හෙළ බසට හා සංස්කෘතියට අනභිභවනීය සේවයක් කළ සර් ඩී.බී. අසමසම ජාතික වීරයෙක්

31

අගමැති දිනේෂ් ගුණවර්ධන

ලොව විවිධ ජාතීන් සමග අද අපට එකමුතුව ජීවත්වීමට හැකිවී ඇත්තේ ඩී. බී. ජයතිලක මහතා එදා ඇතිකළ ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා නිසා යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසූවේ කැලණිය, වරාගොඩදී ඉකුත් 13 වැනිදා පැවැති ජාතික වීරවර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජාතික වීරවර ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක එකසිය පනස් හයවෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඒ මහතා උපන් කැලණිය, වරාගොඩ පෙදෙසේ ඉදිකළ මෙම පිළිරුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිරාවරණය කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීවේය.

ජාතියක පැවැත්මට භාෂාව මෙන්ම සංස්කෘතිය, ආගමික ලැදියාවන් මෙන්ම අපේ මුතුන් මිත්තන් ඒ ඒ කාලපරිච්ඡේදයන් වල ඇති කළ සදාකාලික නිර්මාණයන් දායක වෙනවා. ජාතියේ පැවැත්ම සිදුවන්නේ ඒවා ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනයාම තුළින්. ඩී.බී. ජයතිලක මැතිතුමා උපන් බිමට එවැනි මග පෙන්වීමක් කළ අසමසම ජාතික වීරවරයෙක්.

සිංහල බසට, සංස්කෘතික බසට, බුදු දහමට එතුමාගෙන් අනගිභවනීය සේවයක් සිදුවුණා. ඒ දායාදයන් පරම්පරාවෙන් පරම්පරාවට පවතින දෙයක් බවට පරිවර්තනය කරන්නට එතුමා කටයුතු කළා. අපේ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භයේ සිට එය ගොඩනැගීමට නායකත්වය දුන් මහා සඟරුවනට ඉතාම හිතාදර විශ්වාසනීය දායකයා බවට පත්වුණේ එතුමායි. තමන් සතු දැනුම වර්ධනය කර ගැනීමෙන් පමණක් නොනැවතී තම දැනුම තවත් දරු පරපුරක් වෙනුවෙන් ලබා දීමේ මහා පින්කමට ඩී. බී. ජයතිලක මැතිතුමා පුරෝගාමියෙක් වුණා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදයේ වගකීමට නායකත්වය දුන් එතුමා විසින් බෞද්ධ විද්‍යාල අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන ලෙස පදනම සකස් කළා. කොළඹ ආනන්දය, මහනුවර ධර්මරාජය හා තවත් විද්‍යාල රාශියක අඛණ්ඩ පැවැත්මට අවැසි වැඩපිළිවෙළක් සකස් කළා.

නිදහස් සටනට උරදුන් ජාතික සංගමයේ පළවෙනි සභාපතිවරයාත්, පරම විඥ්ඤානාර්ථ සංගමයේ පළවෙනි ක්‍රියාකාරී නායකයාත් එතුමායි. එමගින් බෞද්ධ පාසල් විශාල ගණනක් ඇරඹුණා. ඒ කාලේ ගොඩනැගිලි තිබුණේ නැහැ. අපේ ගැමි නායකයෝ පරිත්‍යාග කළ තමන්ගේ ඉඩම්වල, කණු සිටවා සකස්කළ මඩුවල, පොල් අතු වහලයක් යට තමයි පාසල් ඇරඹුණේ. ඒ විදියට බෞද්ධ අධ්‍යාපනය ගොඩනගපු නිසා අපේ රට විශාල ඉදිරියකට පරිවර්තනය කළ හැකි ඥානවන්තයින් බිහිවුණා. බි්‍රතාන්‍ය පාලන කාලයේදී ඒ පරිවර්තනය කරන්නට එතුමා දුන් මග පෙන්වීම හා කළ කැපවීම සුවිශේෂයි.

අදත් ඔප්පු නැති මිනිස්සු ඉන්නවා. ලංකාවේ පාර්ලිමේන්තු කීයක් මේ ප්‍රශ්නයට විසඳුමක් දුන්නේ නැද්ද. මේ මහා පරිත්‍යාගය නැමැති පුණ්‍ය කර්මය බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බැරි වුණා. ශ්‍රී ලංකාවේ ගැමි ජනතා නායකයන් ඒ පරිත්‍යාග කළේ අනාගත රටේ නායකයන් ගොඩනැගීම වෙනුවෙන්. රටේ පැවැත්ම වෙනුවෙන් හා ශාසනයේ පැවැත්ම වෙනුවෙන්.

සිංහල භාෂාව, සංස්කෘතික බස ඇතුළු භාෂා රාශියකට පුදුමාකාර නිපුණත්වයක් ඩී. බී. ජයතිලක මැතිතුමාට තිබුණ බව අප අසා, කියවා තිබෙනවා. ඒ පිළිබදව අපේ ගෞරවය පුද කරනවා. ඉන්දිය ජනාධිපතිවරයකු වූ රාධා ක්‍රිෂ්ණන් මැතිතුමා විද්‍යාලංකාරයට පැමිණි අවස්ථාවේදී යක්කඩුවේ පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ සමග සංස්කෘතික බසින් කතා කළ බව අපි අසා තිබෙනවා. ඒ සඳහා සවිය ලැබුනේ විද්‍යාලංකාරයෙන්. මේ සිද්ධිය විද්‍යාලංකාරයේ සදා නොමැකෙන සටහනක් ලෙස ලක් ඉතිහාසයේ වගේම ඉන්දියානු ඉතිහාසයේත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ලියැවෙන්නක්. එවැනි තත්ත්වයකට රට ගොඩනගන්නට ඩී. බී. ජයතිලක මැතිතුමා තුළ වූ නිර්මාණ ශක්තිය හා කැපවීම වගේම පරිත්‍යාගය අපි කෘතවේදීත්ව සිහිපත් කරනවා.

රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාජයා තැන්පත් කරන කොට, එය නිරාවරණය කරන්න සුදුසුකම ලැබුවේ ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන්. එදා රටේ රජු ලෙසයි ජනතාවත්, මහා සඟරුවනත් එතුමාට සැලකුවේ. අපේ රටේ පැවැත්ම සංස්කෘතිය හා රටේ අඛණ්ඩ පැවැත්මට අවශ්‍ය කොඳුනාරටිය වූ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර සුරක්ෂිත කර දිය හැකි තේජාන්විත නායකත්වය එතුමා සතු වුණා.

අපි සියලු දේ නැති වුණු ජාතියක් නොවෙයි. බඩගින්නේ හිටියත් අපේ භාෂාව අතහැරියේ නෑ. අපේ සංස්කෘතිය අතහැරියේ නෑ. අපේ භාෂාව සංස්කෘතිය අපේ ජාතියේ අනන්‍යතාවයයි. ඩී. බී. ජයතිලක මැතිතුමා රටේ නිදහස් සටනේ වීරවරයෙක් හැටියට ඇති කළ ඒ අත්තිවාරම එලෙසම අපි ආරක්ෂා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment