නව තාක්‍ෂණයත්, කාර්යක්‍ෂමතාවත් පෙරටු කරගනිමින් දේශීය ඇඟලුම් කර්මාන්තයේ අභිවෘද්ධියට ‘බ්‍රැන්ඩික්ස්’ නිරන්තරයෙන්ම කැපවෙනවා – බ්‍රැන්ඩික්ස් ව්‍යාපාර සමූහයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) සුජිත් ජයසේකර

1505

‘අවුරුදු 50කට වැඩි කාලයක් මේ රටේ ක්‍රියාත්මක වුණු බ්‍රැන්ඩික්ස් ආයතනය මොනම හේතුවක් නිසාවත් ලංකාවෙන් යන්නේ නෑ.’

‘බ්‍රැන්ඩික්ස් සමූහයේ ශිෂ්‍යත්ව ලබාගෙන ඉංජිනේරුවරු, වෛද්‍යවරු ඇතුළු රටේ විවිධ වෘත්තීන්හි නියැළෙන දහසකට ආසන්න පිරිසක් මේ වන විට අපි බිහිකරල තියෙනවා.’

මෙරට ප්‍රමුඛතම ඇඟලුම් සන්නාමය වන බ්‍රැන්ඩික්ස් සමාගම සිය ව්‍යාපාර කටයුතුවලින් ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙනවාද? සියලු ව්‍යාපාර වෙනත් රටකට ගෙනයනවාද? කියන ගැටලුව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පවා කතා බහට ලක් වුණා. එමෙන්ම ඇඟලුම් කර්මාන්තශාලා වසා දමා සේවකයන්ට රැකියා නැති වෙනවාද කියන කාරණය පිළිබඳවත් සමාජයේ කතාබහක් ඇතිවී තිබුණා. මේ කාරණා ඇතුළුව ඇඟලුම් කර්මාන්තය මුහුණදී තිබෙන අභියෝග හා ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව බ්‍රැන්ඩික්ස් ව්‍යාපාර සමූහයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) සුජිත් ජයසේකර මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සාකච්ඡා කළෙමු. එම සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – බ්‍රැන්ඩික්ස් ව්‍යාපාර සමූහයේ ආරම්භය ගැන හැඳින්වීමක් කළොත්?

පිළිතුර – බ්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමූහ ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

එමගින් ලොව පිළිගත් සන්නාමයන් සඳහා පරිපූර්ණ ඇඟලුම් විසඳුම් සැලසුම් කිරීම සිදු කරනවා.

බ්‍රැන්ඩික්ස් සමූහය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, හයිටි සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 9 ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර, වසර 50කට වැඩි කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය 65000කට අධික ගෝලීය සාමාජික සාමාජිකාවන්ට රැකියා සපයමින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනු ලබනවා. දේශීය සන්නාමයක් වන බ්‍රැන්ඩික්ස් නාමය ලෝකයට ගෙන යන ආයතනයක් මෙන්ම විදේශ විනිමය වැඩිපුරම රටට ගෙන එන ව්‍යාපාරයක් ලෙසද බ්‍රැන්ඩික්ස් ව්‍යාපාරය හඳුන්වා දෙන්න පුළුවන්. ලෝක ප්‍රකට ඇඟලුම් සන්නාමවලට නව තාක්‍ෂණය මුසු කරමින් නව නිර්මාණ හඳුන්වාදෙමින් අනාගත දැක්මක් තිබෙන ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස හඳුන්වා දිය හැකිය.

ප්‍රශ්නය – මේ වන විට බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා කොපමණ ප්‍රමාණයක් මෙරට තුළ මෙහෙයුම් කටයුතු සිදුකරනවද? සාමාජිකයන් කොපමණ සිටිනවාද?

පිළිතුර – බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා රාශියක් මේ වන විට මෙරට මෙහෙයුම් කටයුතු සිදුකරනවා. ඒවා දිවයින පුරා විවිධ ප්‍රදේශවල පිහිටා තිබෙනවා. විශේෂයෙන්ම මෙම කර්මාන්තශාලා බොහොමයක් පිට පළාත්වලයි පිහිටා තිබෙන්නේ. මේ වන විට මෙම කර්මාන්තශාලා සියල්ලෙහිම විශාල සාමාජික සාමාජිකාවන් පිරිසක් සේවය කරනවා.

ප්‍රශ්නය – ඔබ ඉහත සඳහන් කළ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවල සාමාජිකයන්ට ලබාදෙන සේවාවන් ගැන කතා කළොත්?

පිළිතුර – මම ඉහත සඳහන් කළ කර්මාන්තශාලා සියල්ලෙහිම සියලුම සාමාජිකයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍ය ආධාර, ප්‍රවාහන පහසුකම් ඇතුළු ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් නොමිලේ ලබාදෙනවා. සියලුම සේවකයන්ට සෑම වසරකම වැටුප් වර්ධක, ප්‍රසාද දීමනා ආදිය නොකඩවා ලබාදීමට කටයුතු කර තියෙනවා. එමෙන්ම පසුගිය වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළා සියලුම සේවකයන්ට වැටුපට අමතරව රුපියල් දසදහසේ සිට රුපියල් පහළොස්දහසක් දක්වා මුදලක් ලබාදීමට. එමෙන්ම 2017 වසරේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනයේ වසර 25කට වැඩි කාලයක් සේවය කරන සාමාන්‍ය සේවකයන්ට සේවයෙන් ඉවත්වීමේදී ලබාදෙන පාරිතෝෂික දීමනාව දෙගුණයක් දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහයේ මෙරට සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ගේ දක්‍ෂතා අනුව අප සමූහයේ විදේශ රටවල පිහිටා තිබෙන කර්මාන්තශාලාවලද සේවය කිරීමට අවස්ථාව සලසාදී තිබෙන අතර එමගින් රටට වැඩිපුර විදේශ විනිමයද උපයා ගැනීමට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය – බ්‍රැන්ඩික්ස් සමාගම සිය සාමාජිකයන්ට ලබාදෙන සේවාවන්වලට අමතරව ඔවුන්ගෙන් යැපෙන්නන්ට ලබාදෙන සේවාවන් මොනවාද?

පිළිතුර – බ්‍රැන්ඩික්ස් අපේ සංකල්පය තමයි, අපේ වැඩ කරන සාමාජිකයන්ට රැකියාවකට එහා ගිහින් කොහොමද මේ අයගේ ජීවන තත්ත්වය වෙනස් කරන්නේ කියන කාරණයට උපකාර කිරීම. අපේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ දරුවන්ට ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව ඔවුන්ගේ අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපකාර සියල්ලම බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් සපයා දෙනවා.

ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් රාශියක් බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වය විසින් හඳුන්වාදී තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන අපගේ සාමාජිකයන්ගේ ශිෂ්‍යත්වය සමත්වෙන දරුවන්ට සහ ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට අපි ශිෂ්‍යත්වයක් ලබාදෙනවා. සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵල ලබාගන්න අයට ශිෂ්‍යත්ව පිරිනමනවා. ඉන් පසු උසස් පෙළ විභාගය සමත්වන දරුවන්ට, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගන්නා දරුවන්ට ඒ සියලු කාලවලට අවශ්‍ය ශිෂ්‍යත්ව අපි ලබාදෙනවා. ඊට අමතරව සියලුම සාමාජිකයන්ගේ දරුවන් සඳහා සෑම වසරකම 1 වසරේ සිට 13 වසර දක්වා අවශ්‍ය පාසල් උපකරණ සියල්ලම නොමිලේ ලබාදීමට කටයුතු කර තිබෙනවා. බ්‍රැන්ඩික්ස් සමූහයේ ශිෂ්‍යත්ව ලබාගෙන ඉංජිනේරුවරු, වෛද්‍යවරු ඇතුළු රටේ විවිධ වෘත්තීන්හි නියැළෙන දහසකට ආසන්න පිරිසක් මේ වන විට අපි බිහිකරල තියෙනවා.

අපි ලබාදෙන ශිෂ්‍යත්වය එකපාර ඒ දරුවන්ට ලබාදෙන්නේ නෑ. කොටස් වශයෙන් තමයි ඔවුන්ගේ අතට ලබාදෙන්නේ. පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවකු නවය වසරට ගියාට පස්සේ ඒ අයට ලබාදුන් ශිෂ්‍යත්වය තවත් වැඩි කරනවා. එතනින් එහාට ගියාට පස්සේ විවිධ වර්ගයේ ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිමා වුණාට පස්සේ ඒ අය බ්‍රැන්ඩික්ස් ආයතනයට බැඳෙන්න කැමති නම් ඒ සඳහාත් අවස්ථාවත් ලබාදී තිබෙනවා. මේ සියලු දේවල් ලංකාවේ පිහිටි අපගේ කර්මාන්තශාලා සියල්ලෙහිම සිදුවෙන බව විශේෂයෙන් කිව යුතුයි.

ඒ වගේම අපගේ ආයතනවල වැඩකරන සාමාජිකයකුට විශේෂිත හදිසි අවශ්‍යතාවකදී වෛද්‍ය ආධාර අවශ්‍ය නම් ඒ අයට රුපියල් ලක්‍ෂ දහයක් දක්වා වෛද්‍ය ආධාර ලබාදීමට අපගේ කළමනාකාරීත්වය කටයුතු යොදා තිබෙනවා. ඒක, වැඩකරන සාමාජිකයන්ගේ සැමියා, දරුවන්, පමණක් නොව අම්ම තාත්ත පවා ඒ අයගෙන් යැපෙනවා කියලා ඔප්පු කළොත් ඒ අයටත් එම වෛද්‍ය ආධාරය ලබාදෙනවා. ඒ වගේම තවත් අවශ්‍යතා රැසකට අපි උදව් කරනවා.

ප්‍රශ්නය – පසුගිය කොවිඩ් වසංගත සමයේ සමස්ත ජනගහනයෙන් බොහෝ පිරිසක් වසංගත තත්ත්වයට මුහුණ දුන්නා. වසංගත තත්ත්වයට සමස්ත ඇඟලුම් කර්මාන්තයටම මුහුණදීමට සිදුවුණා. මේ තත්ත්වය සමනය කරගන්න බ්‍රැන්ඩික්ස් කටයුතු කළේ කෙසේද?

පිළිතුර – කොවිඩ් වසංගතයට මෙරට පමණක් නොවෙයි, මුළු ලෝකයටම මුහුණුදීමට සිදුවූ අවස්ථාවක්. මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි කොවිඩ් වසංගතයට ගොදුරු වූ අපගේ සියලුම සාමාජිකයන් නිරෝධායනයේ සිට නැවත සිය නිවෙස් බලා පැමිණීම දක්වා සියලු කටයුතු බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් සිදු කළ බව. විශේෂයෙන්ම කිව යුතු කාරණයක් තමයි හෝටල් නිරෝධායනය හඳුන්වාදීමට කටයුතු කළේ බ්‍රැන්ඩික්ස් ආයතනය බව. එහිදී සියලු සේවකයන්ට අවශ්‍ය පහසුකම්, වෛද්‍යාධාර, ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනය වූවන්ගේ අවශ්‍යතා ආදී සියල්ල සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වය කටයුතු කළ බව කිව යුතුයි.

ප්‍රශ්නය – මේ වන විට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන අභියෝග මොනවාද?

පිළිතුර – ඇත්තටම මේ අභියෝගය ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නොවෙයි, මේක මුළු ලෝකයටම බලපා තිබෙන ප්‍රශ්නයක්. ලෝකය ප්‍රශ්නයකට ලක් වෙලා තියෙන කොට අපි තරගකාරී බවකට ලක් වෙනවා. ලෝකයේම ආර්ථික අර්බුදයක් තියෙනවා නම් ඇඟලුම් ඇණවුම්වල අඩුවක් ඇති වෙනවා. ඒ අයගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවෙලා තියෙන්නේ. වෙනදා ඇඳුම් දහයක් දොළහක්

ගන්න කෙනා දැන් ගන්නේ ඇඳුම් දෙකයි, තුනයි. මේ කාරණා අනුව ඩොලර් 5කට මහන්න පුළුවන් කියලා අපි කියන ඇඳුමට තව රටක් කියනවා ඩොලර් 3කට ලබා දෙන්නම් කියලා. ඩොලර් 2කට දෙන්නම් කියලා තව රටක් කියනවා. එහෙම තිබෙද්දී ඇයි ගැනුම්කරුවන් අපි ළඟට එන්නේ. අපි ඒ ඇඳුම ඩොලර් 3කට දුන්නේ නැත්නම් අපිට ඒ ඇණවුම ලැබෙන්නේ නෑ. බ්‍රැන්ඩික්ස් ආයතනය ගැනුම්කරුවන් සමග තිබෙන හිතවත්කමට ඇණවුම් ලබාදෙන්න පුළුවන්. නමුත් හැමදාමත් ඒක කරන්න බෑ. එමෙන්ම අපගේ සාමාජිකයන් වෙනුවෙන් ලබාදෙන සේවාවන් උපරිම වැඩි කරල තියෙන්නේ. වායුසමීකරණ පහසුකම්, ආහාරපාර, වෛද්‍යාධාර, උපදේශන සේවා ආදී කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරල තියෙනවා. මේ වන විට උද්ගතවී ඇති ආර්ථික අර්බුදය හමුවේ වුවද අපගේ සේවකයන්ට එකී සේවාවන් නොකඩවා ලබාදී තිබෙනවා. එතකොට ඩොලර් 5කට දෙන්නෙ නැතුව අපිට මේක කරගෙන යන්නත් බෑ. ඒ සඳහා අපි නව තාක්‍ෂණය මුසු කරමින් නව නිර්මාණ හඳුන්වාදෙමින් කාර්යක්‍ෂමතාව වැඩි කළ යුතුයි. ඒ කියන්නේ කොලිටි එක අඩුකරනවා කියන එක නොවෙයි. කොවිඩ් නැති නිසා ඒ සඳහා වැයවූ අතිවිශාල වියදම් දැන් අඩු වෙලා තියෙනවා. ඔය කරුණු කළමනාකරණය කර වියදම් පියවාගෙන අපිත් උපරිම උත්සාහක් කරනවා තරගකාරී මිලට අපගේ ඇණවුම් ලබාදෙන්න. ඔය ආකාරයෙන් තමයි එම ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු යොදා තිබෙන්නේ. මම ඉහත සඳහන් කළා වගේ ඩොලර් 3කට අපේ ඇණවුම් ගැනුම්කරුට දුන්නේ නැත්නම් අපිට මේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැරි වෙනවා.

ප්‍රශ්නය – බ්‍රැන්ඩික්ස් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වී වෙනත් රටකට ව්‍යාපාර කටයුතු ගෙනයෑමට සැලසුමක් තිබෙනවාද? මේ පිළිබඳව පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පවා කතා බහට ලක් වුණා?

පිළිතුර – එහෙම කිසිම දෙයක් නෑ. අපි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකාවෙන් යන්නේ නෑ. ඒක සියයට සීයක් විශ්වාසයෙන් මා කියන්නේ. ඉන්දියාව, බංග්ලාදේශය, කාම්බෝජය, හයිටි වැනි රටවල අපගේ කර්මාන්තශාලා දිගුකලක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 50කට වැඩි කාලයක් මේ රටේ ක්‍රියාත්මක වුණු බ්‍රැන්ඩික්ස් ආයතනය මොනම හේතුවක් නිසාවත් ලංකාවෙන් යන්නේ නෑ. නමුත් කර්මාන්තශාලාවල යම් යම් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරල තියෙනවා. ඒ සඳහා නව තාක්‍ෂණය යොදා ගනිමින් අපගේ කාර්යක්‍ෂම වැඩි කරමින් යම් කර්මාන්තශාලාවල යම් ප්‍රතිසංවිධාන සිදුකරල තිබෙනවා. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට දායකත්වය සපයමින් විදේශ විනිමය උපයාදෙමින් අපනයන ක්‍රියාවලියේ බ්‍රැන්ඩික්ස් සමාගම නිරත වෙනවා.

ප්‍රශ්නය – කර්මාන්තශාලා ප්‍රතිසංවිධානය කරනවා යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර – කුඩා කර්මාන්තශාලාවල සේවකයන් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන කර්මාන්තශාලා වෙත අනුයුක්ත කිරීමයි එමගින් සිදු වන්නේ. උදාහරණයක් ලෙස පසුගිය මාසයේ එක් කර්මාන්තශාලාවක් එලෙස ප්‍රතිසංවිධානය කරනු ලැබුවා. නව තාක්‍ෂණය යොදා ගනිමින් අපගේ කාර්යක්‍ෂමතාව වැඩිකර නිෂ්පාදන ධාරිතාව වැඩිකර ගත යුතුයි. එමගින් නිෂ්පාදන වියදම් අඩු කර ගනිමින් රටට ලැබෙන විදේශ විනිමය වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ගැටලුවලට විසඳුමක් ලෙස තමයි කුඩා කර්මාන්තශාලාවල සේවය කරන ඇතැම් සේවකයන් විශාල ප්‍රමාණයේ කර්මාන්තශාලා වෙත අනුයුක්ත කිරීම සිදු කර තිබෙන්නේ.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළ කර්මාන්තශාලා ප්‍රතිසංවිධාන කිරීමේදී යම් කිසි සාමාජිකයකුට තමන්ගේ ගම් ප්‍රදේශයෙන් පිටතට ගොස් රැකියාව කිරීමට අපහසු නම් ඒ අය සඳහා ලබාදී තිබෙන විසඳුම කුමක්ද?

පිළිතුර – එවැනි ගැටලුවකට මුහුණදීමට සිදුවන සේවකයන්ට අපි අවස්ථා දෙකක් ලබාදී තිබෙනවා. උදාහරණයක් ලෙස ඔවුන් කැමති සහ පහසු ආයතනයක් වෙත ඔවුන්ව අනුයුක්ත කිරීම. ඔවුන් සඳහා ලබාදුන් සියලු පහසුකම් ඔවුන්ට අපි එහිදීත් ලබාදෙනවා. ඊට අමතරව තවත් දිරි දීමනා ලබාදීමට කටයුතු කර තිබෙනවා. එහෙම යන්න බැරි කවුරුහරි කෙනෙක් ඉන්නව නම් ඒ අයට අපි අවස්ථාවක් ලබාදී තිබෙනවා වන්දි මුදලක් ලබාදීමට. රජයේ අනුමත වන්දි මුදල්වලට පවා වැඩි වන්දි මුදලක් අපි ඒ අයට ලබාදී තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි, සේවයෙන් ඉවත්වූ යම්කිසි සේවකයකුගේ ශිෂ්‍යත්වලාභී දරුවන් කවුරුන් හෝ සිටිනව නම් ඒ ශිෂ්‍යත්වයද නොකඩවා ලබාදීමටත් අපි කටයුතු කරල තිබෙනවා. සේවයෙන් ඉවත් වූ කෙනෙකුගේ අවශ්‍යතා පිළිබඳව අපට ලැබෙන ඉල්ලීම්වලට පවා බ්‍රැන්ඩික්ස් සමාගම උදව් කරනවා. ඒවගේම සේවයෙන් ඉවත්වූ ඕනෑම සාමාජිකයකුට යළි බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධවීමට අවශ්‍යතාවක් ඇතිවුවහොත් ඒ සඳහා බ්‍රැන්ඩික්ස් ආයතනය ඉඩ සලසා දී තිබෙනවා.

ප්‍රශ්නය – බ්‍රැන්ඩික්ස් සමූහය සිදුකරන සමාජ සත්කාරක සේවාවන් ගැන සඳහන් කළොත්?

පිළිතුර – අපගේ කර්මාන්තශාලා පිහිටා තිබෙන සෑම ප්‍රදේශයකම කිලෝමීටර් 10ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි, රෝහල්, පාසල්, ආගමික ස්ථාන හා පොදු ස්ථානවලට ඒ සෑම තැනකටම අවශ්‍ය ජලය සහ සනීපාරක්‍ෂක පහසුකම් ලබාදෙනවා. මීට අමතරව අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය සේවා වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාව සඳහා ජලය නොමැති නම් ඒ අවශ්‍යතාව ඉටුකරදීම වැනි සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනවා. මේ සියලු සමාජ සුබසාධන සේවාවන් වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් ආයතනය වසරකට විශාල මුදලක් වියදම් කරනවා. මීට අමතර පසුගිය වසර කීපයේම ජාතික ලේ බැංකුවට ආයතනික වශයෙන් වැඩිම ලේ පරිත්‍යාගයන් සිදුකර ඇත්තේද බ්‍රැන්ඩික්ස් ආයතනය බව කිව යුතුයි.

සාකච්ඡා කළේ
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment