හොරුන්ට වෙඩි තියන්න ගිහින් ටෙක්සාස් පොලිසියෙන් වෙඩි කෑ ශ්‍රී ලංකාවේ රාජන්

742

තුවක්කු බිම තියන්නවත් වේලාවක් දීලා නැහැ….

රාජන් මුණසිංහ ව්‍යාපාරිකයෙකි. වයස අවුරුදු තිස්තුනකි. ශ්‍රී ලාංකිකයකු වන මොහු කලක සිට ඇමරිකාවේ පදිංචි වී සිටී. ඔහුගේ දෙමව්පියන් සහ සහෝදරයන් ද ඔහුගේ නිවස ආසන්නයේම පදිංචි වී සිටිති. ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි රාජන් ආපන ශාලා සඳහා ව්‍යාපාරික උපදේශන සේවා සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. එම ව්‍යාපාරය හරහා එරට සිටින ශ්‍රී ලාංකිකයන් අතර ද මොහු ජනප්‍රිය චරිතයකි.

පසුගිය මස දොළොස් වැනිදා ඔහු නිවසින් බැහැරව යන්නේ දින තුනක විනෝද චාරිකාවකටයි. එලෙස යන ඔහු යළි නිවසට පැමිණෙන්නේ පහළොස් වැනිදා අළුයම් කාලයේ දීය. එලෙස පැමිණි පසු නිවෙස තුළ එක් පුද්ගලයකු හෝ ඊට වැඩි පිරිසක් සිටින බවට ඔහුට වැටහුණි. ඒ අනුව අසල්වැසියන්ගෙන්ද “තමන්ගේ නිවස තුළට කවුරුන් හෝ ඇතුළු වනවා දුටුවාදැයි” ඔහු විමසුවේය. එහෙත් ඔවුන්ගේ පිළිතුර වූයේ “නැත” යන්නයි.

රාජන් යළිත් තම නිවස දෙස විපරම් කර බැලුවේය. එවිටත් ඔහුට හැඟී ගියේ කවුරුන් හෝ නිවස තුළ සිටින බවයි. එමනිසා නිවස තුළට ඇතුළුවීම මගහැර ඔහු ආසන්නයේ පිහිටි තම මවගේ නිවස වෙත ගියේය. එලෙස ගිය ඔහු තම සොයුරා සතු රයිපල් තුවක්කුවත් රැගෙන යළි තම නිවස වෙත පැමිණියේය.

ආවේගශීලීව යළි පැමිණි ඔහු තම නිවස දෙසට වෙඩි කීපයක් තැබීය. එලෙස වෙඩි තබනු දුටු අසල්වැසියෙක් බියට පත්වී ටෙක්සාස් පොලිසියේ හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙම සිද්ධිය පැමිණිලි කළේය. පැමිණිල්ලට අනුව ක්ෂණයකින් පොලිසිය ගේ දොරකඩට පැමිණියේය.

ඇමරිකන් පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය මෙන් නොව ඉතා කාර්යක්ෂමව වැඩ කටයුතු සිදුකරයි.

හොරුන්ට වෙඩි තියන්න ගිහින් ටෙක්සාස් පොලිසියෙන් වෙඩි කෑ ශ්‍රී ලංකාවේ රාජන්
රාජන්ට වෙඩි තැබූ ඩැනියෙල් සැන්චෙස් රාළහාමි

ශ්‍රී ලංකා පොලිසියේ හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දුන්නොත් පොලිසිය බොහෝවිට එන්නේ පැය කිහිපයකට පසුවයි. එලෙස පැමිණෙන විට අපරාධය සිදුකර අපරාධකරුවන්ට නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පැන යෑමට හැකිය. එක අතකින් බලන කල එය පොලිසියේ වරද නොව රස්සාවේ තිබෙන දුප්පත්කමයි. අපේ සමහර පොලිසිවලට පොලිස් කාර් තියා හරිහැටි පොලිස් බයික් එකක්වත් නැත. හදිසි ගමනක් යෑමට වුවමනා වූ විට පොලිස් රාළහාමිලාට බස් වල පුට්බෝඩ් වල පවා එල්ලී යෑමට සිදුවේ.

නැවතත් අපි ටෙක්සාස් සිද්ධිය දෙසට හැරෙමු. ටෙක්සාස් පොලිසියේ හදිසි ඇමතුම් රථය පැමිණි වහාම එයින් එළියට ආ සන්නද්ධ රාළහාමිලා දෙන්නෙක් රාජන් දෙසට තුවක්කුව එල්ල කර ඔහු අත තිබූ තුවක්කුව වහාම බිම දමන ලෙසට අණ කළේය. එලෙස අණ කරනවාත් සමඟම එක රාළහාමි කෙනෙක් රාජන්ට වෙඩි පිට වෙඩි තැබුවේය. තව තත්පර කීපයක් කල් දුන්නේ නම් රාජන් තුවක්කුව බිම දමන නමුදු ඩැනියෙල් සැන්චෙස් නමැති ඒ රාළහාමි එයට ඉඩ නොදී දිගටම වෙඩි තැබුවේය. එම වෙඩි ප්‍රහාර හමුවේ රාජන් කපා හෙලූ කෙසෙල් කඳක් මෙන් මැරී වැටුණේය. ඉන් පසු ඒ පිළිබඳව ටෙක්සාස් පොලිසිය පරීක්ෂණ පැවැත්වූ අතර වෙඩි තැබූ ඩැනියෙල් සැන්චෙස්ව පරීක්ෂණ අවසන් වන තුරු අනිවාර්ය නිවාඩු යවා තිබුණි.

රාප්න්ගේ මව සහ සහෝදරයා චොදනා එල්ල කරනුයේ ටෙක්සාස් පොලිසිය වෙතටයි. ඔවුන් පවසන්නේ එම පොලිස් නිලධාරීන් රාජන්ගේ ගිනි අවිය බිම තැබීමටවත් ඉඩ ලබා නොදී ඉතා කුරිරු ලෙස වෙඩි තබා ඝාතනය කළ බවයි. තවත් පුදුමය දනවන කරුණ වන්නේ මෙම සිද්ධිය සිදු වන්නේ පසුගිය මස 15 වැනි දාය. එහෙත් ලෝකයම මේ පිළිබඳව දැන ගන්නේ දැනට දින කිහිපයකට ඉහතදීය. ඇමරිකානු පොලිසිය ඒ තරම් සූක්ෂම ලෙස මෙම සිද්ධිය යටපත් කරදැමීමට උත්සාහ කළේය.

රාජන්ට වෙඩි තැබූ ඩැනියෙල් සැන්චෙස් යනු සුදු ජාතික නාමයක් නොවේ. මේ ලතින් ඇමරිකානු හෙවත් මැක්සිකානු නමකි. ටෙක්සාස් ප්‍රාන්තයේ අල්ලපු රටේ මැක්සිකෝව වන නිසා එහි සිටින ජනතාවගෙන් සෑහෙන පිරිසක් මේ වනවිට මැක්සිකානු පුරවැසියන් බවට පත්ව සිටිති. ලතීනෝවරුන් ලෙස ඇමෙරිකානුවන් විසින් හඳුන්වනු ලබන මේ කියන මැක්සිකානු ජාතිකයන්ට ශ්‍රී ලාංකිකයන් කියන්නේ මැක්කන් කියාය. ලතින් ඇමෙරිකානුවෝ කළු ජාතිකයන් මෙන් දැඩි ගති ගුණ ඇති මිනිසුන්ය. මේ නිසා ටෙක්සාස් ප්‍රාන්තය තුළ අපරාධ බහුල වෙයි. එම අපරාධකරුවන් මැඬීම සඳහා ටෙක්සාස් පොලිසිය ඉතා දරුණු ලෙස තුවක්කු පවා පාවිච්චි කරයි.

හොරුන්ට වෙඩි තියන්න ගිහින් ටෙක්සාස් පොලිසියෙන් වෙඩි කෑ ශ්‍රී ලංකාවේ රාජන්
රාජන් තම නිවස දෙසට වෙඩි තැබීමට සූදානම් වන අයුරු

ඇමරිකානු පොලිසිය යනු ලෝකයේ තිබෙන චර්යාත්මක එහෙත් දරුණුම පොලිසියකි. ඔවුන් මිනී මරන්නේ චර්යාත්මක ලෙසය. 2020 මැයි 25 දා ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ දී 46 හැවිරිදි කළු ජාතිකයෙකු හොර සල්ලි මාරු කිරීමේ චෝදනාවක් යටතේ ඇමරිකානු පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුගේ නම ජෝර්ජ් ෆ්ලොයිඩ්ය. ඔහුගේ අත් පිටුපසට කොට මාංචු දැමූ සුදු ජාතික පොලිස් නිලධාරියෙක් පොලිස් රථයට සමාන්තරව එම කළු මිනිසා දිගාකර සිය දණහිසෙන් ඔහුගේ ගෙල තදකොට මරා දැමීය. මේ ඝාතනය සඳහා විනාඩි නවයක් ගත විය. මේ සිද්ධියෙන් පසු මිනෙසෝටා ප්‍රාන්තය පුරා වර්ණ භේද වාදී කෝලාහල පටන් ගත්තේය. පසුව ඇමරිකන් පොලිසිය විසින් මිනීමැරු සුදු පොලිස්කාරයා අත්අඩංගුවට ගෙන අවුරුදු විසි දෙක හමාරකට හිරේ දැමීය.

අමෙරිකානු පොලිසියේ ක්‍රියාකාරකම්වලට ඒ රටේ ආණ්ඩුවේ ඉහළ ධුරාවලිය වෙතින් විශාල විරෝධයක් පැන නැගී ඇත. අන්තර්ජාලය පිරික්සන විට පෙනී යන්නේ ඇමරිකාව පුරා පොලිසිය ඇතුළු මහජන ආරක්ෂක ඒජන්සි 18000 තිබෙන බවයි. මේ ආයතන 18000 මගින් සිදුකරන මිනීමැරුම් ගැන මධ්‍යම රජය වෙත තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කරය. මේ තොරතුරු ලබා ලබා ගැනීමට හැකිවන පරිදි වසර 2006 දී පනතක් සම්මත කරන ලදී. එහෙත් ඉන් වැඩක් වුණේ නැත.

එසේ වුවද දැනට ලැබී තිබෙන අසම්පූර්ණ දත්ත මගින් හෙළිවන පරිදි 2019 දී ඇමරිකානු පොලිසිය විසින් පුද්ගලයන් 1004ක් වෙඩි තබා මරා දමා ඇත. වසර 2020 දී මෙසේ මරණ ලද සිවිල් වැසියන් ගණන 1021කි. 1980 සිට 2018 දක්වා ඇමරිකානු පොලිසියෙන් වෙඩි කා 30000 ක් මියගොස් ඇති බව හෙළිව තිබේ. police Brutality in the United States යන වාක්‍ය අන්තර්ජාලයේ ටයිප් කළ විට මේ පිළිබඳ සියලු තොරතුරු සොයාගත හැක.

ඇමෙරිකාව ලෝකයේ හොඳම පොලිසිය බවට මතයක් එක්දහස් නවසිය අසූ ගණන්වලදී පැවැතිණි. එහෙත් ඒ හොඳ නම මේ වන වනවිට විනාශ වී තිබේ. සුදු පොලිස් කාරයන් විසින් කළු ජාතික තරුණයන් අත්අඩංගුවට ගෙන දස වධ දෙන අවස්ථා තිබේ. ඇතැම් අවස්ථාවලදී ජීප් රථයට පටවා ගන්නා තරුණයන්ගේ රහස් ප්‍රදේශ මිරිකා විනාශ කිරීම ඇමරිකානු පොලිසිය සිදු කරයි. නිව්යෝර්ක් සහ කැලිෆෝනියා නගරවල සිටින ඇතැම් පොලිස්කාරයෝ පගාමාරයෝය. ඩොලර් විස්සේ සිට ඉහළට පගා ගෙවීමෙන් නීතියෙන් ගැලවීමට වැරදිකරුවන්ට පුළුවන.

රාජන් මුණසිංහට වෙඩි තැබූ සැන්චෙස් රාළහාමි මේ වන විටත් අනිවාර්ය නිවාඩු යවා තිබේ. ඔහුද ඇමරිකාවේ හිරගෙයක් තුළ අවුරුදු 20ට වැඩි දඬුවමක් කෑමට නියමිතය. ඇමරිකාවේ පොලිසිය දූෂිත වුවද අධිකරණය දූෂිත නැත. ඒ නිසා පොලිසියට වේවා දේශපාලන බලවතාට වේවා උපරිම දඬුවම් දීමට ඒ රටේ අධිකරණ පද්ධති සූදානමින් සිටී. රාජන් මුණසිංහට වෙඩි තැබූ පොලිස් රාළහාමි හිරේ යනවාට වඩා විදුලි පුටුවට යනවාට ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව කැමති වනු ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment