ඇත්තටම පෙබරවාරිය නරකද?

966

පෙබරවාරි මාසය යයි කියූ පමණින් එම මාසය දින අඩු මාසයක් සේ පිළිගැනීමට බොහෝ දෙනා පුරුදුවී සිටිති. ඒ වර්ෂයට යෙදෙන ඉංග්‍රීසි මාස 12 න් අඩුම දින ගණනක් හිමිවන මාසය නිසාවෙනි. අධික අවුරුද්දකදී හැර අන් අවුරුදු වලදී පෙබරවාරි මාසයට දින 28 ක් හිමිය. එහෙත් අධික අවුරුද්දකදී එය දින 29 ක් වේ. අධික අවුරුද්දක් ලබනුයේ වසර 4 කට වරක්ය. මෙවර 2017 වර්ෂයේ උදාවූ පෙබරවාරි මාසය ඉතාම සුවිශේෂය. ඒ 2017 පෙබරවාරිය තුළ සතියේ දින 7 ට මාසය තුළදී දින 4 බැගින් ඇතුළත් වන නිසාවෙනි. එනම් පෙබරවාරි මාසයේ වූ දින 28 ඉරිදා දින 4 ක්ද සඳුදා දින 4 ක් ද, අඟහරුවාදා දින 4 ක්ද බදාදා දින 4 ක්ද බ්‍රහස්පතින්දා දින 4 ක්ද සිකුරාදා දින 4 ක්ද සෙනසුරාදා දින 4 ක්ද ලෙස බෙදී ඇත. විද්වත් මතයට අනුව ගණනය කිරීම් තුළින් මෙවැනි සිදුවීමක් නැවත සිදුවනුයේත් පෙර සිදුවූයේත් වසර 823 ක පරතරයකින් බව අනාවරණය කරගෙන ඇත. ඒ නිසා මෙම විශේෂ පිහිටීම හේතුවෙන් 2017 පෙබරවාරි මාසය ඉතා වාසනාවන්ත බවත් විශේෂයෙන් අංක විද්‍යාත්මක ගණනයන්හිදී අංක 04 හිමිවන්නන්ටත් පෙබරවාරි මාසය තුළ උපන් ජන්මීන්ටත් මේ තත්ත්වය බෙහෙවින් වාසිදායක බවත් කිවයුතුමය.

ක්‍රිස්තුවර්ෂ ක්‍රමය අනුව අවුරුද්දකට දින 365 කි. එහෙත් ජ්‍යොතිෂයේ භාවිතා වන ශක වර්ෂ ක්‍රමය අනුවත් චන්ද්‍ර මාස ක්‍රමය අනුවත් වර්ෂයකට දින 360 කි. චන්ද්‍ර මාසයකට පුර තිථි 15 ක්ද අව තිථි 15 ක් ද ලෙස තිථි 30 කි. එනම් චන්ද්‍ර දින 30 කි. එය යෙදෙනුයේ එක් පුර පසළොස්වක පෝය දිනක සිට අනෙක් පුර පසළොස්වක පොහොය දිනය දක්වාය. ක්‍රිස්තුවර්ෂ ක්‍රමයත් චන්ද්‍ර මාස ක්‍රමයත් අතර වෙනස වසරකට දින 5 පැය 6 කට ආසන්න ප්‍රමාණයකි. ඉහත සඳහන් වූ ලෙසම ඉංග්‍රීසි ක්‍රමයට වර්ෂයකට දින 365 පැය 6 ක් පමණ වේ. මෙකී දින 365 අතිරේක පැය 6 ට ආසන්න ප්‍රමාණය වසර 4 ක් තුළ එකතුවීම මත පැය 24 ක් හෙවත් දිනයක් නිර්මාණය වේ. මෙලෙස නිර්මාණය වන දිනය පෙබරවාරි මාසයට යොදා සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ දින ගණන වන දින 28 වසර 4 කට වරක් දින 29 බවට පරිවර්තනය කෙරේ. මෙකී ලෙසට අධික අවුරුද්ද නිර්මාණය වේ. ඉංග්‍රීසි දින දර්ශනයට අනුව වසරේ මාස 12න් මාස 7 ක්ම දින 31 කින් යුතුය. ඒ ජනවාරි, මාර්තු, මැයි, ජූලි, අගෝස්තු, ඔක්තෝබර් හා දෙසැම්බර් මාස ලෙසය. එහෙත් පෙබරවාරි මාසය හැර ඉතිරි මාස වන අප්‍රේල්, ජුනි, සැප්තැම්බර්, නොවැම්බර් යන මාස දින 30 කින් යුතුය. මාසවලට දින සංඛ්‍යා බෙදී යෑම ඉහත ආකාර වුවද දින 31 යෙදෙන මාසවලත් දින 30 ක් යෙදෙන මාසවලත් පංචාංග ශුද්ධිය සහිත ශුභ මුහුර්ථ සාදා ශුභ වැඩකටයුතු වලට භාවිතා කරයි. මෙහිදී දින 31 හිමි මාසයකට වඩා දින 30 ක් හිමි මාස කිසිසේත්ම දින අඩු මාස සේ නොසලකයි. එය එසේ නම් දින 28 හෝ 29 යෙදෙන පෙබරවාරි මාසය දින අඩු මාසයක් සේ නිගමනය කළ හැකිද යන්න තර්කානුකූල ප්‍රශ්නාර්ථයකි. කෙසේ නමුත් පෙබරවාරි මාසය ඉංග්‍රීසි මාස ක්‍රමයට අනුව සාපේක්ෂව අඩු දින ගණනක් හිමි මාසයක් වුවද චන්ද්‍ර මාස ක්‍රමයට අනුව එය එසේ නොවේ. එනම් සෑම චන්ද්‍ර මාසයකටම දින 30 කි. මේ නිසා චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ඉංග්‍රීසි ක්‍රමයට මෙන් දින අඩු මාස නොමැත. එනිසා පෙබරවාරි මාසයටද දින 30 ක් හිමිය. ඒ නයින් බලන කල පෙබරවාරි යනු ද සම්පූර්ණ මාසයකි.

එනිසා පෙබරවාරි මාසයේදීද දිනය, නැකත, තිථිය, යෝගය හා කර්ණය යන පංචාංග ශුද්ධිය පවතින එසේම ශුභ මුහුර්ත සෑදීමේදී සලකා බලනු ලබන සෙසු දෝෂවලින්ද තොර ශුභ දින කිසිදු බාධාවකින් තොරව ඉතාම නිවැරැදිව ශුභ මුහුර්ත සාදනය සඳහා යොදා ගත හැක. මේ නිසා මාස 12 න් කෝණ මාසවලට පවා අසු නොවන තවත් එක් වටිනා මාසයක් වන පෙබරවාරි මාසය දින අඩු අශුභ මාසයක් සේ සලකා අවතක්සේරු කර ඉවත දැමීම සැබැවින්ම අනුවන කමකි. එය කෝණ මාස තුළ කෝණය යෙදෙන නිවැරැදි කාලසීමාව හරියාකාරව නොදැන මුළු කෝණ මාසයම නැකත් සඳහා යොදා නොගෙන ඉවත දැමීම හා සමානය. ඉන් ඉන් සිදුවන්නේ රන් මෙන් වටිනා මසක කාලය නිකරුනේ අපතේ යැවීමකි. එනිසා මින් ඉදිරියට පෙබරවාරි මාසය දින අඩු අශුභ මාසයක් යන සාවi මතය බැහැර කර පංචාංග ශුද්ධිය සහිත ශුභ දවස් බලවත් තත්කාල ද යොදාගෙන ඔබගේ ශුභ කටයුතු සඳහා නොබියව දැනුවත්ව භාවිතයට යොදා ගන්න. කලයේ උපරිම ඵල ලබන්න. එය ඔබගේ දියුණුවට හේතුය.

ඇත්තටම පෙබරවාරිය නරකද?

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment