මල්වතුහිරිපිටියේ දී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස්වීමක්

194

මල්වතුහිරිපිටිය සණස බැංකුව අසල දී වරෙන්තුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්‍ෂක තනතුරකට උසස් කළ බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ඊයේ පැවසීය. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මියගිය පොලිස් නිලධාරියාට මූලික ප්‍රදානයක් විදිහට රුපියල් ලක්‍ෂ දහයක් දැනට පිරිනැමීමට ද පියවරගෙන තිබේ.

මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන් ප්‍රියන්ත මහතා මියයන විට 51 වැනි වියේ පසුවූ දෙදරු පියෙකි. ඔහු පූගොඩ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු බිංගිරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහුට සහාය දුන් කාන්තාවක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සැකකරු මුදල් වංචා රැසකට සම්බන්ධ අතර විවාහයන් කීපයක් කරගත් අයකු බවද පොලිසිය පවසයි.

මල්වතුහිරිපිටිය සණස බැංකුව අසල දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යෑමට සූදානම් වෙද්දී ඔහු පොලිස් සැරයන්වරයාගේ පිස්තෝලය පැහැර ගෙන ඔහුට වෙඩි තබා පලාගොස් තිබිණි. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 4 ක් සිදුකළ මෙහෙයුමකදී සැකකරු බිංගිරිය ප්‍රදේශයේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් අතර වෙඩි තැබීමට යොදා ගත් පිස්තෝලය ද සොයාගෙන තිබිණි.

හේමන්ත රන්දුණු, පූගොඩ-සරණපාල නුවරපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment