“බොක්සිං” ගැන කතා නැති බොක්සිං ඩේ (දවස අදයි)

341

දෙසැම්බර් 25 වැනිදා නත්තල් දිනය වන අතර 26 වැනිදා බටහිර රටවල දින දර්ශනවල සඳහන් වන්නේ ‘‘බොක්සිං දිනය’’ (Boxing Day) යනුවෙනි. ‘‘බොක්සිං’’ කියන කොටම මතක් වෙන්නේ බොක්සිං කී‍්‍රඩාවත් එහි ඉහළම තලයක සිටි මොහොමඞ් අලී නම් කී‍්‍රඩකයා ය. එහෙම නැත්නම් රොකී චිත‍්‍රපට මාලාවේ ප‍්‍රධාන චරිතය වූ බොක්සිං කී‍්‍රඩක රොකී බල්බෝවා ය. එහෙමත් නැත්නම් නත්තල් දිනයේ හොඳට කාබී විනෝද වී පසුදින ඇඟේ අමාරු යන්නත් එක්ක ගුස්ති අල්ලන මිනිසුන්ගේ දිනයක් යැයි යනුවෙන් සිතෙන කාරණයයි. එහෙත් මේ බොක්සිං දිනය මේ එකකටවත් කිසිසේත්ම සම්බන්ධ නැත.

මෙම දිනය පිළිබඳ කතාන්දර යුරෝපයේ මධ්‍යතන යුගය දක්වා දිවයයි. මෙම කාලයේදී කි‍්‍රස්තියානි පල්ලිවල දාන පෙට්ටියක් තබා තිබුණි. දුප්පත් ජනතාවට බෙදා දීම සඳහා මුදල් එකතු කරනු ලබන මෙම පෙට්ටිය පල්ලියේ නාර්තෙක්ස් Narthex නම් ස්ථානයේ තබා තිබුණි. මෙම ස්ථානය මුල් කි‍්‍රස්තියානි පල්ලිවල ශාලාව නමින් හඳුන්වයි. එය පල්ලියේ බටහිර කෙළවරේ පිහිටි පල්ලියෙන් පිටත ආලින්දයයි. මුල් කි‍්‍රස්තියානි යුගයේ චාරිත‍්‍රයකින් පල්ලිවල තැබූ දාන පෙට්ටිය, ශාන්ත ස්ටීවන් තුමාගේ (Saint Stephen) මංගල්‍යයට වෙන්වූ විශේෂ පූජාවන් සඳහා එකතු කරන ලද මුදල් බහාලන එකකි. නත්තල් පෙට්ටිය යනුවෙන්ද මෙය හඳුන්වයි. එහි තිබූ දෑ දුප්පත් මිනිසුන්ට බෙදාදීම සිරිතක් වශයෙන් සිදුකරන ලදී. ‘‘නත්තල් පෙට්ටිය’’ යන යෙදුම ද 17 වන සියවස දක්වා දිවයයි.

"බොක්සිං" ගැන කතා නැති බොක්සිං ඩේ (දවස අදයි)

‘‘බි‍්‍රතාන්‍ය වෙළෙන්දන්ගේ සිරිතක් වූයේ නත්තලෙන් පසු පළමු සතියේ දින සිට වෙළෙඳ හලේ තබා තිබූ ලොකු පෙට්ටියකට වසර පුරාම තෑගි භාණ්ඩ හා මුදල් එකතු කිරීමය. වසර පුරාම කරන ලද යහපත් සේවයට ස්තුති කිරීමට තම වෙළෙඳ හලේ සේවකයන්ට එම තෑගි හා මුදල් වෙනත් කුඩා පෙට්ටිවල දමා තෑගි දීම දෙසැම්බර් 26 වැනිදා සිදු කරන ලදී.’’ මෙය 1663 දෙසැම්බර් 19 දින ‘‘සැමුවෙල් පෙපිස්’’ ගේ දින පොත සටහනක සඳහන් වේ. සැමුවෙල් පෙපිස් යනු බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ පරිපාලන නිලධාරියෙකි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකි. ඔහුගේ තරුණ වියේදී දශකයක් තිස්සේ (1660 සිට 1669 දක්වා) තබාගත් දිනපොත සවිස්තරාත්මක ඉතිහාසගත විස්තර ඇතුළත් දින පොතකි. 19 වන සියවසේදී එය ප‍්‍රකාශයට පත් කරන ලදී. මෙම තෑගි දීමේ චාරිත‍්‍රය පැරණි බි‍්‍රතාන්‍ය සාම්ප‍්‍රදායට සම්බන්ධ වී ඇති අතර එහිදී ධනවතුන්ගේ සේවකයන්ට නත්තලට පසුදා ඔවුන්ගේ පවුල් බැලීමට යෑමට අවසර ලබාදී ඇති අතර, නත්තල් දිනයේදී ඔවුන් ස්වාමිවරුන්ට සේවය කරන අතර හාම්පුතුන් සෑම සේවකයකුටම තෑගි – බෝනස් මුදල් සහ සමහරවිට ඉතිරි වූ ආහාර ද අඩංගු පෙට්ටියක් ගෙදර ගෙන යෑමට තෑගි දීම සිරිතක් කරගෙන තිබුණි.

මෑත කාලය වනතුරුත් කසළ ශෝධකයන් සහ අනෙකුත් කුලීකරුවන් බෝක්සිං දින දා තමුන්ගෙන් සේවය ලබා ගන්නා නිවෙස් වෙත තෑගි භෝග ලබා ගැනීම සඳහා යෑමට පුරුදු වී සිටියා ය. ඒ යනවිට ඔවුන් ඒවා දමා ගැනීමට පෙට්ටියක් ගෙන ගිය අතර එසේ එම තෑගි පෙට්ටිය ගෙනගිය දිනය දෙසැම්බර් 26 වැනි දිනය වූ අතර එය Boxing Day (Box + in – Day = Boxing Day) වශයෙන් හැඳින්වීමට පටන් ගත්තේය.

දිළින්දන්ට පරිත්‍යාග කිරීමට පල්ලිවල තබන පෙට්ටිය රතු මැටියෙන් සාදා තැබීමට නෙදර්ලන්ත වාසීන් පුරුදු වී සිටියා ය. ඒවා ඌරන් වැනි හැඩයට සාදන ලද ඒවා විය. මේවා ‘‘පිග්ගී බෑන්ක්’’ (Piggy Bank)) වචනයෙන් හඳුන්වනු ලබන අතර වර්තමානයේදී ද කුඩා ළමයින්ට නිවසේදී මුදල් එකතු කිරීමට මේ ඌරු රුව සහිත කැට බැංකු මගින් ලබා දෙයි.

දෙවැනි ලෝක යුද්ධයට පෙර වැඩ කරන ජනයා පොදු ප‍්‍රවාහන සේවා ස්ථානවලට පැමිණ ඔවුන්ගේ නත්තල් පෙට්ටියට තෑගි හෝ මුදල් එකතු කිරීම සාමාන්‍ය සිදුවීමක් විය. ඔවුන් එය කළේ දෙසැම්බර් 26 වැනිදාය. මෙය දැනට සම්පූර්ණයෙන්ම නතර වී තිබුණ ද තැපැල් සේවකයන් හා පුවත්පත් බෙදාහරින තරුණ ළමයින්ට බොක්සිං දිනය දා ත්‍යාග ලබාදීම තවමත් සිදු කෙරේ.

"බොක්සිං" ගැන කතා නැති බොක්සිං ඩේ (දවස අදයි)

බි‍්‍රතාන්‍යයේ බොක්සිං දිනය බැංකු නිවාඩු දිනයකි. වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ 1871 සිට මෙය බලපැවැත්වේ. දෙසැම්බර් 26 සෙනසුරාදා නම් ඊළඟ සඳුදා නිවාඩු දිනයක් වේ. එහෙත්් බොක්සිං දිනය දෙසැම්බර් 26 වැනිදාම ය. ස්කොට්ලන්තයේ 1971 සිට බැංකු හා මූල්‍ය ගනුදෙනු පනත යටතේ දෙසැම්බර් 26 බොක්සිං දිනය අතිරේක බැංකු නිවාඩු දිනයකි. 1997 දී හොංකොං දිවයින බි‍්‍රතාන්‍යයෙන් චීනයට මාරු වුව ද දෙසැම්බර් 26 බොක්සිං දිනය ජාතික නිවාඩු දිනයකි. 18 වැනි ශත වර්ෂයේදී බි‍්‍රතාන්‍ය පාලන සමයේදී බර්මුඩාවේ පිටිසරබද ප‍්‍රදේශවල වහලූන්ට එකතු වීමට ඉඩදී දෙසැම්බර් 26 වැනිදා ඔවුන්ගේ ‘‘ගම්බි නර්තනයන්’’ (Gambey Dancers) පැවැත්වීමට නිදහස වී තිබේ.

මේ අතර බොක්සිං දිනය දා විනෝද වීමට මෙන්ම කී‍්‍රඩා තරග පැවැත්වීමට ද කාලය වෙන්කර ඇත. ඔස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ මෙදින ටෙස්ට් කි‍්‍රකට් තරග පවත්වයි. බි‍්‍රතාන්‍යයේ Cheltenham Gold Cup ක්‍මච තරගයෙන් පසුව දෙවැනි විශාලම අශ්ව රේස් තරග පවත්වන අවසාන දිනය වන්නේ බොක්සිං දිනයදා ය. බාබඩෝස්හිදී අශ්ව රේස් තරගවල අවසාන දිනය මෙදින වන අතර ඒවා යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඓතිහාසික ගැරිසන් සවානා (Garrison Savannah) හිදී පවත්වයි. මෙම සාම්ප‍්‍රදායන් පැරණි බි‍්‍රතාන්‍යය යටත් විජිත යුගයේ සිට මේ දක්වාම පැවැත එයි.

අයිස් හොකි තරග කිහිපයක් ද මෙදිනට සම්බන්ධ වේ. IIHF World U20 Championship තරගාවලිය දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වන්නේ ස්විට්සර්ලන්තයෙනි. Spengler Cup තරගාවලියත් HC Davos තරගත් කැනඩාව හා අනෙක් යුරෝපීය අයිස් හොකී කණ්ඩායම් අතර තරගත් මෙදින පැවැත්වේ. මේ අතර පාපන්දු කණ්ඩායම් තරග ද මෙදින බි‍්‍රතාන්‍යයේ පැවැත්වේ.

සමහර අපි‍්‍රකානු රටවල, විශේෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් වන ඝානාව, උගණ්ඩාව, මලාවි, සැම්බියාව සහ ටැන්සානියාව යන රටවල වෘත්තීය බොක් සිං තරග මෙදින පැවැත්වේ.

අයර්ලන්තය සහ තවත් රටවල් කිහිපයක් දෙසැම්බර් 26 වැනිදා හඳුන්වන්නේ ‘‘ශාන්ත ස්ටීවන්ගේ දිනය’’ ලෙසයි. (Saint Stephen Day) (ශාන්ත ස්තේපන් ශාන්ත ස්ටීවන් ලෙස ද හඳුන්වයි) ශාන්ත ස්ටීවන් ගේ උපත සිදුවී ඇත්තේ කී‍්‍ර.ව. 5 වන වසරේදීය. පල්ලියෙන් දුප්පතුන් පිරිසට ආහාර හා පුණ්‍යාධාර ලබාදීම පිණිස අපෝස්තල්තුමා විසින් (Apostles – අපෝස්තල් යනු රටක පුරෝගාමී කි‍්‍රස්තියානි ධර්ම දූතයාව හඳුන්වන නමයි) මුල්වරට පත්කරන ලද උපස්ථායකයන් හත් දෙනාගෙන් එක් අයෙකි. ශාන්ත ස්ටීවන්. ඔතඩොක්ස් ආගමට අනුව ඔහු වැඩිමලා විය. එබැවින් ඔහු අධිපතියා ලෙස ද හඳුන්වා ඇත.

ස්ටීවන් ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ඇති අතර ජනයා අතර ප‍්‍රාතිහාර්ය ද සිදු කර ඇත. ඔහු තම ඉගැන්වීම්වලින් අරුම පුදුම දේ කර ඇත. මේ අතර යුදෙව්වන්ගේ සිනිගෝගවල (Synagogue – සිනගෝගය යනු ආගමික කාර්යයන් සඳහා යුදෙව්වන් රැස්වෙන ශාලාවට කියන නමයි) සාමාජිකයන් ස්ටීවන්ගේ ඉගැන්වීම්වලට අභියෝග කර තිබුණ ද ස්ටීවන් ඔවුන් සමග විවාදයකට ගියේ නැත. ස්ටීවන් මෝසස්ට හා දෙවියන් වහන්සේට විරුද්ධව අපහාස දේශනා කළ බවට බොරු සාක්ෂි හදා ඔහුව සැන්හෙඩි‍්‍රනය (Sanhedrin) වෙත ඇදගෙන ගියේය. (සැන්හෙඩි‍්‍රනය යනු පුරාණ ඊශ‍්‍රායෙල් දේශයේ සෑම නගරයකම තිබූ විනිශ්චය සභාවකි. මහා සැන්හෙඩි‍්‍රනය හා කුඩා සැන්හෙඩි‍්‍රනය යනුවෙන් හඳුන්වනු ලැබූ මේවා රබ්බියානු යුදෙව් උසාවි පන්ති දෙකකි) ස්ටීවන් කලබල නොවූ අතර එවිට ඔහුගේ මුහුණ දේවදූතයකුගේ මුහුණකට සමාන විය. නඩුවේදී නැඟී සිටි ස්ටීවන් ‘‘බලන්න ස්වර්ගය විවෘතව තිබෙන අතර මනුෂ්‍ය පුත‍්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි සිටියි.’’ යනුවෙන් මහ හඬින් ප‍්‍රකාශ කර සිටියේය. මෑතදී ඝාතනය කෙරුණු යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ පැත්තේ සිටින බව ද ස්ටීවන් පැවසීය. යුදෙව්වරු කෑ ගසමින් ඔහු වෙතට ගොස් ඔහුව නගරයෙන් පිටතට රැගෙන ගොස් ගල්ගසා මරා දැමීය. ස්ටීවන් ගල්ගසා මරා දමන ලද ස්ථානය නිශ්චත වශයෙන් පොත පතෙහි සඳහන් නොවන අතර එය පැරණි ජෙරුසලමේ උතුරු දොරටුව අසල බව සනිටුහන් කර එතැන දෙසැම්බර් 26 වැනිදා එතුමා සිහිකර උත්සව පවත්වනු ලැබේ. ශාන්තුවරයකු බවට පත්වී ඇති මේ ශාන්ත ස්ටීවන්තුමාව හඳුන්වන්නේ ‘‘මුල්ම දිවි පුදන්නා’’ යන නමිනි. නැෙඟනහිර ඔතඩොක්ස් සභාව, නැෙඟනහිර කතෝලික පල්ලි සහ පෙරදිග ඔතඩොක්ස් සභාවල් ශාන්ත ස්ටීවන් නොහොත් ශාන්ත ස්තේපන් මංගල්‍යය දිනය දෙසැම්බර් 27 වැනිදාට සමරනු ලැබේ. ආමේනියානු අපෝස්තලික හා ආමේනියානු කතෝලික දේවස්ථානවලදී ශාන්ත ස්ටීවන් දිනය දෙසැම්බර් 25 වැනිදා සමරයි. එසේ වුව ද බොහෝ කතෝලික බැතිමතුන් ශාන්ත ස්ටීවන් දිනය දෙසැම්බර් 26 වැනිදා සමරන්නේ එදිනට නම් කර ඇති බොක්සිං දිනයට සමගාමීවය. ඒ පුණ්‍යාධාර බෙදාදීමට මුල්වූ එතුමාව සිහිපත් කිරීම සඳහාය.

"බොක්සිං" ගැන කතා නැති බොක්සිං ඩේ (දවස අදයි)

බි‍්‍රතාන්‍යය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, ටි‍්‍රනිඩෑඞ් සහ ටොබැගෝ සහ නවසීලන්තය බොක් සිං දිනය ප‍්‍රධාන වශයෙන් සාප්පු සවාරි නිවාඩු දිනයක් ලෙස හැඳින්වේ. බොක්සිං දින අලෙවිය සාමාන්‍ය දෙයක් වන අතර සාප්පු බොහෝවිට මිල අඩු කිරීම් කරයි. බොහෝ වෙළෙන්දන්ට බොක් සිං දිනය විශාලතම ආදායමක් ලබා ගන්නා වසරේ දිනය වේ. බොහෝ සිල්ලර වෙළෙන්දෝ උදේ 5 ට හෝ ඊටත් පෙර තම සාප්පු විවෘත කරන අතර මිනිසුන් තම වෙළඳසැල් වෙත ඇදගැනීමට භාණ්ඩවල මිල බොහෝ අඩු කරන අතර භාණ්ඩ ලබා ගන්නා අයගේ බිල්පත් සඳහා තෑගි දීමේ ක‍්‍රමයක් හෝ භාණ්ඩ වැඩි වැඩියෙන් ලබාගන්නා අයට තවත් භාණ්ඩයක් නොමිලේ දීමේ ක‍්‍රමයන් ද භාවිත කරයි. මෙදින උදේ සිටම විශාල දිගු පෝලිම් දැකීමට හැකි අතර පාරිභෝගිකයන් භාණ්ඩ රැගෙන යන අයුරු රූපවාහිනී මාධ්‍ය මගින් ද සජීවීව විකාශය කරනු ලබයි.

රුවන් තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment