බේරුවල අසරණ පවුලක් ජීවත් වූ නිවසක් ගිනිගනී

79

දරුවන්ගේ පොත්පත් විනාශ වෙයි
අසරණයින්ට ඔබේ උපකාර ඕනෑ

බේරුවල බඳනාගොඩ ඉතා අසරණ දුප්පත් පවුලක් ජීවත්වන නිවසක පෙරේදා (06දා) ඇති වූ ගින්නකින් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකුගේ පොත් පත් විනාශ වී නිවසක කොටසකට හානි සිදුව ඇති බව බේරුවල පොලිසිය පවසයි.

බේරුවල අසරණ පවුලක් ජීවත් වූ නිවසක් ගිනිගනී

අංක 750 ඒ, බඳනාගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි බෝට්ටුවක මුර රැකියාවක නිරත නිශාන්ත කුමාර මහතාගේ නිවසෙහි ගින්න හටගෙන ඇති බව සඳහන් වේ.

නිවසේ සියලු දෙනා රාත්‍රි 7.00 ට පමණ රූපවාහිනි නැරඹීම සඳහා අසල නිවසකට ගොස් සිටියදී මෙම නිවසෙහි ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කර ඇතත්, දරු දෙදෙනෙකුගේ පොත්පත්, බෑග් සහ සපත්තු සියල්ල ගින්නෙන් විනාශ වී ඇත.

වැඩිමහල් දරුවා බඳනාගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටින බවත්, ඇය පංතියේ පළවෙනි ස්ථානය ලබා ගන්නා සිසුවියක බවත් සඳහන් වේ.

ශිෂ්‍යත්ව විභාගයට පාඩම් කිරීමට තිබූ ප්‍රශ්න පත්‍ර කට්ටල, පොත්පත් සියල්ලම දැවී අළුවී ඇති අතර, පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල දරුවාගේ පොත් පත් සියල්ලද ගින්නෙන් විනාශ වී තිබේ.

නිවස ද රජයෙන් ලද ඉඩමක ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ඉදිකර ඇති කටුමැටි ගැසූ නිවසක් බවත් පැවසේ.

මේ වනවිට 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවා දැඩි මානසික පීඩනයකින් සිටින බවත් ඇයට අවශ්‍ය පොත්පත් ටික ලබා දෙන්නේ නම් එය මහත් රුකුලක් බවත් දෙමාපියන් සඳහන් කර සිටී.

එම අසරණ පවුලට උදව් උපකාර කිරීමට කැමති අයෙක් වේනම් නිශාන්ත කුමාර මහතාගේ අංක 076-0907029 ට අමතන මෙන්ද ඔවුන් ඉල්ලා සිටී.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment