සුව සේවයේ කුණු වූ (ප්‍රති) දේහ

494

ඉමියුනොග්ලොබියුලින් රුධිර පරීක්ෂාවක් මගින් සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ අපගේ රුධිරයේ ඇති ඉමියුනොග්ලොබියුලින් ප්‍රමාණය මැන බැලීමයි.

ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ ලෙසද හඳුන්වනු ලබයි. ප්‍රතිදේහ යනු අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරස් සහ බැක්ටීරියා වැනි විෂබීජවලට එරෙහිව සටන් කිරීම සඳහා නිපදවන ප්‍රෝටීනය. ඒ අනුව බලන කල්හි රෝගීන් සඳහා මේ කියන ඉමියුනොග්ලොබියුලින් අත්‍යවශ්‍ය ඖෂධයක් බවට අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අර්බුදය වන්නේ මෙකී ඖෂධය ලංකාවට ගෙන ඒමේදී සිදුව ඇති
ගැටලුසහගත තත්ත්වයයි.

ඇත්තටම ගතහොත් එම ගැටලුසහගත තත්ත්වය යනු වංචාවක් යැයි හඳුන්වාගැනීම වඩා ලෙහෙසිය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි මිලදී ගැනීම් ලෙස ඉමියුනොග්ලොබියුලින් නම් මෙම එන්නත් ඖෂධ වෑල්ව් 2200කට වැඩි ප්‍රමාණයක් ගෙන්වා ඇති අතර ඉන් 2000ක්ම මේවන විටත් රෝගීන් සඳහා ලබා දී තිබේ.

අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මහා ඖෂධ ගෙන්වීමේදී පරිමාණයෙන් දූෂණ, වංචා සිදුවන අතර තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම ගැන ඕනෑතරම් කතාබහට ලක්වී තිබේ. මේ මෑතකදී අපේ රෝහල්වල භාවිත කරන ලද නිර්වින්දන ඖෂධයක් හේතුවෙන් රෝගීන් කිහිපදෙනකුම සදහටම නිර්වින්දනය වී වැළලිණි.

අප දැන් මේ සාකච්ඡාවට බඳුන්කරන ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වීමද මහා පරිමාණ වංචාවක් බවට කරුණු හෙළිදරව්වෙමින් තිබේ. මේවා ගෙන්වූ සැපයුම්කරු මේ වන විටත් අත්අඩංගුවේ පසුවේ. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරුන් වන වෛද්‍යවරුන් දෙදෙනකු, ගණකාධිකාරවරයකු සහ තොග පාලකවරයකුද අත්අඩංගුවට පත්වී හමාරය. එහෙත් මේ අතරට එක්විය යුතු සැපයුම් අංශයේ වෛද්‍යවරයකු මේ වන විටත් රටින් පලාගොස් අවසන්ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මේ මහා වංචාවන්ට වැට බැඳීම සඳහා යහපාලන රජය සමයේ ගෙන එනු ලැබූ ඖෂධ ප්‍රතිපත්තිය හේතුවනු ඇතැයි එකල බොහෝදෙනකු පාරම්බෑවද ඉන් ද ඵලක් වී නැතැයි මේ කියන චංචාවෙන් තහවුරු වේ. අප රට බංකොලොත් වී පිටරටින් කිසිවක් ගෙනඒමට නොහැකිව නන්නත්තාර වී සිටියදී ඉන්දියානු ණය ක්‍රමය යටතේ ගෙන්වන මෙවැනි ඖෂධ මගින්ද නිලධාරීන් ගසා කෑම ඉතා නිර්දය ලෙස පළමුව විවේචනය කිරීමත් දෙවනුව ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් තෙවනුව එම වංචා යළි යළිත් නොවීමට අවශ්‍ය පියවර ගැනීම අපේ රටේ නායක කාරකාදීන්ගේ පරම යුතුකම විය යුතුව ඇත. එහෙත් එය මේ තාක් දුරට ඉටු නොවීම හේතුවෙන් ජනතාව අපා දුක් විඳින තත්ත්වයට පත් වී ඇත.

අප මේ කියන පළමුවෙන් විය යුතු නිර්දය විවේචනය එල්ල කරන විට නිතැතින්ම සිහියට නැගෙනුයේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලය. ඔහු කොතරම් විශ්වාසය පළුදු කරගත්තාද කියතහොත් දොස් පරොස් පමණක් නොව ඔහු විශ්වාසභංගයක්ද කරේ දමාගෙන ඉන් නොනැවතී ඇමැතිකමද ගස්සා ගත්තේය. ඇමැතිවරයකු යනු අමාත්‍යාංශයක ඉහළම සිටින පුරුක වන බැවින් ඔහු මෙලෙස කලින්ම කොළේ ඉරා ගත් විට ඔහුට පහළින් සිටින නිලධාරීන් තවත් කොළ දහයක් පහළවක්වත් ඉරා ගනී. ඔවුනගේ මේ ඉරාගැනීම් වලින් අවසානයේදී රටේ ධනය ද නැති නාස්ති වී ජීවිත ද මරණයෙන් කෙළවර වීම ගැන අහන්න දෙයක් නැත.

වර්තමානයේ මේ අමාත්‍යාංශයට පත්වී ඇත්තේ කීර්තිමත් යැයි තවමත් හැඳින්විය හැකි රිචඩ් පතිරණගේ පුත්‍ර රමේෂ් පතිරණය. ඔහු පත් වී මේ දක්වා සති කිහිපයක් ගතවන මේවන විටත් සිදු කරමින් සිටින්නේ මෙම වෛද්‍ය සැපයුම් ජාලය නිසි ලෙස විනිවිදභාවයකට ගෙන ඒම බව ඔහු ප්‍රකාශ කළේය.

එසේ නම් මේ කියන ආකාරයට වෛද්‍ය සැපයුම්ජාලයේ හිල් බොහෝ ඇති බව තහවුරුය. මේ සැක සහිත ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වීමේ වංචාවේ තරම සාමාන්‍යයෙන් අපේ රටේ මීට පෙර සිදු වූ ඉදිරියටද විය හැකි සීනි වංචාව හා සමාන බරපතළ මට්ටමේ දූෂිත ක්‍රියාවකි. එසේනම් අපට මේ ගැන කිව යුතුව ඇත්තේ මේ තරම් දූෂිත ක්‍රියාවක් වෛද්‍ය සැපයුම්කරුවකුට කළ නොහැකි බවය. එනම් මෙය ඖෂධ ගෙන්වීමේ ඇති චෞර වළල්ලේ තවත් එක් කුඩා ගනුදෙනුවක් පමණක් බවය. මෙම ඖෂධය සැපයීමේදී ඖෂධ නියාමන අධිකාරිය මගින් ඖෂධ ගෙන්වීමේදී ලබාදිය යුතු සහතිකය පවා ලබා දී නැත. එසේ අනුමැතියක් නැතුව ගෙන්වා බෙදාහරින ලද එම ඖෂධ තොගය සඳහා කෝටි ගණනක මුදලක් ද ලබා දී තිබේ.

මේ කියන ආකාරයට අනිසි ලෙස ක්‍රියා කරන සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ඒවාට අනුබල දෙන්නන් නීතියේ රැහැනට ගෙන දඬුවම් ලබා දීම අනිවාර්ය කරුණක් වන අතර සෞඛ්‍ය සැපයුම් දාමය විනිවිද දැකිය හැකි නිවැරදි ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය වේ. ඒ අතරතුර අපට අවශ්‍ය ඖෂධ රට තුළ නිපදවාගැනීම තවත් අත්‍යවශ්‍යයෙන් කළ යුතු කරුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment