මදාරාට නම දැම්මේ මදාරා

116
යාල වෙසෙන මදාරා

වනජීවී ඡායාරූපකරණයේ ප්‍රතිලාභ වන සතුන් සුරැකීමට යෙදිය යුතුයි – වන ජීවී ඡායාරූප ශිල්පිණී මදාරා හේමචන්ද්‍ර

මදාරාට නම දැම්මේ මදාරා

වන සත්ත්ව ලෝලීන් සහ වන ජීවී ඡායාරූපකරණයේ නියැළෙන්නන් බොහෝ දෙනකු ඇතුන් හා ජාතික උද්‍යාන තුළ වෙසෙන කොටියන් හඳුන්වන්නට සංකේත, අංක හෝ නම් භාවිත කරනු අපි අසා ඇත. නිදසුනක් ලෙස මේ දිනවල රජරට ප්‍රදේශයේදී වන ජීවී නිලධාරීන්ගේ රැකවලෙහි ප්‍රතිකාර ලබන “අග්බෝ” ඇතා සලකමු. මෙවන් බොහෝ ඇතුන් හා අලින් නම් වශයෙන් හඳුන්වන්නට හා හඳුනාගන්නට මේ කියන වන සත්ත්ව ලෝලීහු එහෙමත් නැත්නම් වන ජීවී ඡායාරූප ශිල්පීන් දක්වන්නේ පුදුමාකාර දක්ෂතාවකි. යාල වනෝද්‍යානයේ නම් ගැමුණු, සැන්ඩෝ, තිලක්, නන්දිමිත්‍ර, අර්ජුන, නාලක වැනි ඇතුන් කිහිප දෙනකුම වෙසේ.

එසේම, හෝර්ටන්තැන්නේදී පර්යේෂකයින් අංකවලින් කොටින් හැඳින්වුවත්, නම්වලින් හඳුන්වනු ලබන කොටින් රැසක් යාල වනෝද්‍යානයේදී අපට හමුවේ. ලූකස්, ජුලියස්, ජෙරී, ස්ට්‍රෝබෙරි, ඇස්ටර් එවන් ප්‍රකට සතුන් කිහිපදෙනෙකි. මෙම නම් බොහෝවිට මතක ඒ පිළිබඳවම අධ්‍යයනයේ යෙදී සිටින අයටමය. සෆාරි ජීප් රථකරුවන් ද මෙම කොටින් නම් වශයෙන් හඳුනාගන්නට දක්ෂයෝ ය. අප මේ කියන්නට යන්නේද යාල උද්‍යානයේ එවන් නමකින් හඳුන්වනු ලබන විශේෂ කොටිදෙනක ගැන කතාවකි. මේ කොටි දෙනගේ නම “මදාරා” ය. ඇත්තටම “මදාරා” දිවි ගෙවන්නේ යාල කලාප පහේ වෙහෙරගල ප්‍රදේශයේය.

මදාරාට නම දැම්මේ මදාරා

“මදාරා” ට මදාරා ලෙස නම් තැබීම හරිම විශේෂ කාරණයකි. ඒ ගැන කතා කරන්නට අප සැරසෙන්නේ “මදාරා”ට මදාරා කියා නම දැමූ “මදාරා” සමගය. නැතහොත් පසුගිය සතියේ අප ඔබට හඳුන්වා දුන් වන ජීවී ඡායාරූප ශිල්පිණී මදාරා හේමචන්ද්‍ර සමගය. එනම්, මදාරාට මදාරා කියා නම දමා ඇත්තේ මේ කියන මදාරාය.

“අපි දවසක් යාල කලාප 3 ගල්ගේ සහ යාල කලාප 5 වෙහෙරගල පුරා යෙදුණු සංචාරයක් අතරතුර මම දැක්කා කොටියෙක් ඉන්නවා. මේ කොටියාගේ පින්තූර මට ගන්නට හැකි වුණා. මේ පින්තූර මගේ පින්තූර එකතුවට දැම්මට පස්සේ Yala Leopard Diary Team කියන කොටි හඳුනාගන්නා කණ්ඩායම මට කිව්වා මේ කොටියා මීට ඉස්සර රෙකොර්ඩ් වෙච්ච එක්කෙනෙක් නෙමෙයි, තාමත් අඳුරගත්ත නැති අලුත් එක්කෙනෙක් මෙයාට නමක් දාන්න ඔයාට පුළුවන් කියල. මෙයා ගෑනු සතෙක්. ඒ නිසා එදාම මම මෙයා “මදාරා” කියල නම් කළා. දැන් මෙයා හඳුන්වන්නේ “මදාරා” කියලා. මදාරා ඒ කතාව කියන්නේ ඉපිල යන සතුටකිනි. යාල “මදාරා” ට නම හැදෙන්නේ එලෙසිනි.

මදාරාට නම දැම්මේ මදාරා
මදාරා දිනූ අන්තර්ජාතික රන් සම්මානයක්

මදාරා හේමචන්ද්‍ර නිරන්තරයෙන් යන්නට කැමති වනෝද්‍යාන දෙකක් ඇත. ඒ යාල සහ කුමනයි. විල්පත්තුව හා හෝර්ටන්තැන්නටද ඇය ප්‍රිය කරන්නීය. එසේම, වනාන්තර තුළ කූඩාරම් ගසා රාත්‍රිය ගතකරමින් පරිසරය විඳින්නටද මදාරා බෙහෙවින් කැමතිය. ඒ සඳහා හිටපු උද්‍යාන (කුමන) පාලකවරයෙක් හා ප්‍රකට වන ජීවී නිලධාරියකු වන ෂර්ලි පෙරේරා මහතා සහ ඔහුගේ පුත් ක්‍රිස් පෙරේරා මහතා තමන් සමග එකතුවී අත්දැකීම් බෙදාගන්නා බව මදාරා කියන්නීය. තවද, පුරාවිද්‍යා ස්මාරක හා ඓතිහාසික ස්ථාන නැරඹීමටද තමන් වැඩි කාලයක් යොදවන බවත් පවසන ඇය කියන්නේ කුමන-බඹරගස්තලාව, බෝවත්තගල, වලස්කෙම, පිලිමගල, කුඩුම්බිගල වැනි ස්ථාන තමන්ගේ ගවේෂණයට ලක්වන ස්ථාන බවයි. මේ සඳහා කටගමුව අඩවි වන ජීවී නිලධාරී සුජීව මහතා දන්නා කාලයේ සිට තමන්ට මග පෙන්වන බවද ඇය සිහිපත් කරන්නීය. මොන වැඩ තිබුණත් මදාරා තම දෙමව්පියන් සමග හෝ තම සැමියා සමග මාස දෙකකට පමණ වරක්වත් මෙසේ කැලේ – කොළේ ඇවිද යන්නේ තම කැමරාව අතේ රුවාගෙනය. ඉතා කුඩා කාලයේ පටන් තමන්ට හුරුවූ මේ විනෝදාංශය නිසාම මදාරා සතුව දැන් වන ජීවීන්ගේ ඡායාරූප දහස් ගණනක් ඇත.

මදාරාට නම දැම්මේ මදාරා
මදාරා සහ අනුර හේමචන්ද්‍ර අතින් වන හා වනජීවී අරමුදලට පරිත්‍යාගයක්

එසේම, තම මාමණ්ඩිය වූ අමල් වික්‍රමතුංගයන්ගේ නිරන්තර දිරිගැන්වීම මත හා තරග සඳහා යොමුකරවීම නිසාම තම ඡායාරූප අතරින් ඡායාරූප දෙකකට අන්තර්ජාතික තරගයකින් ප්‍රථම ස්ථානය ලබාගන්නට හැකිවූ බව මදාරා කියන්නීය. ඒ 2020 වසරේදීය. ප්‍රංශයේ අන්තර්ජාතික වනජීවී ඡායාරූප සංගමය විසින් සංවිධානය කරන ලද තරගයකදී මෙසේ කැනඩාව සහ බි්‍රතාන්‍ය පරයා මදාරා ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ පසුගිය සතියේ අප පළ කරන ලද ගොදුරක් බුදින “පෙරැළි කොණ්ඩ රාජලියා” ගේ (කුමන උද්‍යානය) පින්තුරයට සහ ගසක් මත නිදි සුව විඳින “ජුලියස්” නමැති යාල වෙසෙන සුප්‍රකට කොටියාගේ සේයාරුවකටය. රටවල් 64 ක තරගකරුවන් පරදවා මෙහිදී මදාරාට (ශ්‍රී ලංකාවට) ප්‍රථම ස්ථානය ලැබී ඇත.

“දැන්නම් ගොඩක් වෙලාවට මම යාල, කුමන යන්නේ මගේ සැමියා තාරක සමග. මම සතුටු වෙනවා මාව තේරුම්ගත්ත ස්වාමියෙක් මට ලැබීම ගැන. ඔහු පුදුමාකාර සහයෝගයක් මට දෙන්නේ මගේ කටයුතුවලට. විශේෂයෙන්ම මේ වන ජීවී ඡායාරූපකරණයට සහ වනෝද්‍යානවල කරන සංචාරවලට. මොකද මට දැන් මේ විනෝදාංශය නැතුවම බැහැ. ඒක භාවනාවක් වගේ මම කරන්නේ. ඉතිං ඒක තේරුම් ගත්ත ස්වාමියෙක් ලැබීම මට වාසනාවක්” ඇය තම ස්වාමියා තාරක ගැන කියන්නීය.

“අපි කල්පනා කළා මම කරන වන ජීවී ඡායාරූපකරණය සහ වනජීවී සංචාර නිසා අපි අපේ ව්‍යාපාරයෙන් යම් කොටසක් මේ රටේ වන හා වනජීවී සංරක්ෂණයට යොදාගන්න ඕන කියල. ඒ අනුව අපි දැන් “අයිකොනික් කලෙක්ෂන්” එකක් හැටියට අප නිපදවන ස්වර්ණාභරණ ආර්ටිකල් 15 ක් විකුණා ලැබෙන මුදලින් සියයට 10 ක් වන හා වන ජීවී සංරක්ෂණයට යොදාගන්න අපි සංරක්ෂණ භාරයකට බැරකරනවා. “වන හා වනජීවී සංරක්ෂණ භාරය (Wilderness and Wildlife Conservation Trust – WWCT) නමින් සුබසාධන භාරයක් අපි පිහිටුවල තියනවා.” මේ යටතේ දැනටමත් වන සතුන්ගේ සුබසාධනය සඳහා ලැබ් පහසුකම්, ස්වංක්‍රීය කැමරා පද්ධති යනාදිය සපයා ඇත.

“මමත් තාම වන ජීවී ඡායාරූපකරණය කරන ගමන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ආධුනිකයින්ටත් මට කියන්න දෙයක් තියනවා. මේ සඳහා හොඳ ඉවසීමක් තියෙන්න ඕන. වන සතුන්ට බාධාවක් නොවන පරිදි හැසිරෙන්න ඕන වගේම සංයමයෙන් ඡායාරූපකරණය කරන්න ඕන. සමහරු වනෝද්‍යානවල හැසිරෙන විදිහ අන්තිම වැරදියි. අනුන් ගැන හිතන්නේ නැහැ. සත්තු ගැන හිතන්නේ නැහැ. ඇත්තටම ඡායාරූපකරණයේදී අද ලබන අත්දැකීම නෙමෙයි හෙට ලැබෙන්නේ. හැමදාම නැවුම් අත්දැකීම් ලැබෙන්නේ. ඒ නිසා මේක ඉතා හොඳ විනෝදාංශයක් වගේම ජාත්‍යන්තරයට යන්න ඉතා හොඳ අවස්ථාවක්. නමුත් ඒ දේ හරියට, නිවැරදිව කරන්න ඕන” ඇය නව පරපුරට කියන්නීය.

මේ අතර ඇය පවසන්නේ යාල සිටින සියලුම ඇතුන් ඇයට නම් වශයෙන් හඳුනාගන්නට හැකි බවය. එසේම, තවදුරටත් කොටි නම් වශයෙන් හඳුනාගන්නට තවමත් ඉගෙන ගනිමින් සිටින බවත් පවසන ඇය කියන්නේ මේ සියලු සම්පත් අනාගත පරපුරට ආරක්ෂා කර දිය යුතුව ඇති බැවින් සංරක්ෂණය පළමු කාර්යය ලෙස සිතා කටයුතු කළ යුතු බවයි. වන ජීවී ඡායාරූපකරණය කරන්නත් වන සතුන් ඉන්න ඕන, පරිසරය තියෙන්න ඕන නිසා සියලුම දෙනා වන සතුන් හා පරිසරය, වනෝද්‍යාන ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවද මදාරා අපගේ මෙවර ” Wildlife-Eye” විශේෂාංගය වර්ණවත් කරමින් පවසන්නීය.

කතාබහ –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
මදාරා හේමචන්ද්‍ර1

  1. ↩︎
advertistmentadvertistment
advertistmentadvertistment