රට මුදාගන්න මම කැපවෙනවා – ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් පාඨලී කියයි

325

අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටින රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය.

දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට තමා සෑම විටම ඉදිරිපත් වූ බවත් රට මුදා ගනිමින් සංවර්ධනය කරා මෙහෙයවීමට සැමට එක්විය හැකි පොදු වැඩපිළිවෙළක් හඳුන්වාදීම සිය ප්‍රමුඛ අරමුණ බවත් හෙතෙම කීවේය.

පාඨලී චම්පික රණවක මහතා එම අදහස් පළ කළේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ජනගත කරමිනි.

රට මුදාගන්න මම කැපවෙනවා - ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් පාඨලී කියයි

රට සංවර්ධනය කරමින් ජනතාවගේ ජීවන තත්ත්ව වර්ධනයට අවශ්‍ය සැලසුම් ඊට අන්තර්ගත බවත් කෙටි හා දිගුකාලීන ක්‍රමවේද හඳුන්වාදීමට ඒ යටතේ පියවර ගෙන තිබෙන බවත් ජනරජ පෙරමුණ පවසයි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, සාරතී දුෂ්මන්ත, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, රවුෆ් හකීම්, ලසන්ත අලගියවන්න, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර, චරිත හේරත්, තිලංග සුමතිපාල, ඒ.එච්.එම්. ෆවුසි, ෆේරියල් අෂ්රොෆ්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අර්ජුන රණතුංග, යන මහත් මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගි වූහ. එසේම සිවිල් ක්‍රියාකාරීහු ද ඊට එක්වූහ. විදේශ තානාපතිවරු ද සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීවේය.

දේශය වෙනුවෙන් එක්වන පියවරක්, ප්‍රායෝගික වැඩපිළිවෙළක්. රට සංවර්ධනය කරමින්, ජනතාවගේ ජීවන තත්ත්ව නැංවීමට අවශ්‍ය සැලසුම් එහි අන්තර්ගත යි. එය අතිශය ප්‍රායෝගික වැඩපිළිවෙළක්. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට ද නියමිතයි. එක්සත් ජනරජ පෙරමුණෙහි ස්ථාවරය වන්නේ, යහපාලන මාර්ගෝපදේශ සහ වෙනත් උපදේශන ද ඇතුළත් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා තිරසර ආර්ථික වර්ධනයකට අනුකූල වන පරිදි සංශෝධනය කර, ක්‍රියාත්මක කළ යුතු බවයි.

බදු අය කිරීම සම්බන්ධව සංශෝධන සිදුවිය යුතුයි. සෑම පුද්ගලයකුටම බදු ලිපිගොනු විවෘත කිරීම ප්‍රායෝගික නැහැ. මේ විදිහට බදු ක්‍රමවේදය භාවිත කළහොත්, මිලියන දාසයක් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට වසර තිස් දෙකක් ගතවෙනව. ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද මගින් බදු අය කිරීම විධිමත් කළ හැකියි. ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පද්ධතියක් නිර්මාණය එක් පියවරක්. සෑම පුරවැසියෙකු සඳහාම ඩිජිටල් පසුම්බියක් ලබා දිය යුතුය. එමගින් සියලු ගනුදෙනු නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment