වෙඩි බෙහෙත් සුවඳ තවමත් එහෙමමද?

423

2024 මාර්තු මස 31 වැනිදා ඉරිදා

(පාස්කු බෝම්බය නිමිත්තෙනි)

ආගම නමැති ආගමික ආයුධය මානව ශිෂ්ටාචාර ගමන් මගේදී මනුෂ්‍යයා විසින් සොයාගන්නා ලද උසස්ම වස්තූන්ගෙන් එකකි. සමහර ආගමිකයන්ට ආගම යනු යාත්‍රාවකි. එම යාත්‍රාවෙහි නැගී නිවන් මගට අවතීර්ණ වීම බෞද්ධයාගේ අපේක්ෂාවය; මෝක්ෂ සුවය ලබාගැනීම කතෝලිකයාගේ අපේක්ෂාවය. ඉස්ලාම් අන්තවාදියා ආගම සමරන්නේ මනුෂ්‍යයන් සංහාරය කිරීමෙනි. මෙයට අවුරුදු පහකට පෙර අප්‍රේල් 21 වන දාවක යෙදුනු පාස්කු ඉරිදා දිනය ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් සමරන ලද්දේ ලංකාවේ දේවස්ථාන තුනක බෝම්බ පුපුරවා තරු පහේ හෝටල් දෙකක හෝ තුනක විදේශික අමුත්තන් ඝාතනය කිරීමෙනි. මේ භීෂණකාරී සැමරුමේදී මියගිය පිරිස 300 කි. තවත් තිස් හතළිස් දෙනෙක් සම්පූර්ණයෙන්ම ආබාධිතව අදටත් ඇඳන්වල වැතිර සිටිති. ප්‍රාතිහාර්ය ගණනාවක් එකවර සිදුවුණොත් මිස යළි කිසි දිනකත් ඇඳෙන් නැඟිට ස්වාභාවික ජීවිත ගත කිරීමට ඔවුනට අවස්ථාව ලැබෙන්නේ නැත. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම අදටත් අවනඩුවකි. දැනගන්නට ඇති පරිදි පාස්කු බෝම්බයට කෙළින්ම සම්බන්ධ වූ අය බෝම්බ ප්‍රහාරයේදී සහ එයින් පසු මියගොස්ය. බෝම්බකරුවන්ගේ ඉතා කිට්ටු පාර්ශ්වයක් වන සාරා ජැස්මින් පමණක් නොමළ බවත් අපේ රටේ පොලිස් රාළහාමි කෙනකු අල්ලාගෙන රට පැන්න බවත් කියනු ලැබේ. ඒ එක්කම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් කියන්නේ සාරා ජැස්මින් මියගිය බව ඇගේ DNA සාම්පල මගින් හෙළිකරගත් බවය. පාස්කු බෝම්බ සිද්ධිය තවදුරටත් අල කිරීමට කැමති කට්ටිය එල්බ සිටින්නේ පළමු මතය හෙවත් සාරා ජැස්මින් රට පැන්න මතයෙහිය. බෝම්බය අමතක කර දමා නැවත වරක් ජීවිතය පටන් ගැනීමට කැමති අය කියන්නේ සාරා ජැස්මින් මළ බවය. මෙය එක්තරා තියරියකි. සමහර ප්‍රශ්න උභතෝකෝටිකයන් වූ කල්හි ඒවා විසඳන ක්‍රමයක් තිබේ. එනම් ලෝකය පටන් ගත්දා සිට ඒ ප්‍රශ්නය එසේම පැවති බව පිළිගැනීමෙනි. උදාහරණයක් ලෙස විශ්වය කවදා කෙසේ බිහිවූයේද යනුවෙන් ප්‍රශ්නයක් තිබේ. මේ ගැන සොයා බැලීම නිරර්ථක බැවින් විශ්වය එදා සිටම පැවතුනු භෞතික සාධකයක් බවත් එනිසා ඒ ගැන හිතනවාට වඩා නිවන් යන මාර්ගයක් ගැන සිතීම සුදුසු බවත් බුදුරජාණන් වහන්සේ දෙසූහ. ප්‍රශ්නයක් විසඳිය හැකි උසස් සහ කරදර අඩු ක්‍රමයක් ලෙස මේ තියරිය පාවිච්චි කළ හැකි නමුත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අතපය සහ ජීවිත නැතිවුණු මිනිසුන්ගේ ඥාතීන් ඒවා පිළිගන්නට සූදානම් නැත. පාස්කු බෝම්බකාරයන්ට පමණක් නොව ඒ බෝම්බකාරයන් පදිංචිව සිටි පාරේ ගමන් කළ අය කෙරෙහි පවා ද්වේශයක් ඇතිවන තරමට පෙරකී පිරිස දුකටත්, කලකිරීමටත්, අපේක්ෂා භංගත්වයටත් පත්ව සිටිති. මෙහිදී කීමට ඇත්තේ අවුරුදු 20 ක් පමණ පැරණි අර කතාවය. එනම් ප්‍රශ්නය අන් අය ළඟ තිබෙන තුරු උත්තරය දාර්ශනිකය. ප්‍රශ්නය තමන් වෙත ආ කල්හි දාර්ශනික වඳුරා ගසෙන් බැස යන අතර එතැන් සිට බිමට බසින්නට පටන් ගන්නේ ඒ ප්‍රශ්නය තමාට බලපාන ආකාරයට අනුව එම ප්‍රශ්නය මැඬපැවැත්වීම සඳහා බිහිවූ විෂඝෝර සර්පයන්ය.

පාස්කු බෝම්බ සිද්ධියේ නඩු කාර්යය නිමාවට පත්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් තවත් උසස් නිලධාරීන් දෙදෙනකුටත් විශාල වශයෙන් දඩ මුදල් පනවන ලදී. එහෙත් මේ දඩ පැනවීමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා කැමති නැත. පාස්කු බෝම්බය පිපිරවූ දා සිට අද දක්වාම කාදිනල්තුමා ඉල්ලන්නේ මෙහි සැබෑ වරදකරුවන්ට දඬුවම් දෙන ලෙසය. එදා ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඉලක්ක කරගන්නා ලද්දේ කතෝලික ප්‍රජාව බව අපි කලින්ද කීවෙමු. පසුගියදා රුසියාවේ රඟහලකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 160 ක් පමණ ඝාතනය කිරීමෙන් පසු කිතුනුවන් පාදක කරගෙන එම පහරදීම සිදුකළ බව ISIS සංවිධානය නිවේදනයක් මගින් පැවසීය. එම ප්‍රහාරය ISIS සංවිධානය විසින් එල්ල කරන ලද්දක්ද යන්න ගැන හරියටම වැටහීමක් නැති අතර එය ISIS ප්‍රහාරයක් නොවන බවටද මතයක් පවතී. උල්කාපාතයක් අහසින් වැටුණත් එයට තමන් වගකිව යුතු බව කියමින් ලකුණු කිහිපයක් එකතු කර ගැනීම ISIS අරමුණ වී තිබේ. ඔසාමා බින් ලාදින් යනු මෙයට කලකට පෙර ඇමරිකන් රජයේ ඉත්තෙකි. මොහොමඩ් සහරාන් යනු අපේ ආරක්ෂක අංශවල ඔත්තුකාරයකු බවටත් ඔහුට ආණ්ඩුවෙන් පඩි ගෙවූ බවටත් කතාවක් අදටත් ඉතිරිව පවතී. පාස්කු බෝම්බ උභතෝකෝටිකය තවමත් ඉතාම ස්වල්ප ලෙසින් හෝ විසඳී නැත. සමහරවිට ලබන අවුරුද්දේ පාස්කු ඉරිදා දවසේත් මේ ආකාරයේම කතුවැකියක් අපට ලිවීමට සිදුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment