ඡන්ද ඇප තැන්පතු මුදල් ඉහළ දැමීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

39

මැතිවරණ සඳහා තැන්පත් කෙරෙන ඇප තැන්පතු මුදල් අසීමිත ලෙස ඉහළ දැමීමට රජය තීරණය කිරීමෙන් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ව්‍යවස්ථාවෙන් ඡන්ද අපේක්‍ෂකයන්ට ලබාදී ඇති අයිතිය උල්ලංඝනය වන බව පවසමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉකුත් 09දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් මැතිවරණ සඳහා ඇප තැන්පත් මුදල් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව ජනපතිවරණ අපේක්‍ෂකයකු වෙනුවෙන් පැවැති ලියාපදිංචි පක්‍ෂයකට රු. 50,000ක් වූ ඇප මුදල රු. ලක්‍ෂ 26,00000 දක්වාත්, ස්වාධීන අපේක්‍ෂකයකුට පැවැති රු. 75,000ක මුදල රුපියල් ලක්‍ෂ 31 දක්වාත් ඉහළ දැමීමට තීරණය කර තිබිණි.

එමෙන්ම මහ මැතිවරණ අපේක්‍ෂකයකු සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂයකට රු. 11,000ක් හා ස්වාධීන අපේක්‍ෂකයකුට රු. 16,000ක් වශයෙන් ද පළාත් පාලන අපේක්‍ෂකයකුට පිළිගත් දේශපාලන පක්‍ෂයකට රු. 6,000ක් හා ස්වාධීන අපේක්‍ෂකයකුට රු. 11,000ක මුදලක් වශයෙන් ඉතා විශාල ප්‍රතිශතයකින් ඇප තැන්පතු මුදල් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි.

මෙම අසාධාරණ ඇප මුදල් තැන්පතු වැඩි කිරීම හේතුවෙන් මුදල් ඇති පිරිසකට පමණක් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවකාශ ලැබෙන බවත් රටේ සාමාන්‍ය පුද්ගලයකුට ඉදිරිපත්වීමේ අයිතිය අහිමිකර ඇති බැවින් එම අසාධාරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment