ඡන්ද කතාබහ මැද ආණ්ඩුවට දෙඤ්ඤම් බැටේ කියන මිනිස්සු

1688

සමාජ දේශපාලන මෙන්ම ආර්ථික ක්‍ෂෙත්‍රවල දැඩි අවධානයට මෙන්ම වාද විවාද – සංවාදවලට ද නිමිති වූ සිදුවීම් ගණනාවක්ම ඉකුත් සතියේදී දැකගත හැකි විය. මේවා අතර සුවිශේෂ වූ අධිකරණ තීන්දු දෙකක් පිළිබඳව නීති අංශවලට අමතරව සමාජ හා සිවිල් සංවිධාන ද උද්යෝගයකින් කතා කරනු ඇසුණි. ඉන් වඩාත්ම අවධානය යොමු වූයේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ, හිටපු නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, හිටපු වැඩ පරීක්‍ෂක ඉලාලුදින් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂමන් ප්‍රියන්ත ඇතුළු පිරිස සිරදඬුවම් වලට හා දඩ මුදල්වලට ද යටත් කිරීමේ නඩු තීන්දුවය. මෙරටේ ජාතික උරුමයන් මෙන්ම රාජ්‍ය සම්පත් වැනසීම සුලභව සිදු කෙරෙන බරපතළ වරදකි. මේ අශිෂ්ට ආදර්ශය දේශපාලන දුෂ්සිරිතක් ලෙස කලක පටන් සිදුවන්නකි.

ධර්මය, යුක්තිය, සාධාරණය සුරැකීම මෙරටේ දිගුකාලීන සංස්කෘතික පිළිවෙතක් ද විය. ඒ ඉතිහාසයේ අභිමනට දේශපාලන වසලයන් විසින් කරන ලද අවමානය කෙබඳු දැයි හය හතර දන්නා දරුවෝද දනිති. ඒ සියලු සමාජ වටිනාකම් නොතකන පාදඩ හා වසල දේශපාලන චරිත යම් ප්‍රමාණයකට හෝ හීලෑ වන්නේ නීතියත් එය බලාත්මක කරනු ලබන අධිකරණයත් නිසාය.

කුරුණෑගල රාජසභා මණ්ඩපය කැඩීම දේශපාලන මහන්තත්වයෙන් මුළාවට පත්වූ අධම ක්‍රියාවක් ලෙස විවේචනයට ලක් වූවකි. එහෙත් ඒ වරද කළ එවුන් රැකගැනීමට තරම් ලැජ්ජා බියක් නොවූ දේශපාලන බලවතකු විසින් එදා කරන ලද ගෝරනාඩුව අද සමව්බලයක් බවට පත්ව තිබේ. කුමක් වුවද ඒ මෝඩාභිමානය බිඳ දැමීමට ගරු අධිකරණයට හැකි විය. එහෙත් පුරාවිද්‍යා පනත උල්ලංඝණය කරමින් මෙබඳු විනාශයන් සිදු කරන දේශපාලනඥයන්ට පමණක් නොව නිලබලවලට ද මේ පාඩම බොහොම ඉක්මනින් අමතක වීමට ද ඉඩ තිබේ. එයට හේතුවද සියලු ජාතික උරුමයන්, සාරධර්ම වටිනාකම් නොතකන ගර්හිත දේශපාලනය විසින්ම ගිල ගන්නා ලද සමාජයයි.

දේශපාලන චණ්ඩිකම්වලට මෙන්ම නීතිය සුරකින පොලිසියට ද එබඳු ක්‍රියාකාරකම් සඳහා ඉඩ නැති බව අධිකරණය තවත් තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් තහවුරු කර ඇත. ඒ හිටපු යුද හමුදා සෙබළකු විසින් තමන්ට වධහිංසා කළ බවට පොලිසියට විරුද්ධව නැගූ මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩුවක තීන්දුවකි. ඇත්ත වශයෙන්ම රටක යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට සිදුවීම කිසිසේත් ප්‍රශස්ත තත්ත්වයක් නොවේ. ජනතා පරමාධිපත්‍යය සුරැකීම පාලකයන්ගේ මෙන්ම පොලිසියේ ද වගකීම් අතර මුලින්ම තිබෙන්නකි. එහෙත් මේ වගකීම නොතකමින් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් තරමටම පොලිසියට ද ඇත්තේ කුප්‍රකට වාර්තාවකි. මානව හිමිකම් කඩවීම් හා වධහිංසා සම්බන්ධයෙන් ලැබෙන වාර්තාවලින් අති මහත් බහුතරයක්ම පොලිසියට එරෙහිව බව සිවිල් සංවිධාන පමණක් නොව මානව හිමිකම් කොමිසමද විමසා තිබේ. අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ පසුගිය දිනක සඳහන් කළෙත් පොලිස් කොමිසම ශක්තිමත් කිරීම ඇතුළු නීතියේ හිමිකම තහවුරු කෙරෙන පනත් ගණනාවක් සම්මත කළත්, පොලිසිය තුළ පරිවර්තනයක් සිදුවිය යුතු බවය.

බොහෝ විට බොහෝ දෙනෙකුගේ විවේචනවලට හා චෝදනාවලට පොලිසිය ලක්වන බව කවුරුත් දනිති. ඒ පොලිසිය සම්බන්ධයෙන් තිබෙන නීතිමය විධිවිධානවල දෝෂයක් නිසා නම් නොවේ. දේශපාලන බලවතුන්ගේ අභිමතය පොලිසිය තුළට කාවැදී තිබෙන පිළිලයකි. මන්ත්‍රී, ඇමැති පමණක් නොව ජනාධිපති වැනි ගාම්භීර තනතුරු (මෙරටේ ඒවා එසේද යන්න ප්‍රශ්නයකි) පොලිසිය පාලනය කරන තාක් එහි ක්‍රියාකාරීත්වය ප්‍රශ්නකාරී වනු ඇත. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ අදහස් ඇතුළත් වී තිබේ. එහෙත් පොලිසිය සිය දේශපාලන පසමිතුරන්ට එරෙහිවද ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් මර්දනයට ද අප්‍රමාණව භාවිත කරනු ලබන මෙවලමකි. අද පොලිසියේ ඉහළ නිලධාරීන් ගණනාවකගේම භූමිකා ප්‍රශ්නකාරී වී තිබේ.

මේ හැර පසුගිය දිනවල බෙහෙවින් වාද විවාදවලට ලක්වූ තවත් සිදුවීමක් ද විය. ඒ මෙයට වසර සියයකටත් පෙර යටත් විජිත පාලන සමයෙහි සාහසික ඝාතනයකට ලක්වූ හෙන්රි පේද්‍රිස්ට යුක්තිය ඉටුකළ යුතු බවට ජනාධිපති රනිල් විසින් කරන ලද ප්‍රකාශයකි. සමහරුන් මෙයට දැක්වූයේ උත්ප්‍රාසනීය ප්‍රතිචාර බව ද පෙනුණි. ඇත්තටම මෙරටේ මෑත ඉතිහාසයම ඝාතනවලින් පිරුණු එකකි. දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන් පමණක් නොව වෙනත් කලාකරුවන් ආදී බොහෝ දෙනෙකුගේ නාමාවලියක්ම අපට ඉදිරිපත් කළ හැකිය. මේ කිසිවක් ගැන නොවිමසන පාලකයන් විසින් කලින් කලට කරනු ලබන දේශපාලන රැඟුම් හෝ විගඩම් ලෙස එබඳු දේවල් විවේචනයට ලක් කිරීමේ වරදක් ද නැත. නිදසුනක් ලෙස ගතහොත් රෝහණ විජේවීර, රිචඩ් ද සොයිසා, ලසන්ත වික්‍රමතුංග මෙන්ම තාජුඩීන් යන අයගේ ඝාතන විශාල සමාජ ආන්දෝලනයකට තුඩුදී තිබේ. රෝහණ විජේවීර වධ හිංසාවට ලක්කර පණපිටින්ම පුළුස්සා දැමූ බව මාධ්‍යවල වාර්තා විය. ලසන්ත ඝාතනය මහ මගදී මහ දවාලේ සිදුවූවකි. රිචඩ් ද සොයිසා ඝාතනය හා බැඳුණු දේශපාලන නම් ද කියැවේ. තාජුඩීන් ද එබඳුම ප්‍රශ්නකාරී ඝාතන ගොදුරකි. මේවා ජනාධිපති රනිල් ඉඳුරා දන්නා සිදුවීම්ය. රෝහණ විජේවීර පැහැදිලිවම දේශපාලන ඝාතනයකි. මේ සියල්ලටම උඩින් පැන හෙන්රි පේද්‍රිස්ට යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත යැයි කිසිවකුට කිව හැකිද? හෙන්රි පේද්‍රිස්ට මෙන්ම මෑත දශක කීපය ඇතුළත සාහසිකව ඝාතනයට ලක්වූ හැම දෙනකුටම යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතු බව අපගේ අවධාරණයයි.

දේශපාලනයේදී ඡන්ද කඩන තුරුම්පු ලෙස මේ බොහෝ ඝාතන යොදාගත් ආකාරය ද රහසක් නොවේ. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය මෙන්ම ඇඹිලිපිටිය සිසුන් ඝාතනය කිරීමේ සිදුවීම්ද ඒවා අතර වඩාත් ප්‍රකටය. එහෙත් හෙන්රි පේද්‍රිස් ඝාතන සිදුවීම එබඳු ආකර්ෂණීය ප්‍රතිචාරවලට ලක්වනු ඇතැයි සිතිය නොහැකිය. කුමක් වුවත් ඝාතන සංස්කෘතියක බිහිසුණු මතක මෙන්ම ඒවාට තුඩු දුන් අශිෂ්ට දේශපාලනයක්ද වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ සියල්ලටම වඩා මහජන අවධානය යොමුවන දේශපාලන සිදුවීම් කීපයක්ම වේ. පළමුවැන්න ලබන වසරේ එළඹෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණයයි. මේ මැතිවරණ සමය උදාවන්නේ රට ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන්ද අඳුරු අගාධයක සිරවී තිබෙන මොහොතකය. ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති රනිල් රටේ ආර්ථික ක්‍රියාදාමය මෙහෙයවමින් සිටියදී ඔහුගේ සහාය වෙනුවෙන් පෙනී සිටින පොදුජන පෙරමුණ සිය දේශපාලන ගමන අලුත් වටයකින් සමාජගත කරමින් සිටියි. පොහොට්ටුවේ නිර්මාතෘ බව පැවසෙන බැසිල්ට අනුව ඔවුන් පෙළගැසෙන්නේ පාණ්ඩුවක් නොවන ආණ්ඩුවක් හැදීමේ අරමුණ හා අධිෂ්ඨානය ද ඇතිවය.

ඡන්ද කතාබහ මැද ආණ්ඩුවට දෙඤ්ඤම් බැටේ කියන මිනිස්සු

ජනාධිපති රනිල් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති වුවද ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඇඟවීම් ද ඇත. පොහොට්ටු සමුළුවේදී යළිත් එහි නායකත්වයට පත්වූ මහින්ද පවසන්නේ ඔහු දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවය. එසේම පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ඔහු ප්‍රකාශ කළේ මේ රට කිසිවකුට කෑලිවලට කැඩීමට ඉඩ නොදෙන බවය. එසේම එදා ප්‍රභාකරන්ට මුහුණ දී රට බේරාගැනීමට කිසිදු නායකයෙකුට නොහැකි වූ බවද ඔහු පවසා තිබුණි. ඒවා සත්‍යය බව ඉතිහාසය දන්නා අය පිළිගනිති. එහෙත් අද මේ රට මුහුණ දී තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුද පිළිබඳව ඔහු අර්ථවත් ප්‍රතිචාර දැක්වූයේ නැත. ඔහු පැවසූ පරිදිම 2009 යුද ජයග්‍රහණය අද තරුණ පරපුරට අමතක වී තිබිය හැකිය. ඒ වනවිට වසර දහයක් වූ දරුවෙක් අද විසිහතර හැවිරිදි තරුණයෙකි. මේ තරුණයන්ගේ ප්‍රමුඛතාව කුමක්ද? ඔවුන් අපේක්‍ෂා කරන දේශපාලන වෙනස හා සමාජය කෙබඳු එකක්ද? යන්න මේ නායකයාට හෝ ඔහුගේ පක්‍ෂයට අවබෝධ වී තිබේද? ප්‍රශ්නය එයයි.

මහින්ද පමණක් නොව බැසිල් මෙන්ම පොහොට්ටුවේ ලේකම් සාගර පවා මේ සමාජ දේශපාලන අපේක්‍ෂා වටහා ගත්තෝ නොවෙති. සුගතදාසයේ සම්මේලනයට එක්වූ අයට හෝ මේ සමාජ දේශපාලන උභතෝකොටික පිළිබඳ අවබෝධයක් නොවූ බවද නිසැකය. මේ වන විට මෙරටේ ජන ජීවිත මත පටවා තිබෙන සිත් පිත් නැති බදු බරත්, විශේෂයෙන් එය තවත් ඉහළ නැංවෙන 18% වැට් බද්ද නිසා බිඳ වැටෙන ජන ජීවිත පිළිබඳවත් මේ නායකයන්ට සංවේදී බවක් ඇති වගක් ද නොපෙනුණි. පොදු ජනතාව තමන්ගේ දුක නොහඳුනන පක්‍ෂයක් යළි බලයට පත්කර ගනු ඇතැයි සිතිය හැකිද?

අපට හැඟෙන පරිදි 2024 දී උග්‍රවන අර්බුද සඳහා මේ පවතින වැඩවසම් ප්‍රභූ දේශපාලනඥයන්ට විසඳුම් දිය නොහැක. ජනතාව සියලු දුක් පීඩා විඳ දරාගනිමින් මෙම පාලකයන්ට යළි රට භාරදෙනු ඇතැයි සිතිය හැකිද? අද රටට වුවමනා හුදු ආණ්ඩු වෙනසක් නොවන බව මේ කඳවුරේ දේශපාලනඥයෝ කිසිසේත් වටහා නොගනිති. ජා.ජ.බ. අනුර කුමාර නම් පසුගිය දිනක එබඳු අදහසක් පළ කළ බවද මතකය. ඔහු කියන්නේ ජනතාවට අවශ්‍ය ක්‍රමයේ වෙනසක් බවය. ඇත්ත වශයෙන්ම මේ ‘වෙනස’ දේශපාලන සමාජ ආර්ථික පමණක් නොව සංස්කෘතික හා දෘෂ්ටිමය වශයෙන්ද සිදුවිය යුත්තකි. ස.ජ.බ. ඇතුළු මහින්ද කඳවුරෙන් ඉවත් වී සිටින අනෙක් අයට ද මේ වෙනස පිළිබඳ ගැඹුරු කියැවීමක් තිබේද? තවමත් විශ්‍රාම ගන්නේ නැති බව කියන සිය පැරණි පරමාදර්ශී නායකයා වූ මහින්ද ප්‍රමුඛ එම කඳවුර පරාජය කිරීමට නිදහස ජනතා සභාව හා උත්තර ලංකා සභාගය පුළුල් ලෙස කල්පනා කර තිබේද?

මහාචාර්ය ජී. එල්. පීරිස් නම් පවසන්නේ ජනතාවට සංවේදී නොවන මේ ආණ්ඩුව පලවා හැරීමට ස.ජ.බ. සමග පොදු වේදිකාවකට එළඹෙන බවය. පොහොට්ටුව හා එජාපය අතර තිබෙන දීගය නොගැළපෙන බව පවසන මහාචාර්ය ජී. එල්. ට ස.ජ.බ. සමග එක්වීමට ගැටලුවක් නැති බව ඔහුගේ ප්‍රකාශයෙන් පෙනී යයි. එහෙත් මෙයට ඩලස් ඇතුළු සෙසු අය එකඟවී සිටිත් දැයි වාර්තා වී නැත. රාජපක්‍ෂ පාලනයේ විපාක රටට අත්කර දීම සම්බන්ධයෙන් ඩලස්, ජී. ඇල්., විමල්, ගම්මන්පිල, වාසු ආදී සියල්ලන්ටම විවේචන හා චෝදනා ද තිබේ. රාජපක්‍ෂවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව මේ අයටත් අදාළ බව ස.ජ.බයේම සමහරු කියති. පෙත්සම්කරුවන් විසින් ඔවුන්ගේ නම් ඇතුළත් නොකිරීම නිසා එම තීන්දුව ඔවුන්ට එරෙහිව නොලැබුණු බවද සැබෑවකි. එසේම රාජපක්‍ෂ කඳවුර සමග එක්ව සිටි ඔවුන් එදා රාජපක්‍ෂලා බලගැන්වීමට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනවලට ද (18 හා 20) අත් එසවූ බවද තවත් චෝදනාවකි. ඇත්ත වශයෙන්ම අපට හැඟෙන ආකාරයට නම් 18, 19, 20, 21 යන සියලු සංශෝධනවලට ම අත් එසවූ දේශපාලන චරිත සතු බුද්ධිය හා දේශපාලන විඥානය බරපතළ ප්‍රශ්නයකි.

මේ අය විසින් පසුකාලීනව සිදුකරන ලද යම් යම් පාපොච්චාරණ වලින් ඔවුන් තමන් අතින් සිදුවූ වැරදි පිළිගෙන ඇත. ඇත්තටම ඔවුන් ඒවා විවෘතව මහජනතාවට පැවසීම ද අත්‍යාවශ්‍ය දෙයකි. එසේ නොවේ නම් ඔවුන් යළිත් ස.ජ.බ හෝ වෙනත් කණ්ඩායමකට එක්වීම රටේ වුවමනාවකට වඩා පෞද්ගලිකව ජාම බේරාගැනීමක් ලෙස සිතන්නට ද බැරි නැත. කුමක් වුවත් අද රට ගැන බැරෑරුම්ව හිතන කණ්ඩායම ලෙස වැඩිදෙනකු විසින් පිළිගනු ලබන්නේ ස.ජ.බ. නොව ජා.ජ.බ බව ද හැඟේ. එසේම මේ මොහොත වනවිට ප්‍රබුද්ධ දේශපාලන විඥනයක් සහිත ජන කොටස් කල්පනා කරන්නේත් රාජපක්‍ෂ, රනිල් ආණ්ඩුව පෙරළා දැමීමට වැඩි දෙයකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒ කඳවුර පෙරළා දැමීමට හැකි දේශපාලන නායකත්වය ජා.ජ.බ ද නොඑසේ නම් ස.ජ.බ ද යන්න ජනතාව විසින්ම තීන්දු කරනු ලැබිය යුත්තකි. අප එසේ කියන්නේ අද මහපොළවේ තිබෙන දේශපාලනය පිළිබඳ තක්සේරුවකින් යුතුවය.

මේ වනවිට පොහොට්ටුව, එජාපය පමණක් නොව ශ්‍රීලනිපය ද ඒ සම්බන්ධයෙන් නොදැන සිටින්නේ යැයි කිව නොහැක. 2024 එළැඹෙන මැතිවරණවලදී මෙකී ප්‍රධාන පක්‍ෂ තුනම මුහුණ දෙනු ඇත්තේ එකම උභතෝකෝටිකයකටය. වැඩවසම් ප්‍රභූ දේශපාලන කඳවුර යන නාමකරණයට මේ පක්‍ෂ හසුවී තිබෙන්නේද ඔවුන් බලය හා පක්‍ෂය විනා රට ගැන නොතැකීම නිසාය. අද මේ රට හිරවී තිබෙන සමාජ – ආර්ථික අර්බුද එළැඹෙන මැතිවරණ ජය ලබන පක්‍ෂයට හෝ සන්ධානයට ක්‍ෂණිකව කළ හැකි දෙයක් ද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ හා වටිනාකම් පිළිබඳ හැඟීම් ද අනතුරට ලක්ව තිබෙන අතරම රටේ කේන්ද්‍රීය ආයතනවල ගරාවැටීමක් ද තිබේ. 2022 අරගලයේ සැබෑ පාර්ශ්වකරුවන් විසින් ඉල්ලන ලද දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ කිසිවක් මෙතෙක් සිදු නොවීමද බරපතළ ප්‍රශ්නයකි. රාජපක්‍ෂවරුන් පුන පුනා කියන්නේ එම අරගලයෙන් රටේ ඉදිරි ගමන කඩාවැටුණු බවය. එසේම අරගලය නිසා සිදුවූ විනාශය පිළිබඳව සොයා බලන බවද මහින්ද පවසා තිබේ. එහි තේරුම අරගලයේ උපත, එයට තුඩු දුන් සමාජ, ආර්ථික හා දේශපාලන හේතු ඔවුන්ට අදාළ නොවන බවය.

මේ අතරම දැනට ඉදිරියෙන් සිටින දේශපාලන බලවේග වන ස.ජ.බ හා ජා.ජ.බ කේන්ද්‍ර කර ගනිමින් ප්‍රහාරාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක් ද දියත් වෙමින් තිබේ. තවත් එක එක ජනපති අපේක්‍ෂකයන් ගැන ද කතාබහ වෙමින් තිබේ. කටකතා හා සමාජ මාධ්‍ය මේ සඳහා පුවත් මවන සෙයක් ද දක්නට තිබේ. සමහරු ජනපති සිහින දකිති.

කොහොමටත් දේශපාලන අවුල් හා කටකතා ප්‍රචාරය කරමින් මෙරටේ ජනතාව මුළාකළ නොහැකි බවද ඔවුන් විසින් කරනු ලබන විවේචන, චෝදනා ආදියෙන්ම පැහැදිලි වේ. 2024 දී දෙඤ්ඤම් බැටේ යනු ඒ බහුතර ජනතාවගේ තේමා පාඨය වී තිබේ. එහෙත් මහින්ද නම් පවසන්නේ ජනතාව තවමත් පොහොට්ටුව සමග බවය. එසේ වුවද ස.ජ.බ නායක සජිත් මාධ්‍යයට පවසා තිබුණේ රට බංකොලොත් කළ රාජපක්‍ෂලා යළි බලය ඉල්ලීම ලොකු විහිළුවක් බවය.

මේ අතර ජනාධිපති රනිල් පසුගියදා මහනුවර රංග කලා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වී ප්‍රකාශ කළේ ලබන මැතිවරණයේදී නැවත තේරී පත්වීමට නියමිත කණ්ඩායමක් කැබිනට් මණ්ඩලයේ සිටින බවත් ඔවුන්ගෙන් කිසිවෙක් මේ 18% වැට් බද්දට එකඟ නැති බවත්ය. තමන් එම අසීරු තීරණය ගත්තේ වෙනත් විකල්පයක් නොවූ නිසා යැයි ද ජනාධිපතිවරයා එයට අටුවාවක්ද එක්කර තිබුණි. එහෙත් අප නගන ප්‍රශ්නය වන්නේ රටේ නායකයා ලෙස ජනාධිපති ඒ ජන දුකට සංවේදී නොවන්නේ ඇයි? යන්නය. බදු හොරුන් හා බැංකු පොලුකාරයන් සුරකින ආණ්ඩුව මේ පීඩනය අඩුවෙන් තක්සේරු කරන්නේ ඇයි? අද සාමාන්‍ය පවුලකට (හතර දෙනකු සිටින) මසකට රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක මුදලක් වුවමනා බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඔහු ආර්ථික බයිලාකාරයකු නොවන ඒ ක්‍ෂෙත්‍රය ගැන වැටහීමක් සහිත දේශපාලනඥයෙක්ද වේ.

මේ පසුබිම තුළ ජනාධිපති පවසන කැබිනට් සගයන්ට ජනතාව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද යන්න ඔහුම සිතා බැලීම වටී. පාණ්ඩුවක්, වෙනුවට ආණ්ඩුවක් හදන බව කියන පොහොට්ටුවට ද මෙය අදාළය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment