දුම්රිය වර්ජනය නවතියි

50

දුම්වැටියක් හේතුවෙන් ඇති වූ පහරදීමක් මුල් කරගනිමින් පෙරේදා (04 දා) දහවල් දුම්රිය උප නියාමකවරුන් විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (05 දා) රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කෙරිණි.

ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වූ උප නියාමකවරුන් නැවත ඊයේ දහවල් වන විට සේවයට පැමිණෙමින් සිටි අතර ඊයේ සවස් වන විට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වූ බව දුම්රිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

කෙසේ වෙතත් දුම්රිය අංගනයට ඇතුළු වීමේදී පහරකෑමට ලක්වූ උප නියාමකවරයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුට දුම්රිය ආරක්ෂක පිරිසක් විසින් බිම දමා වටකර ගෙන පහර දී ඇතැයි දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ. ඩී. ඩී. ප්‍රසාද් මහතා ‘දිවයින‘ට කීය.

වර්ජනයට මුල් වූ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත ඊයේ පැවැති සාකච්ඡාවකදී උපදෙස් දී ඇති අතර නියාමකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නැයි ද උපදෙස් දී තිබේ.

ඒ අනුව සිද්ධිය ගැන පරීක්ෂා කිරීමට ඊයේ දහවල් වන විට ප්‍රවාහන අධිකාරී, ධාවන බල උප දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී සහ ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානි යන නිලධාරීන්ගෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ද ලබා ගෙන තිබිණ. මෙම වැඩවර්ජනය හේතුවෙන් පෙරේදා දින දුම්රිය ගමන් වාර 78කට වැඩි ප්‍රමාණයක් අවලංගු වූ අතර ඊයේ පෙරවරුවේ ද ගමන් වාර 28කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබිණ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment