වතු ජනයා ව්‍යවසායකයන් කරන ගිවිසුමක් ගැසුවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

88

වතු ජනතාව ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීමේ සුවිශේෂී සමාජ ගිවිසුමකට එළැඹි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (14 දා) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක් සමග සමාජ ගිවිසුමකට අත්සන් තබමිනි.

ලක්ෂ ගණනක් උඩරට හා පහතරට වතු ප්‍රජාව රටේ ජීවනාලියට දායකත්වයක් ලබා දෙන බැවින් ඔවුන් හැමදා කම්කරු තනතුරේ තබා ගැනීම නොව ඔවුන්ට වගා භූමියේ හා නිවසක අයිතිය මෙන්ම වතු ක්ෂේත්‍රයේ වතු ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමේ ඉමහත් අවස්ථාව මේ තුළින් උදා වන බවත් එහිදී විපක්ෂ නායක පැවසීය.

නිර්ව්‍යාජ, උඩරට පහතරට වතු ප්‍රජාවගේ සැබෑ නියෝජිතයන් සමග අද දින ගිවිසුම් ගත වූ බවත් පෞද්ගලික වරදාන වරප්‍රසාදවලින් තොරව එම නායකයන් ඉල්ලා සිටියේ තම ප්‍රජාව රැක ගෙන ආරක්ෂා කර සංවර්ධනයේ අරුණලු උදා කර දෙන ලෙස බවත් හෙතෙම කීය.

මෙම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම් මහතා, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා, කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා, මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment