අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් ශූරතාව එස්.එස්.සී.ට

118

අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඊයේ (16 වැනිදා) සමත් වූයේය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටියේ දී ඊයේ පැවති අවසන් මහා තරගයේදී සෙබස්තියනයිට්ස් කණ්ඩායම ලකුණු 71කින් පරාජයට පත් කරමින් ඔවුහු එම ශූරතාවයට හිමිකම් කීහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එස්.එස්.සී. ක්‍රීඩකයෝ නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත් අතර එම ඉලක්කය හඹා ගිය සෙබස්තියනයිට්ස් කණ්ඩායමට පන්දුවාර 42කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130ක් පමණි.

එහිදී එස්.එස්.සී. කණ්ඩායම වෙනුවෙන් ක්‍රිෂාන් සංජුල ලකුණු 84 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 35ක් සහ චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 36ක් ලබා ගත්හ.

සෙබස්තියනයිට්ස් කණ්ඩායම වෙනුවෙන් චාමිකර එදිරිසිංහ ලකුණු 37ක් සහ නායක ප්‍රමෝද් මධුවන්ත ලකුණු 21ක් රැස්කර ගැනීමට සමත් වුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

එහිදී එස්.එස්.සී.කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 25කට කඩුලු 03ක් බිඳ දැමූ අතර ගිෂාන් බාලසූරිය ලකුණු 21කට කඩුලු 02ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 02ක් දවා ගත්හ.

ලකුණු සාරාංශය

එස්.එස්.සී. 201/8 (50)

ක්‍රිෂාන් සංජුල 84, ෂෙවෝන් ඩැනියෙල් 35, චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 36

පන්දු යැවීම

ඉසිත විජේසුන්දර 2/39, දුෂාන් විමුක්ති 2/39, චාමිකර එදිරිසිංහ 2/40

සෙබස්තියනයිට්ස් 130/10(42)

චාමිකර එදිරිසිංහ 37, ප්‍රමෝද් මධුවන්ත 21

ප්‍රභාත් ජයසූරිය 3/25, ගිෂාන් බාලසූරිය 2/21 නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 2/31

තරගාවලියේ වීරයා ලෙස සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ දුශාන් විමුක්ති සම්මාන ලැබීය. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස ගාල්ල ක්‍රීඩා සමාජයේ ඉරෝෂ් සමරසූරිය සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස බී.ආර්.සී. කණ්ඩායමේ මුර්වින් අභිනාෂ් ද සම්මාන ලැබූහ.

අවසන් තරගයේ වීරයා ලෙස එස්.එස්.සී. කණ්ඩායමේ ක්‍රිෂාන් සංජුල සම්මානයට පාත්‍ර වූයේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment