ඡන්දයක් වෙලාවේ දහතුන ගෙනාවේ ජාතිවාදය අවුස්සන්න – ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

69

මහජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් දේශපාලකයන්ටත් ඕන නෑ, අපි ඒ සංස්කෘතිය හදනවා

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් සියල්ල උතුරට ලබා දීම ගැන මැතිවරණය මුවවිටට පැමිණ ඇති මොහොතක සමාජයේ කතා බහක් ඇතිව තිබේ. බඩු මිල අඩු කරනු, තෙල් මිල අඩු කරනු වැනි සටන් පාඨ සමාජයේ නැඟෙමින් තිබියදී ජනාධිපතිවරයා උතුරට දහතුන ලබාදීමට පෙරොන්දු වීම පිටුපස ඇත්තෙ වෙනත් කතාවක් බව ජාතික ජනබලවේගය පවසයි. අපි ඒ වෙනත් කතාව සහ උණුසුම් දේශපාලන වටපිටාව පිළිබඳ ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කතා කළෙමු.

මැතිවරණ වේදිකාව දිනෙන් දිනම උණුසුම්. දැන් ජනතාව අතර මාලිමාවට තිබෙන තක්සේරුව කොහොමද?

අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර වලින් පේනවා. ඒත් එක්කම දීප ව්‍යාප්තව සිදුකරන ලද සමීක්ෂණ කිහිපයකින්ම එය තහවුරු වී තිබෙන්නේ. මේ ජයග්‍රහණයට හේතුව වෙන්නෙ මේ දෙපිරිසම මෙච්චර කාලයක් රට පාලනය කරල කරපු විනාශය අද මේ රටේ ජනතාව අත්විඳිනවා. ණය බර, බඩු මිල, බෙහෙත් නැතිව ඉස්පිරිතාලවල දුක් විඳින මිනිස්සු, දරුවන්ට අධ්‍යාපනය කරගෙන යන්න තිබෙන බාධක මේ හැම දේකින්ම පේන්නෙ ජනතාව වැටිල තිබෙන තැන. රට එවැනි දුෂ්කර තැනකට දක්කන්න තීන්දු තීරණ ගත්ත පාලකයෝ ඒ වගකීම භාර ගන්නෙත් නැති නිසා ජනතාවම දැන් තීරණය කරල තියනවා මෙතනින් ගැළවෙන්න නම් එකම මාවත ජාතික ජනබලවේගය වටා එකතු වීම කියල.

මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට යද්දි ප්‍රතිවාදීන්ගෙන් හැමදාමත් වගේම ජ.වි.පෙ. ට තිබෙන චෝදනාව තමයි අසූ අට අසූ නවයේ අඳුරු අතීතය. ප්‍රතිවාදීන් නැවතත් එම අතීතය එළියට අදිමින් ඔබලා කෙරෙහි බියක් ඇතිකරමින් තිබීම විශාල අවාසියක් නේද ?

අසූ අට අසූ නවය දැන් වලංගු නෑ. ඒගොල්ලන්ට කියන්න තියෙන්නෙ අපි කන බොන හැටි. නැත්නම් අපි අඳින පළඳින හැටි ගැන, නැත්නම් අපි මෙතෙක් වැඩක් කරල පෙන්නල නෑ කියන එක. හැබයි ඒ කාටවත් කියන්න බෑ ඒගොල්ලන්ට තිබෙන චෝදනා අපිට තියනවා කියල. මහ බැංකුව කැඩුවා කියලවත්, වාරය විකුණුවා කියලවත්, රටේ සම්පත් විකිණුවා කියලවත් චෝදනාවක් අපිට නෑ. අර කියපු අසූ අට අසූ නවය චෝදනාව දැන් ජනතාව පිළිගන්නේ නෑ. මොකද ඒවා ගැන අපි ඇති තරම් උත්තර දීලත් තියෙනවා. අපි ඒ ගැන ජනතාව ඉදිරියේ ස්වයං විවේචනයක් කරලත් තියෙනවා. ඒ නිසා දැන් ජනතාව ඒ ගැන හොඳට දන්නවා. අපි අදත් කියන්නෙ ඒක ඕපපාතිකව පැනනැඟුණ අරගලයක් නෙවෙයි. අසූ තුනේ තිබෙන්න ඕන මැතිවරණය කල් දාල, ජ.වි.පෙ. ය තහනම් කරල එදා ආණ්ඩුව සමාජය තුළ දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කරනවා. අනිත් පැත්තෙන් අසූ හතේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරල ජේ. ආර්. ගෙ කැමැත්තට ඉන්දීය හමුදාව ලංකාවට එනවා. එදා ඒකට විරුද්ධව අපි නායකත්වය දුන්න එක ඇත්ත. ඒ අරගලය ඇතුලෙදී දේශපාලන අරගලයක් ආණ්ඩුවත් එක්ක සිදුවුණා. එතනදී නොවිය යුතු දේ සිදුවුණා. ඒක අපි පිළිඅරන් ජනතාවගෙන් සමාව අරන් තියෙනවා. ඒක නිවැරදි කරගත්ත ගමනක් අපි 1994 ඉඳන් ඇවිත් තියෙනවා. දැන් වසර තිහක්. වසර තිහක් ගෙවිලත් එයාලට තාම අපිට කියන්න තියෙන්නෙ ඔය චෝදනාව විතරයි. ඒකෙන්ම තේරෙනවා ජනතාවටත් අපි ඒ වසර තිහක් තිස්සෙ නිවැරදි ගමනක් එනවා කියල.

දහතුන් වැනි සංශෝධනය එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා උතුරට පොරොන්දු වී තිබෙනවා. දහ තුනට එදා විරුද්ධ වූ ජ.වි.පෙ. ය දැන් ඒ ගැන නිහඬව ඉන්නෙ ඇයි ?

රනිල් හිටපු ගමන් මොකටද එහෙම දෙයක් කිව්වෙ. මේ සමාජය ඇතුලෙ උතුරෙවත් දකුණෙවත් කාගෙවත් එහෙම ඉල්ලීමක් ආවද.. නෑ. ජනතාව අතර උද්ඝෝෂණ ඇතිවුණේ බඩු මිල අඩු කරන්න, තෙල් මිල අඩු කරන්න, ගෑස් දෙන්න, රටේ සම්පත් ටික විකුණන්න එපා. බදු ගහන්න එපා, ඕවටනෙ. ඉතින් මේ ඡන්දයක් වෙලාවේ සමාජයේ කතාවක් නැති දහතුනක් ගෙනාවේ ජාතිවාදය අවුස්සන්න. ජාතිවාදයෙන් වාසි තියෙන අය ඉන්නවනෙ දෙපැත්තෙම. ඕකට දකුණෙ අය කැහැපොට ගැහුවාම උතුරේ ඒ අයට වාසියි. මොකද මෙහෙ වගේම උතුරේ ප්‍රාදේශීය සභාවලත් මොනවත් කෙරිල නෑනෙ. හැබැයි මෙහෙමයි. රනිල් එහෙම බෝලෙ පාස් කරල අපෙන් අහනවා මොකක්ද ස්ථාවරය කියල. මේක තේරුම් ගන්න. මේ ඇවිල්ලා සමාජයේ අවධානය වෙන පැත්තකට හරවන්න හදපු කතාවක්. බඩු මිල ගැන, ඩොලර් ප්‍රශ්නය ගැන රටේ තිබෙන කප්පරක් ප්‍රශ්න වෙන පැත්තකට හරවන්න කරපු කතාවක් මේක. ඕක කිව්වෙ රනිල්නෙ. අපි කියනවා, රනිලුයි මහින්දයි දිනේෂුයි එක තැනකට ඇව්ල්ලා මේක ගැන ස්ථාවරය කියන්න. නැත්නම් දැන් රනිල්ගේ ස්ථාවරය කියල තියෙන නිසා මේ ගැන රනිල් ජනාධිපති කරපු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය කියන්න. ඒත් එක්කම පාර්ලිමේන්තුවේ අපිට වඩා මන්ත්‍රීවරු ඉන්න සජිත්ගේ ස්ථාවරයත් කියන්න.

විවිධ හේතුන් කියමින් මැතිවරණය පස්සට දාන්න ආණ්ඩුව තවමත් උත්සහ කරන බව පේන්න තියෙනවා. මැතිවරණයකින් ගැළවීමේ මේ උත්සාහය, හේතුව මොකක්ද ?

ආණ්ඩුවට වාසි නම් මේ මැතිවරණය මේ වෙනකොටත් තියල. හැබැයි මාර්තු නවය ඡන්ද ප්‍රතිඵල එද්දි ඔය තුනෙන් දෙකක බලය තියනවාය කියන අයට තියෙන ඇත්ත එළියට එනවා. රනිල් කියන්නෙ කවුද කියන එක ඒ ප්‍රතිඵලයත් එක්ක එළියට එනවා. මෙයාලා ඒක හොඳට දන්නවා.

අයි. එම්. එෆ්. එකෙන් ලැබෙන ණය පවතින දේශපාලනයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. රජය අයි. එම්. එෆ්. ණය දිහා ලෝකු බලාපොරොත්තුවකින් ඉන්නෙ. නමුත් බංගලාදේශයට ණය ලබාදීමට අයි.එම්.එෆ්. එක මේ වන විට එකඟතාවත් පළ කරල අවසන්. අපේ ණය ඉල්ලීම පස්සට යන්න ඇත්තම හේතුව මොකක්ද?

හේතුව තවමත් ආණ්ඩුවත් එක්ක අයි. එම්. එෆ්. එක කේවල් කරනවා. ආණ්ඩුව එක ස්ථාවරයක නෑ. අයි එම් එෆ් එක ඉදිරිපත් කරන කොන්දේසි ආණ්ඩුවට ක්‍රියාත්මක කරගන්න බෑ. හේතුව රටේ මහජන බලයක් හැදිල තියෙනවා පාර්ලිමේන්තුවේ බලයට වැඩිය. ඇත්ත කතාව ඒක. ලංකාවේ සම්පත් විකුණන්න, තෙල් මිල ගළපන්න, ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. මෙන්න මේ වගේ යෝජනා කරගන්න බැරිව ආණ්ඩුව ඉන්නෙ. මොකද ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් බැංකු ටික වැටෙනවා. මෙහෙම අයි එම් එෆ් කියන ටික කළොත් ආණ්ඩුවට ගමට එන්න බෑ මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නෙ. දැනටත් ගම්වල ඒ වගේ අප්‍රසාදයක් ඇතිවෙලා තියෙන්නෙ. ඉතින් ඒවා නොකර ණය ලැබෙන එක හිතන්න බෑ.

වෙනත් රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. නමුත් පසුගිය කාලේ එම දායකත්වය අඩු වුණා. අපි දැක්කා ඔබ මේ වගේ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙනවා. ඔවුන් දැන් සිටින්නේ මොන වගේ ස්ථාවරයකද ?

එයාලා උපයන දේවල් එවන්නෙ ලංකාවට. එයාලගෙ ඥාතීන් ඉන්නෙ මෙහෙ. ලොකු උනන්දුවක් තිබෙනවා ඔවුන්ගෙ. එයාල ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන විමසිල්ලෙන් ඉන්නෙ. මට හමුවූ කවුරුත් එක හඬින් කිව්වෙ හොරකම් නැති, දූෂණ නැති, පගා ගහන්නෙ නැති ආණ්ඩුවක් හදන්න. අපි රටට සල්ලි එවනවා කියල. ඉතින් අපි ඒ පොරොන්දුව ඔවුන් හමුවේ ලබා දුන්නා. මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සෙ දේශපාලකයා ඇත්ත මහජන සේවකයෙක් බවට අපි පත්කරනවා. මහජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් දේශපාලකයන්ටත් ඕන නෑ. මේ රට හදන්න නම් මම කලිනුත් කියල තියෙනවා ජනතාව කැපකිරීම් කරා දැන් ඇති. දැන් බලය ගන්න දේශපාලකයොයි කැප කිරීම් කරන්න ඕන. එතකොට ආයෝජකයෝ එනවා. රට ඉන්න අපේ මිනිස්සු රටට සල්ලි එවන්න ගන්නවා.

ඔබ මාතර නගර සභාවේ පුරපති ධූරය සඳහා තරග වදිනවා. ඒ වගේ ඔබේ පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් කීප දෙනෙක්ම මේ මැතිවරණයෙදි තරග වදිනවා. චෝදනාවක් තිබෙනවා ඔබත් ඡන්දය අරගෙන මාතරින් යයි කියල ?

අපිට ඉදිරි පෙළද පසු පෙළද කියල එකක් නෑ. පක්ෂයේ තනතරු නෙවෙයි, අපිට තියෙන්නෙ වගකීම්. අපිට මන්ත්‍රී ධුර කරන්නත් පුළුවන් මන්ත්‍රී කම් නැතිව දේශපාලනය කරන්නත් පුළුවන්. ඔබට මතක ඇති මම මාතර දිස්ත්‍රික්කයෙන් පැදුණාම මම වඩේ විකුණන පොස්ට් එකක් ගියා. මම එදා කිව්වෙ මම මහ බැංකුව කැඩුවෙ නැතිව වඩේ විකුණනවා කියල දාන එක මට ගෞරවයක් කියල. ඒ නිසා ඒක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒ වගේ අපිට පාර්ලිමේන්තුවේ ඉන්නත් පුළුවන් නගරාධිපතිකමේ ඉන්නත් පුළුවන්. මේ මැතිවරණයට තරග කරන අපි කවුරුවක්වත් ඒ වගකීම් භාරගන්නෙ ඡන්දය අරගෙන යන්න නෙවෙයි. ඒ වගකීම ඉෂ්ට කරන්න. ඒ සහතිකය අපි හැම පුරවැසියකුටම දෙනවා. හොරකම් කරන්නෙ නැත්නම් මේ නගර හදන්න පුළුවන් බව අපි පෙන්වනවා.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment