ලියාපදිංචියක් නොමැතිව මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කළ දෙහිවල මධ්‍යස්ථානයකට පොලිසිය පනී

226

දෙහිවල, මල්වත්ත පාර, අතුරු මාර්ගයක දෙමහල් නිවසක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ලියාපදිංචි කිරීමකින් තොරව නීති විරෝධී ලෙස “සහනය ගොඩ වැදීමේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය” නමින් කාලයක සිට පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකාර පාස්ටර්වරයා සමග සහායකයකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පුනරුත්ථාපනය සඳහා සිටි මන්දමානසික පුද්ගලයන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයන් 34 දෙනෙකු ආරක්ෂාව පතා පොලිස් භාරයට ගෙන ඇතැයි දෙහිවල පොලිසිය පැවසීය.

මෙහි ප්‍රධාන සැකකරු අන්‍යාගමික පාස්ටර්වරයෙකු වන අතර දෙහිවල, මල්වත්ත පාර, එම නිවසේම පදිංචිව (49) හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සහායකයා බොරැල්ල සහශ්‍ර පුර පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය කියයි.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල වයස අවුරුදු 18 – 60 අතර වයස් කාණ්ඩ පුද්ගලයන් මෙම ස්ථානයේ රැඳී සිට ඇති බවද පොලිසිය කියා සිටියි.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙක් නොමැති බවත්, මන්ද මානසික රෝගීන් අටදෙනෙකු රඳවා තබාගෙන සිටින බවත්, රැඳවියන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඖෂධ භාවිතය අනාරක්ෂිතව සිදුකර ඇති බවත්, සමහර අවස්ථාවලදී හිමිකරු හා සහායකයා රැඳවියනට අමානුෂික ලෙස පහර දී ඇති බව රැඳවියන් ප්‍රකාශ කළ බවද පොලිසිය කියයි.

මෙහි පුනරුත්ථාපනය වන එක් පුද්ගලයකුගෙන් මසකට රුපියල් 30,000/= ක්, ඖෂධ සඳහා රුපියල් 5,000/= ක් එක් කරන බව රැඳවියන් අප සමඟ පැවසීය.

අනතුරුව එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ විමර්ශනයට අනුව රැඳවියන් 26 දෙනෙකු සඳහා එක් වැසිකිළියක් භාවිතා කිරීම, ආහාර පිසීම වැසිකිළිය අසලම සිදු කිරීම, කසළ බඳුන් විවෘතව තබා තිබූ බවත් කාමරයක් තුළ පුද්ගලයන් 15 කට වැඩි පිරිසක් බිම අමානුෂික හා හිංසාකාරී ලෙස රඳවා තබාගෙන ඇති බවත්, කිසිදු ආකාරයක පරිසර හා සෞඛ්‍යාරක්ෂිතභාවයක් මෙහි නොමැති වීම යන කරුණු මත මෙම ස්ථානය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට නුසුදුසු තත්ත්වයේ පවතින බවට වාර්තාවක් පොලිසියට ලබා දී තිබිණ. ඒ අනුව මෙම රැඳවියන් 34 දෙනා ආරක්ෂක පියවරක් ලෙස දෙමාපියන් හා භාරකරුවන් වෙතම භාරදීමට අධිකරණ නියෝග ලබා ගැනීමටද කටයුතු කරනු ලබන බවත් පොලීසිය කියයි. මෙම වැටලීම ගල්කිස්ස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරි 1 සමන් ජයසේකර යන මහතුන්ගේ අධීක්ෂණය මත දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එල්. ඒ. එස්. යූ. කේ. ලියනආරච්චි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් සැරයන් 4507 බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරු වන 85380 සම්පත්, 21811 සොයිසා, 77154 තෙන්නකෝන්, 24162 සංජීව, 94843 සඳරුවන් යන මහත්වරු ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වන එම්. ඒ. එල්. සී. ලක්මාල්, ටී. එල්. එම්. කයිස්, එම්. එන්. එම්. අම්ජාඩ්, වී. කේ. එස්. එස්. කුමාර යන මහතුන් විසින් සිදු කරනු ලැබිණි.
පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment