මේ වූ කලී සමාජ දේශපාලන ක්‍ෂේත්‍ර උඩු යටිකුරු කෙරෙන ආන්දෝලනාත්මක පුවත් හා සිදුවීම්වලින් නොකැළඹුණු සතියක නිමාවය. අප බොහෝවිට දකින සුලබ හා උත්ප්‍රාසනීය දේශපාලන ගැටුම් සියල්ලක් නිද්‍රාවක ගිල්වා තිබුණේ අලුත් අවුරුද්ද විසිනි. අවසන් වූ ඒ අවුරුදු සමය පිළිබඳ සැබෑ චිත්‍රය එතරම් යහපත් එකක් වූයේද යන්නත් අපට නම් ගැටලුවකි. බැලූ බැල්මට ඇසට හසුවන අවුරුදු සිරියක් තිබුණු බව රූපවාහිනී නාලිකාවලින් නම් දැකගත හැකි විය. කුමක් වුවත් අවසන් වූ අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් ද අප දුටුවේ දෙආකාරයක ප්‍රතිචාර බව පමණක් බව ද සඳහන් කළ යුතුය. එසේ වුවද අවුරුදු සතියේ නිමාවත් සමගම සුපුරුදු දේශපාලන ගැටුම් ද වෙනත් සමාජ ක්‍රියාකාරකම් ද මතු වෙමින් තිබුණි. මේවා අතර සමාජ දේශපාලන අංශවල දැඩි අවධානයට යොමු වූ සිදුවීම් කීපයක්ම තිබුණි. එකක් මේ වනවිටත් දෙපලු වී තිබෙන ශ්‍රී ල.නි.ප.ය වෙන වෙනම තම පක්ෂයේ ගෞරවනීය භූමිකාවකට හිමිකම් කියනු ලබන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම සිදු කිරීමය. ලබන 21 වැනි දිනට පස්වසරක් සම්පූර්ණ වන පාස්කු ඛේදවාචකය යළිත් සමාජ දේශපාලන සංවාදයකට නිමිති වී තිබීමද තවත් සිදුවීමකි. මේවාට අමතරව ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියවලිය සම්බන්ධයෙන් ස.ජ.බ.යේ හර්ෂ ද සිල්වා විසින් මතු කරන ලද ප්‍රශ්න හා ඒවායේ අඳුරු ඇපැහැදිලි තැන් අනාවරණය කිරීම ද අතිශය වැදගත් කරුණක් ලෙස අවධානය යොමු විය යුත්තකි. ඒ අතරම අපගේ සංස්කෘතික දරිද්‍රතාව මෙන්ම ජාතික පරිහානියක අනතුරු පිළිබඳ සංඥාර්ථ දනවන පුවත් කීපයක්ම දැකගත හැකි විය.

දේශපාලන විකට රූප සංස්කෘතික ද්‍රරිද්‍රතාව සහ පොලිසිය!

මේ සියල්ල ම දේශපාලන දෘෂ්ටි කෝණයකින් විමසා බැලීම දුෂ්කර වුවද ඉන් සිදුවීම් කීපයක් සැකෙවින් හෝ විමසා බැලීම වැදගත්ය. ඉහත දැක්වූ පරිදිම ශ්‍රී ල.නි.ප. දේශපාලන ඉතිහාසය විචිත්‍ර හා ගාම්භීර එකක් බවට පත් කළ හි නායිකාවක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි සැමරුම එම පාක්ෂිකයන්ට පමණක් නොව පොදුවේ රටට ම අතිශය වැදගත් අවස්ථාවක් බව අපගේ අදහසය. සිරිමාවෝ ලෝකයේ පළමු අගමැතිනියගේ වාර්තාව මේ කුඩා දිවයිනට හිමිකර දුන්, එමතු නොව ජගත් දේශපාලනයේ අප්‍රමාණ බුහුමනට ද පාත්‍ර වූ දුර්ලභ ගණයේ කාන්තා චරිතයකි. මෙරටේ දක්ෂිණාංශික දේශපාලනයට ඛේදනීය පරාජයක් අත්පත් කරදුන් හිටපු අගමැතිවරයකු මෙන්ම ඇගේ සැමියා ද වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනයට ලක්වීමෙන් පසු ඒ දේශපාලන හිඩැස පිරවීමට තෝරා ගනු ලැබුවේ සිරිමාවන් බව ප්‍රකට රහසකි. ඇය වනාහී නිසැකයෙන්ම ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රීය ගුණෝපේත අභීත දේශපාලන පෞරුෂයකි. ඒ පිළිබඳ කෙබඳු කියවීම්,විවේචන තිබුණත් ඒ කරුණු කිසිවකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. සිරිමාවන් විසින් මෙරටේ දේශපාලනයට කරන ලද අගනා සම්ප්‍රදානයන්ද බෙහෙවි. එසේම ඇගේ දේශපාලනයේවූ දුහුල් පිළිවෙත්, ඇතැම් නොපැසුණු ක්‍රියාකාරකම් පිළිබඳව ද විවේචන තිබේ. එහෙත් පොදුවේ අපට කිව හැක්කේ සිරිමාවන්ගේ දේශපාලන මෙහෙවර සාධනීය හා සාඩම්බර විජයග්‍රහණයන් පක්ෂයට මෙන්ම රටට ද අත්පත් කර දී තිබෙන් බවය.

මෙවන් සාඩම්බර වූද ජගත් ප්‍රසාදයට පාත්‍රවූ ද අභිමානවත් දේශපාලන නායිකාවක් ඇගැයීමට ගිය ශ්‍රී ල.නි.ප.යේ දේශපාලන පිල දෙකෙන්ම අපට දැක ගතහැකි වූයේ මුග්ධ හා අධම වෛරී දේශපාලන හැසිරීම පමණි. මේ වනවිට ශ්‍රී ල.නි.ප.යේ පලුවක් අල්ලා ගෙන සිටින චන්ද්‍රිකා හිටපු ජනධිපතිනියගේ පාර්ශ්වයේ නායක නිමල් සිරිපාලට අනුව තම පක්ෂයට වුවමනා සිරිමාවන් යුගයේ තිබුණු පෞරුෂයෙන් සපිරි නායකත්වයකි. අද ශ්‍රී ල.නි.ප.ය රස්තියාදුකාරයන්, මුදලට විකිණෙන සංවිධායකයන් බහුල අම්බලමක් බව ඔහුගේ විවේචනයෙන් අපට හැඟුණු දෙයයි. මේ දේශපාලන අවලාදවලට වාරණයට ලක්ව සිටින මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා විසින් දක්වන ලද ප්‍රතිචාරය ගැඹුරු දේශපාලන විවේචනයක් බව අපට පෙනේ. ඔහු අවධාරණය කළේ තමන් අබියස තිබෙන බණ්ඩාරනායක හා සිරිමාවන්ගේ පිළිරූ දෙස බලාගෙන මේ වනවිට ආණ්ඩුවේ සිටින ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරුන්ට තමාගේ කාර්ය භාරය ගැන හෘද සාක්ෂියට එකඟව සෑහීමකට පත් විය හැකිද යන්නය. එය ප්‍රබල අභියෝගයකි.

ඇත්ත වශයෙන්ම නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමක් අද රනිල්ගේ නායකත්වයෙන් තිබෙන පොහොට්ටු ආණ්ඩුවේ ඇමැති ධුර හොබවති. එය පක්ෂයේ තීරණයක් ද නොවේ.

ශ්‍රී ල.නි.ප.යේම සියඹලාපිටිය හා චාමර සම්පත් වැනි අය ආණ්ඩුවේ සිට කටයුතු කරති. එහෙත් නිමල් සිරිපාල, අමරවීර, අලගියවන්න ඇතුළු කීපදෙනෙක් ආණ්ඩු පක්ෂයේ සිටිමින්ම විපක්ෂයක් ලෙස ශ්‍රී ල.නි.ප. සමග සිටින බව පෙන්වීමට සැරසෙති. මෙය දේශපාලන වශයෙන් සදාචාර දැයි අපට ද ප්‍රශ්නයකි. මෙය බොහෝ අය හෙළා දකිති. පක්ෂයේ නිලතලවලින් ඉවත් කළ දයාසිරි ජයසේකරට අනුව ද මේ අය එක් පසක් තම පක්ෂයෙත් අනික් පස ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවේත් තබාගෙන සිටින්නෝය. එසේම හිටපු ජනාධිපති චන්ද්‍රිකා ද සමග එක්ව පක්ෂය වැනසීමට කුමන්ත්‍රණය කරන්නෝය.

කුමක්වුවත් මේ ලියන මොහොත වනවිට මෛත්‍රීට පනවා තිබුණු වාරණය මැයි 9 වැනිදා තෙක් දීර්ඝකර ඇත. එයට අමතරව පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස තෝරා ගත් බව කියන නිමල් සිරිපාල ඇතුළු ඒ පාර්ශ්වය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගොස් පක්ෂයේ හිමිකාරිත්වය ගැන කරුණු දක්වා ඇත. අධිකරණ ක්‍රියාදාමය හා මැතිවරණ කොමිසමේ ප්‍රතිචාර අනුව ශ්‍රී ල.නි.ප.ය චන්ද්‍රිකාට ද? නැතහොත් මෛත්‍රීට ද? යන්න තීරණය වනු ඇත. චන්ද්‍රිකාගේ භූමිකාව කුමක්ද? එය දයාසිරි ඇතුළු වෙනත් අය විසින්ද චෝදනා කරන පරිදි ශ්‍රී ල.නි.ප.ය එ.ජා.ප.යේ එල්ලීමේ කූට ප්‍රයත්නයක්ද? යන්නත් හෙට දින පැහැදිලි වනු ඇත.

කුමක් වුවත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන්ද ගෞරවයට පාත්‍රවූ මෙරටේ විශිෂ්ටතම රාජ්‍ය නායිකාව ලෙස ඉතිහාසයට එක්ව සිටින සිරිමාවෝ මැතිනියගේ සැමරුම් උළෙලක් දේශපාලන කෝන්තර පිරුණු වේදිකාවක් හා තම දූෂිත දේශපාලන චර්යාවන් විදහා දක්වන විකාර මඩුවක් බවට පත් කිරීම තුළින් තහවුරු වන්නේද මේ ජරපත් දේශපාලන සංස්කෘතියේම විකෘතියකි. ඇත්තටම විද්වත් සමාජ දේශපාලන ප්‍රාමාණිකයකුගේ ගැඹුරු ශාස්ත්‍රීය දේශනයක් හා මැතිනියගේ ආවර්ජන ඇතුළත් චාම් උත්සවයක් සංවිධානය නොවීම ගැන මේ දෙපාර්ශ්වයම වගකිව යුතුය. අනෙක් අතට අද තිබෙන දේශපාලන වාතාවරණය තුළ එ.ජා.ප.ය, ශ්‍රී ල.නි.ප.ය පමණක් නොව පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ද ජනතා ප්‍රසාදයෙන් ඈත් වූ පක්ෂ පමණි. දේශපාලනය යනු පවුල්වාදය, ජනතා සම්පත් මංකොල්ලකෑම පමණක් නොව බලය, උදෙසා කෙරෙන දූෂිතම ව්‍යාපාරයක් බවද අද ජන මනස තුළ කාවැදී තිබෙන්නකි.

අද මේ රට දේශපාලන වසයෙන් මන්දපෝෂණයට ද සංස්කෘතික වසයෙන් දරුණු දරිද්‍රතාවකටද පත්ව තිබේ. ප්‍රබල දේශපාලන පක්ෂ පමණක් නොව වාමවාදී ව්‍යාපාරද ගරා වැටී තිබෙන ආකාරය අපි දකිමින් සිටිමු. කලින් කලට අතිශය ජනප්‍රසාදයකින් බලයට පත්වූ ඒ සෑම පක්ෂයක්ම අද මරණ මංචකයේ සිහින දකිමින් සිටින්නේ දැයි විටෙක සිතේ.ප්‍රජාතන්ත්‍රවාදයේ හරය දුර්වල කෙරෙන මර්දන නීති හා වෙනත් දරදඬු අණපනත් කොපමණ ප්‍රමාණයක් මේ වනවිට සම්මත කරුණු ලැබ තිබේද? දුප්පතුන්ගේ සමාජයක, වින්දිතයන්ගේ අඳුරක රට හිරවී තිබේ. දේශපාලන බලවතුන් අක්කර ගණනින් අනීතිකව අත්පත් කර ගනිද්දී පරම්පරා තුනක් ජීවත්වූ කුඩා ඉඩමටත් පැල්පතටත් හිමිකම් නොකියන ජනතාවක්ද මේ රටේ සිටිති. ඡන්ද දෙස බලාගෙන දෙන සහන මල්ලත්, ඉඩම් ඔප්පුවත් හැර ඒ දුගී ජනතාවගේ ඉරණම වෙනස් කිරීමට ඉදිරිපත්වූ සාධනීය යෝජනාවලියක් තිබේද? ඒ දේශපාලනය අද ජනතාවට පිළිකුල්ය. අප්‍රසන්නය.

දේශපාලන විකට රූප සංස්කෘතික ද්‍රරිද්‍රතාව සහ පොලිසිය!

ආසන්න අතීතය දෙස බැලුවත් අපට පෙනීයන්නේ හැට නව ලක්ෂයක ජනවරමක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂට මුහුණ දීමට සිදුවූ ජනතා විරෝධයයි. මහජන බලය නමැති සුළිසුළඟට හසුවී ගිය ඔහුටත් ඔහු අයත් රාජපක්ෂ කඳවුරටත් සිදුවූයේ නිලබල අතහැර සැඟවී සිටීමටය. අද තිබෙන දේශපාලන විකෘතිය හා නිලබල තෘෂ්ණාව වටහා ගැනීමට මේ ආණ්ඩුවම සෑහේ. ජනවරමක් නැති ජාතික ලැයිස්තුවෙන් පත්වූ රනිල් ජනාධිපතිය. ඔහුගේ ඇමැති මණ්ඩලය තුළ එ.ජා.ප.යේ එකම මන්ත්‍රීවරයෙක්වත් නැත. ස.ජ.බ.යෙන් හා ශ්‍රී ල.නි.ප.යෙන්, පොහොට්ටුවෙන් තරග කළ පැමිණි කීපදෙනෙක්ම සිටිති. කිසිදු පක්ෂයක විනයක් නැත. ඇත්තේ බල අර්බුදය පමණි. ජයවර්ධන පාලන සමයේදී මන්ත්‍රීවරුන් ගෙන් ලබාගත් දාතම රහිත ඉල්ලා අස්වීමේ ලිපි නිසා ඔහුගේ බලයට අභියෝගයක් නොවුවත් අද පිල් මාරුව සාමාන්‍ය දෙයකි. මේ වනවිට බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නය ඊළඟ මැතිවරණයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම පමණි. අද නිලබල හිමි බොහෝ දෙනෙකුගේ ඉරණම ලබන මහ මැතිවරණයේදී විසඳෙන බව නම් නිසැකය. මේ දිනවල බොහෝ දෙනෙක් උනන්දු වන්නේ තම දේශපාලනයේ අවසන් වරප්‍රසාදය මත තීරු බදු රහිත වාහන බලපත්‍රයවත් ලබාගැනීමටය. පොදු ප්‍රවාහනය, නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ද ශීඝ්‍ර පරිහානියකට, පසු බැස්මකට ලක්ව තිබුණත් ඒවා ගැන මේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් ද නැත. එහෙත් රටක් අඳුරට, විනාශයකට ඇද දමා බහුතර ජනතාවක් වින්දිතයන් බවට පත් කළ දේශපාලඥයන්ට, ඔවුන්ගේ පක්ෂවලට හා සන්ධානවලට පැන්සල් කොටයකින් පිළිතුරු දීමේ සමාරම්භය මේ වසර හෙවත් 2024 බව ද සිහි කළ යුතුය.

දැන් අපි මේ සතියේ යළිත් සමාජ දේශපාලන අංශවල සංවාදයට ලක්ව තිබෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන අලුත් ප්‍රවණතාවන් වෙත අවධානය යොමු කරමු. ඒ ස.ජ.බ. හා ජා.ජ.බ. යන පක්ෂ දෙකම පාස්කු ප්‍රහාරයෙහි වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමටත් ඒ මුග්ධ ඝාතනයෙහි සුල මුල සෙවීම ඇතුළු එදා අක්‍රීයව සිටි ආරක්ෂක අංශවල හා දේශපාලන බලධාරීන්ට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට ලිඛිත ප්‍රතිපදා ලබාදීමටය. මේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අපේක්ෂා සහගතව සිටින බවද පෙනුණි. කාදිනල් හිමියන් ඍජුවම පවසා සිටියේ ගෝඨාභය පාලනය විසින් කිතුනු රදගුරුවරුන් ඇතුළු එම ප්‍රජාවම රැවටූ බවය. ජා.ජ.බ.ය ඒ පිළිබඳ ප්‍රතිඥාව නිවේදනයකින් ප්‍රකාශයටපත් කර පසුව කාදිනල් හිමියන්ට එය භාර දුන් බවද වාර්තා විය.

කෙසේ හෝ වේවා පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ වනවිටත් විවිධ ප්‍රතිචාර මෙන්ම බැරෑරුම් ප්‍රකාශනද සමාජ දේශපාලන අංශවල සංස්කරණය වෙමින් තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ හෙළිදරව්ව සම්බන්ධයෙන්ද නොයෙක් දේවල් ඇසීමට ලැබෙයි. දේශපාලන ඕපාදූප හෝ ළිඳ ළඟ සංවාද යනු ප්‍රබුද්ධ ජනතාවගේ අවධානයට ලක් නොවන දේවල්ය. එහෙත් ඒවායින් සමාජගත වන සැක සංකා දුරලිය හැක්කේද මෙබඳු විධිමත් හා පූර්ණ බලය ඇති විශේෂ විමර්ශන කොමිසමක් මගින් බවද කිව යුතුය. එසේම මෙතෙක් විවිධ දේශපාලන නායකයන් මෙන්ම පක්ෂවලින්ද රටට වාචිකව හා ලිඛිතව ලබාදුන් පොරොන්දු සියල්ලක්ම පාහේ කඩවුණු පොරොන්දු වූ බවද සිහිපත් කළ යුතුය.

මේ අතර ගෙවී ගිය අවුරුදු සමයේදී සමාජ අවධානයට යොමුවූ තවත් ප්‍රමුඛ සිදුවීම් කීපයක්ම විය. ප්‍රකට සංගීතඥයකු හා ගායන ශිල්පියකුද වන රෝහණ බැද්දගේ විසින් නිර්මාණය කරන ලද අවුරුද්ද තේමා කරගත් ගීතයක් විකෘති කළ සිද්ධිය මේ වනවිට අධිකරණය ඉදිරියේ තිබෙන්නකි. බැද්දගේ විසින් ඒ නිර්මාණය තුළින් හෙළ අවුරුදු සිරිත හා බැඳුණු විචිත්‍ර හා විවිධ නිරූපණ ඇතුළත් රූපරාමු පෙළක්ද සමාජ ගතකර තිබුණි. ‘සූරිය මංගල්ලේ’ ලෙස නම් කළ ඒ ගීතමය විචිත්‍රාංගය කිසියම් මුග්ධයකු විසින් විකෘති කරන ලද බවට ඉදිරිපත් වූ චෝදනා අනුව පුද්ගලයකු අල්ලා ගැනීමට ද හැකි විය. මොහු රාජ්‍ය අංශයක සේවකයෙක් බව ද හෙළි විය. ඇත්තට ම මේ වර්ගයේ මානසික රෝගීන් විසින් සමාජ මාධ්‍යවලට මුදාහරිනු ලබන විෂ හා දුර්ගන්ධාත්මක ප්‍රතිචාර ඒවා පරිහරණය කරන අයට අමුතු හෝ අලුත් දේවල් නොවේ. ඉහත සඳහන් කළ පරිදිම නවීනත්වය හා සම්ප්‍රදාය පිළිබඳ අනවබෝධයකින් ක්‍රියා කරන නූතන මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ මාධ්‍ය භාවිතය ද අද දැඩි සමාජ ප්‍රශ්නයක් වී තිබේ. ආණ්ඩුවක් හෝ ඇතැම් කණ්ඩායම් අපේක්ෂා කරන පරිදි වාරණයක් මගින්ද ඒවාට විසඳුම් ලබාදිය නොහැකිය. අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කිරීම මෙන්ම භාෂා භාවිතය රසඥතාව ආදිය නිසි අයුරින් සමාජ ගතවීම මෙයට තිබෙන පිළිතුරය. කොහොමටත් එබඳු විකෘති මානසික රෝගීන් සෑහෙන පිරිසක් සිටීමද අද තිබෙන සංස්කෘතික අර්බුදය උත්සන්න කරන්නකි. සංස්කෘතික අමාත්‍යාංශය සංස්කෘතික පොලිසියක් බවට පත් කළ යුතු යැයි සිතන පිරිසක්ද සිටිති. එසේම ජාතික හා සංස්කෘතික වටිනාකම් නොදන්නා දේශපාලනඥයන් නිසාද දේශපාලන මෙන්ම සංස්කෘතික උරුමයන්ද විනාශ වන බව නම් සිහි කළ යුතුය.

මේ දිනවල දැඩි සමාජ සංවාදයකට ලක්ව තිබෙන තවත් සිද්ධියක් වූයේ මැදවච්චිය පොලිසියේ දෙදෙනකු විසින් 23 හැවිරිදි තරුණයකුට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයකි. ඒ පොලිස් අමන ප්‍රතිචාරය පිළිබඳ සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පවරන ලෙස අධිකරණ නියෝගයක්ද ලබාදී තිබේ. මේ වනවිට සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ද රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටිති. පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තමා යටතේ තිබෙන පොලිසිය පිරිපහදු කර ගැනීමටත් එය ජනතාවගේ ප්‍රසාදයට හා විශ්වාසයට ලක්වන ආයතනයක් බවට පත් කිරීමටත් කැපවන බව කියයි. මේ වර්ගයේ ගහලයන් පිළිබඳ බොහෝ විට පොලිසියෙන් වාර්තා වේ. ධර්මචක්‍රය උර පැළඳ යුක්තිය හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වන පොලිසිය නරක් වූයේ ද දේශපාලනය නිසා බවට විවෘත චෝදනාවක් ඇත. මහජනයා පීඩාවට පත් නොකරන නිලධාරීහු ද පොලිසියේ සිටිති. කුඩ්ඩන්ට, මැරයන්ට, පාතාලයන්ට රැකවරණ දෙන දේශපාලන අමනයන්ගෙන්ද පොලිසියට දැඩි අලාභ හානි සිදුවී ඇත. එසේම නීතිය අතටගත්, තමන් ලයිසන් චණ්ඩීන් ලෙස පුරසාරම් දොඩවන ස්වල්ප දෙනෙක්ද පොලිසියේ සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් හඬ පටවලින්ද පෙනේ. අප මෙයට පෙරද සඳහන් කර ඇති පරිදි මේ රටේ ජනතාවගේ හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් පමණක් නොව ජාතික සංස්කෘතික උරුමයන්ද සුරැකෙන්නේ ගරු අධිකරණය නිසා බවද යළිත් සිහිපත් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment