දශක හතක් ඉතාමත් වටිනා කුළු බඩුවක් වූ කුරුඳු චීනයට අපනයනය කර ඇත්තේ දර ලෙස

තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය අතරේ රටේ ඉහළම අධිකරණය රට බංකොලොත් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුව ප්‍රධාන කරුණු තුනක් මත පදනම් වී ඇත. ඒ (1) බදු කපා හැරීම (2) රුපියල කෘතිමව රඳවා ගැනීම සහ (3) නිසි අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගැනීම.

විනිසුරුවරුන් 5 දෙනකුගෙන් 4 දෙනකු (අග විනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළුව) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම දේශපාලන නායකත්වය සහ ආර්ථික දිශානතිය තීරණය කළ කණ්ඩායම (එවකට මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළුව) 2019/2020 කාලය තුළ අනුගමනය කළ ප්‍රතිපත්තීන් හේතුවෙන් රට බංකොළොත් වූ බවට තීරණය කර ඇත.

අර්බුදයට ප්‍රධානතම පිළියමක් ලෙස වික්‍රමසිංහ -රාජපක්ෂ ක්‍රියාත්මක කර ඇත්තේ ක්‍රියාත්මක බදු වැඩි කිරීම සහ නව බදු හඳුන්වාදීමයි. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් නොවැම්බර් 21 සහ 22 ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලට එක්වෙමින් පිළිවෙළින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විදේශ අමාත්‍ය අලි සබ්රි අවධාරණය කළේ බදු අනුපාතිකය වක්‍ර බදු 80%ක් සහ ඍජු බදු 20%ක් ලෙස මෙන්ම රාජ්‍ය ආදායමේ අනුපාතය 8.3% ලෙස තබාගෙන රටකට ඉදිරියට යෑමට නොහැකි බවයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එම තීන්දු තීරණ ගනු ලැබූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන්ය.

එම පසුබිම තුළ වර්තමාන වික්‍රමසිංහ – රාජපක්ෂ රජය මෙන්ම පෙර පැවති ආණ්ඩු බදු අයකර ගැනීම සම්බන්ධ ක්‍රියාවලියේදී හැසිරෙන ආකාරය විමසා බලමු. ශ්‍රී ලංකාව බංකොළොත් වීමටද මෙම තත්ත්වය බරපතළ ලෙස හේතු වූ බවට කිසිදු සැකයක් නැත. බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආණ්ඩු (කුමන පක්ෂය බලයේ සිටියත්) සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව කිසිදු විශ්වාසයක් තබාගත නොහැක. අයවැය ලේඛණය හුදු ලියැවිල්ලක් බවට පත්වී තිබෙන්නේ බදු යෝජනා ක්‍රියාවට නැංවීමට කිසිදු රජයක් අවංක උත්සහයක් නොගන්නා නිසාය. එලෙසම අතිශය දූෂිත රාජ්‍ය සේවය මහා භාණ්ඩාගාරයට හිමි විය යුතු බදු, දඩ සහ පොලිය අදාළ ආයතන සහ පුද්ගලයන්ගෙන් අයකරගැනීමට කටයුතු නොකරන නිසාය. තම වගකීම සිතාමතාම පැහැර හරින නිසාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස 2024 වසර සඳහාවූ අයවැය නොවැම්බර් 13 වැනි දින ඉදිරිපත් කිරීමෙන් දින දෙකකට පසුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) දේශීය අදායම් දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී අවධානය යොමුකළ කරුණු කාරණා අවධාරණය කරන්නේ සමස්ත ක්‍රියාවලියේ කඩාවැටීමයි.

රාජ්‍ය ආදායම ප්‍රධාන වශයෙන් එකතු කර ගනු ලබන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව විසිනි. ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ අයවැය හරහා සහ එයින් පිටත පනවන බදු නිසිලෙස අයකර ගැනීම මත බව අමුතුවෙන් කිවයුතු නොවේ.

දෙවන වර කෝපා කමිටුවේ නායකත්වය දරන ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීම සිදුවිය. එහිදී අවධාරණය වූ කරුණුවලින් ප්‍රධාන වූයේ (1) තවමත් අය නොකර ගත් බදු, ඊට අදාළ දඩ සහ පොළිය රුපියල් බිලියන 943 දක්වා වැඩි වී ඇති බවයි. එම මුදල 2022 ජුනි මාසයේ 30 වැනි දින රුපියල් බිලියන 773 වූ අතර 2022 දෙසැම්බර් 31 වනවිට රුපියල් බිලියන 904 විය. එය තවදුරටත් වර්ධනය වී ඇත. ආණ්ඩුව දැන්වත් ක්‍රියාත්මක නොවුනහොත් අයකර නොගත් සමස්ත මුදල 2024 අවසානයේදී රුපියල් බිලියන 1,000 පසුකරනු ඇත.

(2) මහජනතාව ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (Value Added Tax /VAT ) නිසි පරිදි මහා භාණ්ඩාගාරයට ලැබෙන බවට විශ්වාසයක් කෝපා සභාපතිවරයාට නැත. මෙය ඉතාම කනගාටුදායක සහ අසතුටුදායක තත්ත්වයකි. වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව 2022 සැප්තැම්බර් 01 දින 12% වූ එම බද්ද 15% දක්වා වැඩි කළේය. එම බද්ද 2024 ජනවාරි 01 සිට 18% දක්වා වැඩිකිරීමට අයවැයට පෙර තීරණය කර ඇති පසුබිම තුළ මෙතුවක් කල් එම බද්ද නිසියාකාරව එකතු කර නොමැති බවට කෝපා කමිටුව සැක පහළ කිරීම අදහාගත නොහැක.

(3) දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන්ම ස්ථාපිත කළ RAMIS පරිගණක පද්ධතිය අවශ්‍ය මානව සම්පත නිසියාකාරව තවමත් ලබා නොදීම නිසා තමන්ට එය භාරගෙන පවත්වාගෙන යෑමට නොහැකි බව එම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට අවධාරණය කළේය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු කෝපා සභාපති අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ විට ඔහු ප්‍රකාශ කළේ දැනට රුපියල් බිලියන 17 වැය කර ඇති මෙම පද්ධතිය මහත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

RAMIS පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් කතාකරන විට මීට කලකට පෙර විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න තමන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ තිබෙන ප්‍රශ්නයක් කෝප් කමිටුවට ඉදිරිපත් කළේය. එම දෙපාර්තමේන්තුව සහ අදාළ පරිගණක පද්ධතිය මෙහි ස්ථාපිත කළ සිංගප්පූරු සමාගම අතර අත්සන් කළ ගිවිසුම විගණකාධිපතිවරයාට ලබා දිය නොහැකි බවට ගෙන ඇති ස්ථාවරය සම්බන්ධයෙන් වික්‍රමරත්න කෝපා කමිටුවේදී ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුව අද වනතුරු ඒ ප්‍රශ්නය විසඳුවේ නැත. විසඳීමට උත්සහා කරන බවක් ද නොපෙනේ.

නමුත් සියඹලාපිටිය සහ සබ්රි අමාත්‍යවරු අවධාරණය කළේ RAMIS පද්ධතිය සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි බවයි.

රජය මුහුණ දෙන අභියෝගය

බදු ප්‍රතිපත්තියේ හිර.වී ඇති දේශපාලනය!

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායිකරණ ඒකකයේ එරන්ද කොඩිතුවක්කු හිඟ බදු, දඩ සහ පොලිය අයකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහිදී අදාළ ආයතන සහ රජය මුහුණ දෙන අතිශය අභියෝගාත්මක තත්ත්වය සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් කළේය. ඒ මෙම ලියුම්කරු කෝප් කමිටුව පසුගියදා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය විමසා සිටිය අවස්ථාවේදීය.

ඔවුන් දෙදෙනාම අවධාරණය කළේ බදු අයකර ගැනීමේදී සිදුවන ප්‍රමාදය ඇතුළුව සමස්ත ක්‍රියාවලිය ඊට අදාළ අධිකරණ කටයුතු අමතක කර කිසිසේත් සාකච්ඡා කළ නොහැකි බවයි. සියඹලාපිටිය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අයකර ගතයුතු බවට කෝප් කමිටුව සඳහන් කර ඇති රුපියල් බිලියන 943 ප්‍රමාණයෙන් 82% පමණ අධිකරණ කටයුතු තුළ සිරවී ඇති බවයි. කොඩිතුවක්කු පැවසුවේ සඳහන් කර ඇති සමස්ත මුදලින් (බදු, දඩ සහ පොලිය) රුපියල් මිලියන 167 අධිකරණ කටයුතුවලට බාහිර බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ ආර්ථික ස්ථායිකරණ ඒකකයේ ප්‍රකාශකයකු ලෙස කොඩිතුවක්කු සමස්ත ක්‍රියාවලිය ක්‍රමවත්ව වේගවත් කිරීමට රජය ගෙන ඇති පියවර අවධාරණය කළේ ‘ඉරිදා දිවයින’ ආණ්ඩුවට බදු පැනවීමට තිබෙන වුවමනාව බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ආයතන බදු දැලට හසුකර ගැනීමට උනන්දුවක් නොමතිදැයි ප්‍රශ්න කළ විටයි.

නව බදු ගෙවන්නන් හඳුනාගත යුතුය. බදු දැල පුළුල් කළ යුතුය. එය ප්‍රබල අවශ්‍යතාවයකි. නමුත් වඩාත් අවධානය යොමු කළ යුතු වන්නේ දැනට බදු ක්‍රියාවලිය තුළ සිටින ආයතන සහ පුද්ගලයන්ගෙන් නිසි පරිදි බදු අයකර ගැනීමයි. දැනට අයකර ගෙන නොමැති තව දුරටත් වේගයෙන් වර්ධනය වෙමින් පවතින බදු, දඩ සහ පොළිය අවධාරණය කර ඇත්තේ දේශපාලන පක්ෂ සහ රාජ්‍ය සේවය තම වගකීම පැහැර ඇති බවයි. එම දෙපාර්ශ්වයම තම අයිතිවාසිකම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් දැනුවත්ය. වරදක් නැත. නමුත් ජනතාවගේ අයිතිවාසිකම් සහ ‘වරප්‍රසාද’ කිසිසේත්ම සලකන්නේ නැත.

හිටපු අමාත්‍ය මහින්දානන්ද

අලුත්ගමගේ පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත බදු එකතු කිරීමට වගකිව යුතු ආයතන සම්බන්ධයෙන් මහත් ආන්දෝලණාත්මක අදහස් ප්‍රකාශ කර ඇත. නමුත් අද වනතුරු එම චෝදනා කිසිදු පරීක්ෂණයකට භාජනය වී නැත. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ද බදු එකතු කරන ආයතන නිර්දය ලෙස විවේචනය කර ඇත. නමුත් තත්ත්වයේ වෙනසක් නැත. කවුරු කවුරුත් කිසිදු හිරිකිතයක් නොමැතිව තම තමන්ගේ මෙහෙයුම් බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දිරි දීමනා වශයෙන් අදහාගත නොහැකි මුදලක් රජය ගෙවයි. අදාළ දෙපාර්තමේන්තුව කළ යුතු රාජකාරිය බරපතළ අර්බුදකාරී තත්ත්වයක පත්වී ඇති අවස්ථාවකදී දිරි දීමනා ගෙවන පදනම මුදල් අමාත්‍යාංශය පැහැදිලි කළ යුතු නොවේද? කෝපා කමිටුවේ මෙන්ම අදාළ ආංශික අධීක්ෂණ සභාවේ ද අවධානය මෙවැනි ක්‍රියාවලියකට යොමු වීම අත්‍යවශ්‍යය. ලක්ෂ 220 කින් බහුතරයක් දිනකට එක වේලක් නිසියාකාරව සපයා ගැනීමට නොහැකි දුක්විඳින රටක රාජ්‍ය සේවයේ තෝරාගත් පිරිසකට විශේෂ ආකාරයට සැලකීම වරදක් නොවන්නේද?

අපූරු හෙළිදරව්වක්

රටට හිමි විදේශ විනිමය අහිමි කරන ආකාරය පිළිබඳව මෑතකදී අපූරු හෙළිදරව්වක් මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් යදාමිනි ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කළේය. දිලුම් අමුණුගම නායකත්වය දරන ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන කොමිටිය ඉදිරියේ පාර්ලිමේන්තුවට පළමුවරට 2020 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඇතුළුවූ මන්ත්‍රීවරයා කළ හෙළිදරව්ව අතිශය බරපතළය. අවාසනාවකට කිසිදු මාධ්‍යයක නිසි අවධානය ඊට යොමු වූයේ නැත. මන්ත්‍රීවරයා පෙන්වා දුන් පරිදි දශක හතක් ඉතාමත් වටිනා කුළු බඩුවක් වූ කුරුඳු චීනයට අපනයනය කර ඇත්තේ දර ලෙස බවයි. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ ඊට සම්බන්ධ අමාත්‍යාංශ ඇතුළු යාන්ත්‍රණය මෙම තත්ත්වය වෙනස් කිරීමට මෙතුවක් කල් ක්‍රියා නොකළේ මන්ද යන ප්‍රශ්නයට පාර්ලිමේන්තුව තුළින්ම පිළිතුරක් දිය යුතුය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ එකම පුත්‍රයා වන යදාමිනිගේ මැදිහත්වීමෙන් කුරුඳු ආහාර ද්‍රව්‍යක් ලෙස චීනයට අපනයනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එය නුදුරේම සිදුවෙනු ඇත. කුරුඳු වලට නිසි මිලක් ලැබෙනු ඇත. ඇත්ත වශයෙන්ම තරුණ මන්ත්‍රීවරයා කළ මැදිහත්වීම පාර්ලිමේන්තුවට ආදර්ශයකි.

මෙය කිසිසේත්ම අතපසු වීමක් නොවේ. යදාමිනි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අකටයුත්ත මතු නොකරන්නට තව අවුරුදු 70ක් කුරුඳු දර ලෙස අපනයනය කිරීම සිදු කරනු නියතය. පාර්ලිමේන්තුව තුළ විධායකය නියෝජනය කළ /දැනට නියෝජනය කරන අදාළ විෂය භාර අමාත්‍යවරයා මෙම ‘අතපසුවීම’ සම්බන්ධයෙන් හේතු දැක්විය යුතු නොවේද?

අග්‍රාමාත්‍යවරයා ඇතුළුව මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනෙක් වර්තමාන පාර්ලිමේතුවේ සිටිති. ඉතිරි මහජන නියෝජිතයා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිය. රාජ්‍ය අමාත්‍යවරයා අයවැය විවාදයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ප්‍රශ්න කළේය. සමස්ත බදු කොල්ලයට එම දෙපාර්තමේන්තුවේ දායකත්වය ප්‍රශ්න කළේය. සියලුම නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතු බවට රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කළේය.

මන්ත්‍රීවරයා කළ චෝදනාව සුළුපටු නොවේ. විවිධ පුද්ගලික සමාගම් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට එම දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් උපදෙස් දීම මෙන්ම විශ්‍රාම යෑමෙන් පසුව එම ආයතනවල සේවයට යෑම ප්‍රශ්න කර සිටි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ රජයට බදු නොගෙවා අදාළ නිලධාරීන්ට මුදල් ගෙවීම සිදුවන බවයි. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයා ඉතාමත් වගකීමෙන් කළ ප්‍රකාශයක් වූයේ බදුවලින් නිදහස් වීම දේශපාලන මැදිහත්වීම් තුළ පමණක් කළ නොහැකි බවයි.

වරද කාගේද ?

මෑතකදී කෝප් කමිටුව රේගුව පැනවූ අපූරු දඩයක් සම්බන්ධයෙන් ආයතනයෙන් විමසුව බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බලය සහ ඊට අවශ්‍ය වෙනස්කම් කිරීමේ හැකියාව ඇත්තේ මහජන මුදල් සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව වගකිවයුතු පාර්ලිමේන්තුව මෙම අවාසනාවන්ත තත්ත්වයට වගවිය යුතු බවයි.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොගයක් තොරතුරු සඟවා ආනයනය කිරීම නිසා අදාළ ආයතනයෙන් අයකරගත හැකිව තිබූ රුපියල් මිලියන 187 ක වැට් බද්ධ වෙනුවට රුපියල් මිලියන 205 ක දඩයක් (ලක්ෂ 2050) පනවා එම මුදලින් 70% රේගුවේ සුබසාධනයට සහ නිලධාරීන්ට ත්‍යාග ගෙවීමට ස්ථාපිත කර ඇති අරමුදලට බැර කිරීම තේරුම්ගත නොහැක. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ මීට වසර ගණනාවකට පෙර සිදුවූ මෙම අපූරු ගනුදෙනුව අදටත් නිවැරදි කර නැති බවයි. රේගුව පනවන දඩයකින් 70% සුබසාධන අරමුදලට බැර කිරීම අතිශය ආන්දෝලණාත්මකය. අවාසනාවකට පාර්ලිමේන්තුවට මෙම තත්ත්වය වෙනස් කිරීමට සැබෑ වුවමනාවක් නැත.

රජයට හිමි ආදායම (බදු, දඩ සහ පොලිය) කිසිසේත්ම තෝරාගත් පිරිසක් අතරේ මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද බෙදාහැරිය නොහැක.

මුදල් අමාත්‍යාංශය මෙම අරමුදල සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුය. රේගුව පනවන සෑම දඩයකින්ම 70% ප්‍රමාණයක් සුබසාධක අරමුදලට බැර කිරීම බදු බරෙන් මිරිකී සිටින රටක කෙතරම් දුරකට සාධාරණද? මෙය එක උදාහරණයක් පමණි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මෙම ලියුම්කරු විමසීමක් කළ විට පැවසුවේ රේගුව සමඟ මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් දැනටමත් ක්‍රියාත්මක බවය.

නිවැරදි දේශපාලන තීන්දු තීරණ ගැනීමේ ශක්තියක් පාර්ලිමේන්තුවට නොමැති තාක් කල් ශ්‍රී ලංකාව බංකොළොත් තත්ත්වයේම සිටිනු ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment