මරණ කීපයකට හේතු වූ මෙරට නිෂ්පාදිත ඖෂධය පරික්‍ෂාවට නොයවන්නේ ඇයි? – සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය

101

අසාත්මිකතාව හේතුවෙන් මරණ කිහිපයක් සිදුවූ බවට හෙළිවූ මෙරට නිෂ්පාදිත ප්‍රතිජීවක ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර පරීක්‍ෂාවට යොමු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

මෙම ප්‍රතිජීවක ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුදුසුකම් ලත් රසායනාගාරයකට යවා පරීක්‍ෂා කරන බවට මසකට පෙර කළ පොරොන්දුව ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩකර ඇතැයි ද එම සංගමය පවසයි.

ඖෂධ නියාමන අධිකාරියේ අවදානම් සහ ඖෂධ සුරක්ෂිත බව පිළිබඳ කමිටුවේ නිර්දේශ මත එම ප්‍රතිජීවක ඖෂධය සහ එම ඖෂධ කාණ්ඩ කිහිපයක් භාවිතය අත්හිටුවීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර තිබූ බවත් ජාතික රෝහලේදී රෝගියකු මිය යෑම සම්බන්ධයෙන් ද එම ඖෂධය සැක කෙරෙන බවත් සංගමය සඳහන් කරයි.

මෙරට නිෂ්පාදිත එම ප්‍රතිජීවක ඖෂධය පිළිගත් රසායනාගාර පරීක්‍ෂාවකට යැවීම සඳහා සියලු වියදම් දැරීමට එම ඖෂධය නිෂ්පාදනය කළ සමාගම ඉදිරිපත්ව සිටියද මෙම පරීක්‍ෂාවන් ප්‍රමාද කිරීම බරපතළ සැකයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment