ජිප්සීස් මගේ ශෛලිය නෙමෙයි
ඩැඩී දැන් වෙනස්…
සල්ලි දීලා සිංදු බූස්ට් කරන්නේ නැහැ

දැන් කාලේ කෙල්ලෝ පිළිවෙළකට
ඇඳගෙන පෙනුමට හිටියට
දැන් කාලේ කෙල්ලෝ පෙනුමට
පිළිවෙළකට හිටියට වක්කඩ වාගේ
කටවල් නම්
ගාගෙන මූණේ විච්චූර්ණ
මළමිනී වගේ සුදුවීගෙන
කරුමෙට රැවටිලා අහුවෙලා බැඳගත්තෝතින්
කන්න වෙන්නෙ අඬ අඬ පපඩම්…
පපඩම්…

පොඩ්ඩක් සයිකෝ ගයියට

ගයාන් පෙරේරා නැතිනම් ගයියාගේ අලුත්ම වැඩේ තමයි ‘පොඩ්ඩක් සයිකෝ.. අවුරුදු දහයකට පස්සේ ලංකාවට ආපු ගයියා වැඩි සද්ද බද්දයක් නැතිවම ඉඳලා ඔන්න අලුත් වැඩක් එළියට දාලා. ඒකේ නම ‘පොඩ්ඩක් සයිකෝ.. මේකේ ආපහු ලංකාවෙන් යනකොට හිටපු ගයියා ආයෙමත් එළියට ඇවිත් තියෙනවා. ඒක හින්දා අපි ගයියාට ඉඩක් වෙන් කරලා වැඩේ ගැන කතා කළා.

ගයාන් ඇත්තට ම ‘පොඩ්ඩක් සයිකෝ කාටද?

අපි ඔක්කොටම වගේ මොකක් හරි පොඩි සයිකෝ එකක් තියෙන්න ඕනෑ. ඉතිං මම බැලුවා මේක ලස්සනට සින්දුවකට ගේන්න කියලා.

පොඩ්ඩක් සයිකෝ ගයියට

මේ වගේ සින්දුවක් හදන්න හේතුව මොකක්ද?

ඇත්තටම මේ වගේ සින්දුවක් හදන්න හේතුව තමයි මගේ පෙම්වතිය ඇහැව්වා එයා ගැන සින්දුවක් ලියන්නේ නැතිද කියලා. මම ලංකාවට ආවට පස්සේ ආදර සින්දු කීපයක්ම කළානේ. එයා ඇහැව්වා මං ගැන කවදද සින්දුවක් ලියන්නේ කියලා. මම කල්පනා කර කර හිටියා මෙයාට මොකක්ද ලියන්නේ කියලා. ඔහොම එයාට කියලා ලියන්න ඉන්නකොට එකපාරටම ‘පොඩ්ඩක් සයිකෝ. කෙල්ලන්ට කියලා අදහස ආවේ. ඒක එයාට විතරක් දැම්මොත් හරි නෑනේ. පිරිමින් හිතන දෙයක්නේ ඕක. මේක කෙල්ලන්ට අපහාස කරන්න කරපු දෙයක් නෙමෙයි.

පොඩ්ඩක් සයිකෝ ගයියට

මෙහි තනුවත් ඔබේමයි ?

මේකේ තනුවයි පද රචනාවයි දෙකම මගේ. ඔය තනුව මම ඇමරිකාවේ ඉන්නකොට කරපු පැරණි ඉංග්‍රීසි සින්දුවක්. ඒක පොඩ්ඩක් එහාට මෙහාට කරලා තමයි සිංහල සින්දුවට යොදාගත්තේ.

කෙල්ලො බනීවි කියලා බය හිතුණේ නැතිද?

නැහැ. මේක මම කරපු පළමුවැනි ආන්දෝලනාත්මක සින්දුව නෙමෙයිනේ. මස්සිනා” ටිකෙන් ටික” බොරුකාරී වගේ ගීතත් ඒ කාලේ තිබුණු සංස්කෘතියෙන් පිට ගීතනේ. නිර්මාණකරුවෙක් විදිහට මම කරන්නේ අත්හදා බැලීම්. අවංකවම කොල්ලෙක් හැටියට මට හිතෙන දේ තමයි කළේ. ගැහැනුන්ට පෙනෙනවා අපිට සයිකෝ වගේ. අපිට පෙනෙනවා ගැහැනුන්ට සයිකෝ වගේ. ඕක තමයි ඇත්තම කතාන්දරේ.

පොඩ්ඩක් සයිකෝ ගයියට

මේක බලලා පෙම්වතිය මොනවද කිව්වේ?

මම එයාව නිතරම වගේ අවුස්සනවා. එයා කැමැතියි. අනික එයා හරිම විනෝදකාමී චරිතයක්. මම හිතුවට වැඩිය ගැහැනු ළමයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කෙල්ලන්ගෙන් මගේ සින්දුවකට කියලා වැඩිම ප්‍රතිචාර හම්බවුණේ මේ ගීතයට.

මොකක්ද ඒකට හේතුව ?

ඒ අතින් ගත්තහම අපේ රටේ කෙල්ලෝ ජෝක් එකක් කිව්වහම ඒක ගන්න දන්නවා. ඒක සුබවාදී ලකුණක්. ඇමරිකාවේ වගේ මේ වගේ සින්දුවක් කළා නම් මට ගුටිකන්න වෙනවා. පාරේ යන්න හම්බ වෙන්නෙත් නැහැ. තනිකර මගේ සංගීත ජීවිතයම අවසන් වෙන්න තිබුණා. නමුත් කෙල්ලො මේක හරි ධනාත්මක විදිහට අරගෙන තියෙනවා.

පොඩ්ඩක් සයිකෝ ගයියට

රූප රචනාව කාගේ අදහසක්ද?

රූප රචනාවේ අධ්‍යක්ෂ මහත්තයා දිනේෂ් ඇන්තනී. කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණේ ශ්‍රීනික ලියනගේ. මේ ඔක්කොම අපි වැඩ පටන්ගත්තු කලේ හිටපු අය. අවුරුදු ගාණකට පස්සේ තමයි අපි මේ වැඩේ කළේ. මම ඇමරිකාවේ ඉඳලා අවුරුදු ගණනාවකට පස්සේ ආවේ. ඒකත් එක්ක මම යෝජනා කළා මස්සිනා එකේ කෑලි ටිකකුත් කරගෙන වැඩක් කරමු කියලා.

රූප රචනාව කරන්න ප්‍රමාද වුණේ ඇයි ?

මේ සින්දුව මිනිස්සුන්ට හරියයි ද නැද්ද කියලා මට පොඩි සැකයක් තිබුණා. මේ සින්දුවට ලක්ෂ හය හතක් වියදම් කරලා වීඩියෝ එකක් කරලා ඒක ගියේ නැතිනම් ඒ සල්ලි අපරාදේ කියලත් හිතුණා. සින්දුවේ කෑල්ලක් පාවිච්චි කරලා පොඩි ටික් ටොක් එකක් දැම්මා. ඒක ඩෝංගාලා පත්තුවුණා. අන්තිමේ අපි වීඩියෝ එක කළා. ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු සින්දුවට හරි ආදරෙයි.

වෙනස්ම ශෛලියේ සින්දු කරන්න හදන්නේ ඇයි ?

මස්සිනා” බොරුකාරී වගේ ටයිප් එකේ සින්දුවක් සෑහෙන කාලෙකට පස්සේ ආවේ. මම තව ඔයවගේ ගීත කිහිපයක් කරන්න උත්සාහ කරනවා. ඒක කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න දන්නේ නැහැ. එක එක අත්හදා බැලීම් කරන්න බලනවා.

කොහොමද සංගීත වැඩකටයුතු ?

ඉතාමත් හොඳට කෙරීගෙන යනවා. මට මිස්වුණ අවුරුදු ගාණක වැඩ සට සට ගාලා අල්ලගන්න ඕනෑ. ඒක හින්දා මම ඒ අවුරුදු ගාණ අල්ලගන්න ඕනෑ.

බෑන්ඩ් එකක් පටන් ගන්න අදහසක් නැතිද?

ඇත්තට ම දැන්ම එහෙම අදහසක් නැහැ. මම බෑන්ඩ් ගහන්න හරි කැමැතියි” නැතිව නෙමෙයි. ඒක හරි ආතල් වැඩක්. නමුත් මට හිතුණොත් ඒක නවත්වත්ත ඕනෑ කියලා කට්ටියකගේම බඩට තට්ටු කරනවා වගේ වැඩක්නේ වෙන්නේ. කලින් වතාවේ ඩැඩී බෑන්ඩ් එකේ ඉන්නැද්දිත් වුණේ ඒකනේ. දැන් ඒගොල්ලෝ ඒක හොඳටම කරගෙන යනවා.

ඩැඩී එකට ආපහු සම්බන්ධවෙන්න අදහසක් නැතිද?

නැහැ. අනික මට තනියෙම වැඩකරන එක ලේසියි. ඩැඩී බෑන්ඩ් එක අපි ඉස්සර වැඩ කරපු විදිහට නෙමෙයි දැන් වැඩකරන්නේ. ඒගොල්ලෝ දැන් වැඩකරන විදිහ වෙනස්. දැන් මම නැහැනේ. මම බෑන්ඩ් එකෙන් අයින්වෙලා අවුරුදු දහයක් වෙනවා. ඒගොල්ලෝ හදාගත්තු ක්‍රමයක් තියෙනවා. ඒකට අනුගත වෙන්න මට බැහැ. ඒගොල්ලන්ට මගේ ක්‍රමයට අනුගත වෙන්නත් බැහැ. නමුත් තවම අපි හොඳ යාළුවෝ. ඒක තේරුම් අරගෙන අපි වැඩකරනවා.

එතකොට ජිප්සීස් බෑන්ඩ් එකේ ?

නැහැ. බෑන්ඩ් කියන ඒවාට එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. ජිප්සීස් කියන්නේ බෑන්ඩ් එකට වැඩිය පෞර්ෂයක්. ඒක එක පුද්ගලයෙක්. ඒ අපේ තාත්තා. තවමත් හොඳට අපේ පියල් බාප්පා කරගෙන යනවා. නමුත් මම එතැනට ගියොත් මිනිස්සු බලාපොරොත්තුවෙයි අපේ තාත්තාව රිප්ලේස් කරන්න. ඒක මට කරන්න බැහැ. මට අපේ තාත්තා වෙන්න බැහැ. මම කවදාවත් උත්සාහ කළෙත් නැහැ. අනික කරන්න යන්නෙත් නැහැ. අනික ජිප්සීස් කියන්නෙ මගේ ශෛලිය නැති වෙන ශෛලියක් තියෙන බෑන්ඩ් එකක්. ඔවුන්ට ඉන්නවා ඔවුන්ටම ආවේණික වූ රසික ප්‍රජාවක්. එතකොට ඒ රසික ප්‍රජාවට මගේ සින්දු හරියන්නේ නැහැ. එතැනට මාව ගැළපෙන්නේ නැහැ.

ප්‍රසංගවලට ලැබෙන ආරාධනා ?

මේ සින්දුව එන්න කලිනුත් ඇත්තටම ආරාධනාවලින් නම් අඩුවක් නැහැ. පරණ සින්දුවලට තවමත් මිනිස්සු ආදරෙයි. මස්සිනා” බොරුකාරී කියන්නේ සමාජයේ ලොකු බලපෑමක් ඇති කරපු සින්දු. දැන් හැම සතියකම කොන්සර්ට් තියෙනවා. ඒක වැඩියි. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය වැඩිවුණහම ඒකේ අගය නැතිවෙලා යනවා.

කොන්සර්ට් දැන් රැල්ලක් වෙලා ?

රැල්ලක් වෙලා. හැමතැනම ගහනවා. එහෙම වුණහම එකේ කිසි අගයක් නැහැ. මම එච්චරම ඒක පස්සෙ දුවන්නේ නැහැ. මම මගේම කොන්සර්ට් එකක් කරන්න තමයි සින්දු එහෙම අලුතෙන් හදන්නේ. තව තියෙනවා විකාර එන්න.

හොඳ හොඳ වැඩ එළිවෙන ජාමෙට?

එහෙම කියලා හිතමු. මගේ සින්දු කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන්න දන්නේ නැහැ. හැබැයි මම සින්දු හදනවා. බොහෝ දුරට ඒවා සාර්ථක වුණොත් මගේම කියලා දෙයියන්ගේ පිහිටෙන් කොන්සර්ට් එකකට යන්න පුළුවන්.

මේ වෙනකොට ගයාන්ගේ වෘත්තිය?

මම වෘත්තියෙන් සංගීතඥයෙක්.

ගයාන්ගේ වෙඩින් එක කවදා ද?

මාත් බඳින්න ඕනෑ. නැතිනම් ඒක කේස් එකක් වෙනවා. හැමෝම අහනවා. අපි ලබන අවුරුද්දේ වගේ බලමු.

මේ ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත් ?

හරි සන්තෝෂයි. මට මම ගැන හරි ආඩම්බරයි. මට අද වෙනකම් කාටවත් අතපාන්න සිද්ධවෙලා නැහැ. මට මගේ වැඩ තනියෙම කරගන්න පුළුවෙන් වෙලා තියෙනවා. මට මගේ වැඩ කරගන්න කාගාවටත් යන්න වුවමනා කරලා නැහැ. මට ජීවත්වෙන්න හයිය හත්තිය තියෙන්නේ මම ලියපු සින්දු හින්දයි.

ගොඩක් ලෙජන්ඩ්ලාගේ දරුවෝ කරන්නේ තාත්තලාගේ දේවල් ඉදිරියට අරගෙන යන එක. ඔබ එහෙම නොවෙයි. ඇයි මේ ?

තාත්තා කිව්වේ ඔයගොල්ලෝ මගේ සින්දු කිව්වොත් ඔයගොල්ලන්ට අනන්‍යතාවක් නැතිවේවි කියලා විතරයි. අනික ඔයගොල්ලන්ට හැමදාම තාත්තාගේ හෙවණැල්ලේ තමයි ජීවත්වෙන්න වෙන්නේ කියලත්. මට මගේ තාත්තා ගැන හරි ආඩම්බරයි. එයාගේ නිර්මාණ එක්ක අපිට හැප්පෙන්න බැහැ.

ඔබ දෙයක් ගොඩනැඟුවා කියලා හිතෙන්නේ නැතිද?

අනිවාර්යයෙන්ම. ඒක තමයි මට ආඩම්බර වෙන්න පුළුවන්. මස්සිනා” බොරුකාරී සින්දු ගැන කිව්වහම අදටත් කථා කරන්නේ මං ගැන. අවුරුදු දහයක් රට ඉඳලා ඇවිදින් වුණත් මට තවම ෂෝවලට කතා කරන්න වුවමනාවක් නැහැනේ.

ලංකාවට ආවට පස්සේ ඔබව කවුරුත් දන්නේ නැහැ කියලා හිතුවා ද?

මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ. මට මං ගැන මගේ හැකියාව ගැන මාර විශ්වාසයක් තියෙනවා. තව අවුරුදු දහයක් ඉඳලා ඇවිදින් වුණත් මට ආයෙම ගේම ගහන්න පුළුවන්. මට සින්දු ලියන්න පුළුවන්. සින්දු හදන්න පුළුවන්. අනේ මම අනාථවෙලා කියන තැනට මම කවදාවත් වැටෙන්නේ නැහැ. කාගෙන්වත් යැපෙන්න වුවමනා නැහැ. මට මං ගැන හරි ආඩම්බරයි. හෙට වෙනකොට මට මියුසික් බැරිවුණොත් මම වෙන මොකක් හරි කරනවා. මම මාව තක්සේරු කරන තැන ඉතා විශාලයි. වෙන ආර්ටිස්ලාට මිලියන ගාණක් තියෙන වීව්ස් මට අදාළ නැහැ. අද කේෂ්ත්‍රයේ ඉන්න කාටවත් මගේ ලෙවල් එක නැහැ. අද ඉන්න ටොප් දහදෙනා අරන් බලන්නකෝ.

ඒගොල්ලොන්ගේ සින්දු ලියලා තියෙන්නේ කීයෙන් කීදෙනා ද? කවුරුත් නැහැ. මට වීව්ස් දහය නම් ඇවිත් තියෙන්නේ ඒක මම ලියපු සින්දුවලින්. මම කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැහැ.

ගයියාට මැච් එකක් ගහන්න පුළුවන් ?

මට ඇත්තටම පුළුවන්. අම්මපා මට මේකේ ඉන්නවුන්ව ගේමක් නැහැ. ඔයා හිතන්නේ මස්සිනා” බොරුකාරී” ටිකෙන් ටික” වරෙන් යන්න ගීත ජනප්‍රිය නැහැ කියලා ද?. ඔය සින්දු තවම මිනිස්සු අහනවානේ. ඒ විතරක් නෙමෙයි මම ස්ටේජ් එකට නැග්ගහම මම වගේ ෂෝ එකක් දෙන්නේ නැහැ වෙන කවුරුවත්. මම දන්නවා. ඒක නිකම් ඇවිල්ලා නැහැ. ඒකට හැමදාම මහන්සි වෙනවා. මට ටැලන්ට් එක හරි පොඩ්ඩයි තියෙන්නේ. ඒක වැඩිදියුණු කරගන්න හරි මහන්සි වෙනවා.

මේ රැල්ලත් එක්ක ඔට්ටුවෙන්න සූදානම් නැතිද?

රැලි එක්ක යන්න හදන්නේ තමා ගැන ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු. ඒගොල්ලන්ට නිතරම බයයි. ඒ ගොල්ලන්ව අමතක වේවි කියලා. මම එහෙම බයයි නම් අවුරුදු දහයක් ඇමරිකාවට ගිහිල්ලා ආපහු එන්නේ නැහැනේ. මම යනකොටත් මිනිස්සු කිව්වේ අපරාදේ කියලා, එපා වෙනවාට වැඩිය අමතක වෙන එක හොඳයි. මාව අමතක වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා සින්දු හදලා ජනතාව අතරට යන්න.

සින්දු බූස්ට් කරලාම නැතිද?

එක බූස්ට් එකක් ගහපු සින්දුවක් නැහැ. කාටහරි ඒක පෙන්වන්න පුළුවන් නම් මම හෙට සින්දු කියන එක නවත්වනවා. එක රුපියලක් කාටවත් ගෙවලත් නැහැ. කරන්නෙත් නැහැ. කාටවත් කොටගවුම් අන්දවලා එහෙම් මෙහෙන් කෑලි පෙන්වන්න ඉන්ස්ටර්ග්‍රෑම් එකේ හතුමල් පිපෙනවා වගේ ගැහැනු ළමයින්ට කියවලා සින්දුවලට ඩාන්ස් කෑලි කරවන්නේ නැහැ. කවදාවත් කරන්නෙත් නැහැ. නිර්මාණශීලිත්වය බංකොලොත් මිනිස්සු තමයි එහෙම කරන්නේ. කලාව ඇඟේ නැති මිනිස්සු එහෙම කරන්නේ. ඔය සින්දු සතියයි දෙකයි. මගේ සින්දු අදටත් ජනප්‍රියයි. මේ එන සින්දු භාගෙට භාගයක් ගහන්නේ ටික්ටොක්වලටයි. ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ විදිහ. නමුත් මම කියන්නේ ඒගොල්ලන්ට මගේ නිර්මාණකරණයත් එක්ක කොහෙත්ම හැප්පෙන්න බැහැ. ඒක මම දන්නවා. ඒ ගොල්ලොත් දන්නවා. මම කාටවත් බය නැහැ.

දිනේෂ් විතාන
ඡායාරූප : අරන්ත සිරිමාන්න

advertistmentadvertistment
advertistmentadvertistment