ඇස ඇස සොඳුරු රුවමය බලන් බැසගිය සඳක අරුමය!

212

හෙන්රි ජයසේනයන්ගේ රංග කලා ජීවිතයේ සමාරම්භය 1950 දසකයේ පමණ සිදු වෙයි. එකල ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නමැති ප්‍රාථමික විදුහලක ඉංග්‍රීසි ගුරුවරයෙකි. පාසල වෙනුවෙන් ජානකී නමැති නාට්‍යය නිෂ්පාදනය කළ ඔහු ඉනික්බිතිව සිය ඉරණම බවට පත්ව තිබූ රංග භූමිය දෙසට ඇදී ගියේය.

නොවැම්බර් 11 වැනි දිනට යෙදුනු හෙන්රි ජයසේනයන්ගේ 14 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි.

විසිවන සියවස අගභාගයෙහි මෙරට බිහිව, සාහිත්‍ය කලා ක්‍ෂෙත්‍රයන් නන් අයුරින් ප්‍රභාවත් කළ අග්‍රගණ්‍ය කලා ප්‍රාඥයන් ස්වල්ප දෙනා අතරට නිසැකයෙන්ම අයත් වන්නා වූද ඒ මහඟු සද්කලාවට විශිෂ්ට සම්ප්‍රදානයන් කළා වූද, හෙන්රි ජයසේන නම් වූ මහා පුරුෂයාණෝ දැයෙන් සමුගෙන ගොස් සිටිති. හෙන්රි ජයසේනයන්ගේ අසාමාන්‍ය රංග කලා පෞරුෂයද සියුම් පරිකල්පනයද කවර යුගයක කවර දේශයක වුවද සුදුර්ලභව පහළ විය හැකි භාග්‍යයකි. අඩ සියවසක් ඉක්මවමින් නන් විසිතුරු කලා භූමි ඔස්සේ නොසිඳී ගැලු ගඟක් සේ වූ හෙන්රි ජයසේනයන්ගේ නිර්මාණ මෙරට රසික හද නිවා සුවපත් කළ ශාන්තියක්ම විය.

ජයසේනයෝ කෙලෙස මෙවන් විකුම් පෑවෙ`ා්දැයි මම දැනුදු විස්මයට පත්වෙමි. ඔහු පිළිබඳ මගේ ධාරණාවන් තිස්වසරකට වැඩිය. කුමර වියෙහි නමින් දැනගත් ජයසේනයෝ පසු කලෙක අපට කල්‍යාණ මිත්‍ර වූහ. ඉඩ ලද හැම විටෙකම අපි ඔවුන්ගේ සමාගමට ප්‍රියවීමු. ජීවිතය පිළිබඳ දැනුමෙන්ද විශ්ව සාහිත්‍යයේ ඇසුරෙන්ද පුබුදුවූ සෞන්දර්ය මනසක් ඔහු සතු විය.

කලකට පෙර ස්වාධීන රූපවාහිනිය සඳහා එකල එහි සභාපති වූ නිව්ටන් ගුණරත්නයන්ගේ ඇරයුමෙන් කරන ලද උරගල නම් විචිත්‍රාංගයක් සඳහා අපි හෙන්රි ජයසේනයන්ගේ ජීවිතයෙන් බිඳක් අසා දැන ගතිමු. එදා අප ඇසූ බොහෝ දේ මෙවේලේත් නොමැකී අප මනසෙහි රැව්දෙයි. කතාවට වන් කල්හි ඔහු සොඳුරු කතාකරුවෙකි.

ඇස ඇස සොඳුරු රුවමය බලන් බැසගිය සඳක අරුමය!

ඔහු අප සමග සඳහන් කළ පරිදිම ඔහු ගමෙන් නගරයට ආ අයෙකි. නාගරික සංස්කෘතියේ ව්‍යාජ සාටෝපවත් ජීවිතය ඔහුට කිසි දිනක ප්‍රිය නොවීය. ඒ අව්‍යාජ ගුණයත් නිරහංකාර විලාසයත් ඔහුගේ ජීවිත දැක්ම විය. ගම යනු හිසමත තබා පූජා කළ යුතු ප්‍රපංචයක් නොවන අතරම නගරය ද අපේක්‍ෂා භංගත්වයේ මරු කතරක් නොවන බවද ඔහු නිරන්තරවම කළ අවධාරණයකි. එමතු නොව ඔහුගේ ඇතැම් නිර්මාණ තුළට ද ඒ ගම ඇතුළුවී තිබිණි.

ගැමි ගොවි පරිසරයක සිතින් ඇවිද යමින් ලියන ලද නාට්‍ය පිංචක් වූ “තවත් උදෑසනක්” නමැති ඔහුගේ නිර්මාණයම එයට හොඳම සාක්ෂියකැයි මම සිතමි. වැස්ස, නියඟය, මෙන්ම ගොවි ජීවිතයෙන් බින්දු මාත්‍රයක්ද එයට විෂය වී ඇතැයි මම සිතමි. ඒ අත්දැකීම පිළිබඳ අප විමසු කල්හි ජයසේනයන් කියා සිටියේ නළල රැළි ගැහෙන නාට්‍ය ඉල්ලා සිටින විදග්ධ ප්‍රේක්‍ෂකයන්ට වඩා ගැමි රඟමඬල සිහියේ තබාගෙනම “තවත් උදෑසනක්” රචනා කළ බවය.

හෙන්රි ජයසේනයන්ගේ රංග කලා ජීවිතයේ සමාරම්භය 1950 දසකයේ පමණ සිදු වෙයි. එකල ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නමැති ප්‍රාථමික විදුහලක ඉංග්‍රීසි ගුරුවරයෙකි. පාසල වෙනුවෙන් ජානකී නමැති නාට්‍යය නිෂ්පාදනය කළ ඔහු ඉනික්බිතිව සිය ඉරණම බවට පත්ව තිබූ රංග භූමිය දෙසට ඇදී ගියේය.

සිංහල නාට්‍ය කලාවේ පුනරුත්පත්තිය ලෙස සම්භාවිත මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමෙ නාට්‍යයට සම්බන්ධ වන ජයසේනයෝ මනමෙ කුමරු ලෙසද රඟපෑමේ භාග්‍යය අත්පත් කර ගත්හ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුර ඔහුගේ රංග කුතුහලය වැඩූ බවද ඔහු අප සමග කියා ඇත. ශෛලිගත රංග සම්ප්‍රදාය තුළ කරන ලද අපූර්වය අත්දැකීමක් ලෙස කුවේණි රචනා කළ ජයසේනයෝ එයින් වඩාත් ප්‍රේක්‍ෂක හා විචාරක අවධානයටද පාත්‍ර වූහ.

මානව දයාවෙන් ද ස්ත්‍රීත්වය පිළිබඳ සනාතන භක්ති පූර්වක ගෞරවයෙන්ද ලියා රඟදක්වන ලද නාට්‍යයක් ලෙස මම කුවේණි දකිමි. ලංකා ඉතිහාසයේ එන අභාග්‍ය සම්පන්න ගැහැනියකගේ විලාපයන් මනසින් අසන ලද මුනිවරයකු මෙන් කුවේණිය අප ඉදිරියට එවන හෙන්රි ජයසේනයෝ ඇයට සිදුවූ ඓතිහාසික අසාධාරණයට යුක්තිය ඉටු කළහයිද මම සිතමි.

සිංහල රංග භූමියට බර්ටෝල් බ්‍රෙෂ්ට් හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනැයි මගේ මතකය කියයි. එය එසේ නොවූවද මගේ පරපුරේ රසිකයන් නම් ප්‍රථම වරට බ්‍රෙෂ්ට් හඳුනා ගත්තේ හෙන්රි ජයසේනයන් විසින් රංගගත කරන ලද හුණුවටයේ කතාව නිසා බව මම ලියා තබමි. හුණුවටයේ අසඩක් ලෙස රඟපෑ ඔහුත් ගෲෂා ලෙස රඟපෑ ඔහුගේ පියඹ මානෙලුත් අප හද තුළ සදා ජීවත් වන්නාහුය.

සිය නාට්‍ය කුතුහලය සංසිඳුවා ගන්නට ඔහු සෝවියට් රුසියාවේ මෙන්ම එංගලන්තයේ හා ජර්මනියේද සංචාරය කළේය. ඒ යුනෙස්කෝ ශිෂ්‍යත්වයක් ලබා ගෙනය. වේදිකාව හා රංගනය පිළිබඳ ඔහුගේ අවබෝධය හා දැනුම සියුම් වූයේද එම සංචාරවලින් බව ඔහු සඳහන් කර තිබිණි.

ඔහුගේ “මනරංජන වැඩ වර්ජන” නමැති නාට්‍යය නිසා ඔහු විසින් මුහුණ දෙන ලද බව කියන අත්දැකීම් වඩාත් අමිහිරි බව ඔහු වරක් මා සමග කීවේය. ඒ වකවානුවේ ඔහු වඩාත් ඇසුරු කළ වමේ මිතුරෝද මනරංජන වැඩ වර්ජන දෙස වපරැසින් බැලූහ. එහෙත් ජයසේනයන් සඳහන් කළේ ලිපිකරුවකු ලෙස ගෙවූ ජීවිතය හා මොස්කව් නගරයේදී කම්කරු වැඩවර්ජන පිළිබඳ පළවූ වාර්තා කියවීමෙනුත් එම නාට්‍ය බීජය තමා තුළ පිළිසිඳ වැඩුණු බවය. මගේ අදහස නම් එම නාට්‍යය අදටත් අදාළ වන්නක් බවය.

මවිසින් ඔහුගේ “අපට පුතේ මගක් නැතේ” නාට්‍යය නරඹන ලද්දේ මා පේරාදෙණි සරසවියෙහි ඉගෙන ගනිමින් සිටි කාලයේදීය. තරුණ ශිෂ්‍යයන් ලෙස සිටි අප එදා එම නාට්‍යයට එරෙහිව ඝෝෂා කරද්දී හෙන්රි ජයසේනයන් එලිමහන් රඟහලෙහි රවුම් වේදිකාවට නැගී කතා කළ අයුරු මට මතකය. පසු කලක මම මේ පුවත ඔහුට කීවෙමි. ඔහු මහ හඬින් සිනාසෙමින් කීවේ අදටත් ඒ අභාග්‍යය සරසවිය තුළ සිදුවන බවය. සැබැවින්ම සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස් මෙන්ම බැටන් ප්‍රහාරද නොඅඩුව ලැබෙයි. විරැකියාවද එදාටත් වඩා වැඩිය.

හෙන්රි ජයසේනයන්ගේ සමාජ දේශපාලන දැක්මෙහි විශිෂ්ටතම නිදසුන් හා අග්‍රඵලයන් ලෙස මා නම් දකින්නේ “මකරා” හා “දිරිය මවයි” ඉතා පැහැදිලිවම දේශපාලන නාට්‍යයක් වන මකරා දරදඩු පාලනයෙහි අමනකම්ද අයුක්තිය ඉවසා සිටින නිවටයන්ගේ දුබලකම්ද ආත්මාර්ථකාමි සමාජයක අනතුරද ප්‍රබලව සංවාදයට ලක් කරන නිර්මාණයකි. සෝවියට් දේශයේ විසූ යෙව්ජිනි ෂවාත්සේ විසින් ලියූ මෙම නාට්‍යය කවර සමාජයකට වුවද අදාළ වන්නකි. ‘දිරිය මව සහ ඇගේ දරුවෝ’ යුද්ධයේ පීඩනයට මැදිවන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ ශෝකාන්තයකි.

නාට්‍ය රචකයකු, නිෂ්පාදකයකු මෙන්ම රංග ශිල්පියකු ලෙසද සිංහල වේදිකාව එකෙලිකළ හෙන්රි ජයසේනයන්ගේ රංග පෞරුෂයෙහි විශිෂ්ටත්වය සිංහල සිනමාවේ මෙන්ම ඉනික්බිතිව රූපවාහිනි මාලා නාටකයන්හිද දිස්විය. වසර හතළිහක පමණ කාලයක් සිනමාවේ රැඳුණු ඔහු චිත්‍රපට විසිගණනක පමණ චරිත නිරූපණය කර ඇති බව මගේ මතකයයි. චිත්‍රපට නළුවකු ලෙස ඔහුගේ පරම රමණීය භූමිකාව ගම්පෙරළියේ පියල් වුවද දහසක් සිතිවිලි, බැද්දේගම. සොල්දාදු උන්නැහේ, හඳයා අමතක කළ නොහැක.

ඇස ඇස සොඳුරු රුවමය බලන් බැසගිය සඳක අරුමය!

ගම්පෙරළියේ පියල් ලෙස රඟපෑ ඔහු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මනස තුළ උපන් පියල් අපේ දෑස් අබියසට රැගෙන ආ අයුරු විස්මය දනවයි. වැඩවසම් සමාජයේ කර්කශ සිනා සරදම් ඉවසමින් නන්දා සමග මේ රටේ සමාජ සංස්කෘතිය ඔස්සේ පා තබන ඔහුගේ විලාසය මොනතරම් රමණීය අත්දැකීමක්ද? පියල්ගේ අධ්‍යාත්මය කොට්ට උරයක් මෙන් විවර කරන අසාමාන්‍ය චරිතාංග නළුවකු ලෙස ඔහු සිනමා ඉතිහාසය විචිත්‍ර කළ බවද මම ලියා තබමි.

අඩ සියවසක් ඉක්මවූ ඔහුගේ රංග කලා පෞරුෂයේ හා නිර්මාණ කුසලතාවයන්ගේ අපූර්වත්වය රූපවාහිනියටද ලැබිණි. එහෙත් ඒ සරල ජනප්‍රිය නාට්‍යයන්හි ඔහුට අමුතු යමක් කළ හැකි වීදැයි මම නොදනිමි. බොහෝ දෙනෙක් සඳහන් කරන “සුදුසීයාගේ” චරිතයෙහි වුවද ගැඹුරු රංගනයකට අවකාශ තිබිණිද? රූපවාහිනිය සම්බන්ධයෙන් මම ඊට වඩා විශේෂත්වයක් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ගෙවූ කාලය තුළ දකිමි. ඒ රූපවාහිනිය සඳහා විශේෂාංග හඳුන්වා දීමෙන් හා හොඳ නාට්‍ය නිර්මාණ කීපයක් සඳහා අනුබල දීමෙන්ය. රූපවාහිනි විශේෂාංගවල ගුණාත්මක භාවය වර්ධනය කිරීමට ඔහු වෙහෙස ගත් බවට ඒ යුගයේ සිටි අය සාක්‍ෂි දරති.

හෙන්රි ජයසේනයන්ගේ නිර්මාණ ජීවිතය පසුපස මෙන්ම ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළද ඔහු අත් නොහැරම සිටි කෙනෙක් ලෙස ඔහුගේ ප්‍රිය බිරිඳ මානෙල් ජයසේන ගැනද සිහිපත් කළ යුතුය. වරක් හෙන්රි ජයසේනයෝ බරපතළ ව්‍යාධියකින් පීඩාවට පත් වූහ. ඒ සියලු තන්හි ඔහුට දිරිය මවක් සේ මානෙල් අසල රැඳුණාය. ඇය ඔහුගෙන් සමුගෙන ගියත් මානෙල් යනු ඔහුගේ ජීවිතයම බව මා සමග ද කියා ඇත. වේලාසනින්ම ඔහුගෙන් සමුගෙන ගිය මානෙල් වෙනුවෙන් රැඳුණු කඳුළ ඔහුගේ හද කොනක වූ බවද මම දනිමි.

හෙන්රි ජයසේනයන්ගේ දේශපාලන බැඳීම් ගැන මම නොදනිමි. එහෙත් ඔහු තුළ ඉතා ගැඹුරින් සනිටුහන් වී තිබුණේ ‘ලෝකය වෙනස්විය යුතුය. ලෝකය වෙනස් කළ යුතුය. යන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේම ආකල්පය යැයි මම සිතමි. සිය ජීවිත සැඳෑවේ හුදෙකලාව දුරලන්නට මෙන් ඔහු දිවයින පුවත්පතටද කලක් තීරුවක් ලියුවේය. ඒ දිනවලදී ඔහු නිතර නිතර හමුවූවා පමණක් නොව ජීවිතය හා මනුෂ්‍යත්වය ගැන ඔහුගේ සුනිමල සිතුම් පැතුම්ද මැනවින් දැන ගත හැකි විය.

දැන් ඒ සියල්ල අතීතයට එක්වූ මතකයන් පමණි. ජීවන තක්සලාවෙන් ඔප මට්ටම් වූ සෞන්දර්ය යාත්‍රිකයකුගේ නිර්මාණ චාරිකාව අවසන් වී තිබේ. දයාව, ආදරය, මෛත්‍රිය, ප්‍රේමය සමග ජීවත්වූ අපූර්ව මුනිවරයෙකු දිවි රඟමඬලින් බැස ගොසින්ය. රසිකයන් ආදරයෙන් ළංවූ රසවතකු නික්ම ගොසින්ය.

හෙන්රි ජයසේන ලෙස හැඳින්වුවද ඔහුගේ නියම නම බස්තියන් කෝරලගේ හෙන්රි රුද්‍රිගු ජයසේන විය. ගම්පහ බැන්ඩියමුල්ලේදී 1931 ජුලි 06 වැනිදා උපත ලද ඔහු 2009 නොවැම්බර් 11 වැනිදා සිය එකම පුතු සුධාරකද හැර ගියේය. රඟමඬල එළිකළ මහා පහන් ටැඹ සිඳිණි, එහෙත් ඉන් ලද එළිය හෙටත් අඳුර දුලමින් සුදිලෙනු ඇත.

● ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment