ ආචාර්ය හර්ෂ ද සිල්වා බවට විපක්ෂය ප්‍රශ්න කර තිබියදීය. එම කාරක සභාවේ සාමාජිකයන් වන හර්ෂණ රාජකරුණා සහ චන්දිම වීරක්කොඩි එම සභාවෙන් ඉවත් වුවත් වැඩබලන සභාපතිවරයා ගැසට් පත්‍ර අටක් පිළිගත්තේ කිසිදු වග විභාගයකින් තොරව බවට විපක්ෂය චෝදනා කර ඇත.

මහජන මුදල් සම්බන්ධයෙන් වගකිව යුතු, වගවිය යුතු පාර්ලිමේන්තුව ඇත්තවශයෙන්ම රජයට හිමි ආදායම් එකතු කර ගැනීමට කිසිදු උනන්දුවක් නොදක්වන බවට පාර්ලිමේන්තුවම ඔප්පු කර ඇත. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලයේ සිටි පක්ෂය / සංධානය සහ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ වගකිව යුතුය.

යහපාලන කථානායක කරු ජයසූරිය දෙවරක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලෝකයේ හොඳම පාර්ලිමේන්තු අතර තිබෙන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. එහෙව් මැති සබයේ සැබෑ තත්ත්වය අපූරුවට පිළිබිඹු කළ මාධ්‍ය නිවේදනයක් පසුගිය මාර්තු 31 වන දින පාර්ලිමේන්තුව නිකුත් කළේය.

රුපියලක්වත් අපතේ යවන්න බෑ!

කරු ජයසූරිය කථානායක ලෙස කටයුතු කළ 2016 වසරේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රජයේ ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම සඳහා රජයේ අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දුන් නිර්දේශය 2023 මාර්තු වන තුරු ක්‍රියාත්මක නොකිරීම ලෝක වාර්තාවක් විය යුතුමය. කිසිදු තේරුමක් නැති මාධ්‍ය සංදර්ශනවල යෙදෙන පාර්ලිමේන්තුව වසර අටක් යනතුරු රජයේ ආදායම වර්ධනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්තේ මන්ද?

වර්තමාන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නායකත්වය දරන ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ද තමන් 2016 එම සභාවේම සභාපතිවරයා ලෙස දුන් නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සොයා නොබැලුවේ ඇයි? ඔහු ද මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු නොවේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග දෙනතුරු රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට අවශ්‍යතාවයක් නොමැතිද?

රුපියල් සහ ඩොලර් ආර්ථිකය ආරක්ෂා කිරීම පාර්ලිමේන්තුවේ වගකීමයි. එය ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීමයි. පාසල්වල ‘පුංචි පාර්ලිමේන්තු’ ස්ථාපිත කිරීම, වැඩිම පාසල් දරුවන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැමිණීමට සහ රාජ්‍ය නොවන සංවිධාන මුදල් සපයන ව්‍යපෘති ක්‍රියාත්මක කරනවාට වඩා වැඩි දෙයක් කිරීමට පාර්ලිමේන්තුව බැඳී සිටී. රජයේ මූල්‍ය වගකීම සහ නීති සම්පාදනය යන වගකීම් මෙහිදී මූලික වේ.

ශ්‍රී ලංකා මහ බැංකු කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා අප්‍රේල් 04 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කළ ආකාරයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය අවධාරණය කරන්නේ ‘ක්‍රමයේ’ බලවත් වරදක් තිබෙන බවයි. නැතහොත් ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති තත්ත්වය යටතේ ඉදිරිපත් කළ ශ්‍රී ලංකා මහ බැංකු කෙටුම්පතට සංශෝධන 80 ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට සිදු වන්නේ නැත.

දැන්වත් පාර්ලිමේන්තුව සැබෑ පසුවිපරමක් කළ යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment