ගුරු – හොරා

1136

මෙවර අපොස උසස් පෙළ දරුවන් සඳහා ලබාදුන් කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරන තත්ත්වයකට පත්ව ඇත. ඊට හේතුව ප්‍රශ්න පත්‍රය දරුවන්ට ලබාදුන් පසු ගිය 10 වැනිදාම උදය වරුවේ විභාගය පැවැත්වෙන්නට පැය කිහිපයක් තිබියදී “ලීක්” වීමය. ලීක් වීම යනු සීල් කර තිබූ ප්‍රශ්න පත්‍ර බෑගය දෙබෑවී ප්‍රශ්න පත්‍රයක් බිම ඇද වැටීම නොව, කිසියම් අඳ බාල ගොන් තකතීරුවකු විසින් මෙම ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න සොරාගෙන සමාජ මාධ්‍ය ගිණුමකට බැර කර ප්‍රචාරය කිරීමයි. මේ ගොන් ඔලමොට්ටල වැඩේ සිදුකර ඇත්තේ වෙන කවරකු හෝ නොව, අම්පාර ප්‍රදේශයේ රජයේ විදුහලක උගන්වන උපාධිධාරී, උසස් පෙළ විද්‍යා ගුරුවරයකු විසිනි. (මේ අමනයා නිසා එම විදුහලේ කීර්ති නාමය නැති කරන්නට නොහැකි නිසා මෙන්ම මාධ්‍ය සදාචාරය නිසා අපි එම උතුම් විදුහලේ නාමය සඳහන් කරන්නේ නැත. අනික මේ ගොන් වස්සා කළ වැරැද්දට එම විදුහල හෝ එම විදුහලේ අනෙකුත් ගුරුවරුන් හෝ සිසු දරුවන් කිසි ලෙසකින්වත් වැරදිකරුවෝ නොවෙති.)

පාසල් ගුරු වෘත්තියට අමතරව පෞද්ගලික උපකාරක ගුරෙක් ලෙසද කටයුතු කරනවා යැයි කියන දමින්ද ලක්මාල් නමැති මේ කියන ගුරු-හොරා පාසල් වේලාවට අමතරව “ටියුෂන් චැනල් පාරක්” දමාගෙන ළමයින්ට නිසි දැනුමක් ලබාදී ගතමනාවක් සොයාගැනීම අප වරදක් ලෙස දකින්නේ නැත. රටපුරා ටියුෂන් කඩ ඕනෑතරම් තිබෙන නිසාත්, දෙකේ-තුනේ පන්තියේ සිටම මේවාට දරුවන් ඇදගෙන ගොස් ටියුෂන් දීම අද අධ්‍යාපනයකටත් වඩා දෙමව්පියන්ගේ විලාසිතාවක් බවට පත්ව ඇති නිසාත් අප එහි වරදක් දකින්නේ නැත. නමුත්, ටියුෂන් පන්ති මුවාවෙන් කුණුහරුප ඉගැන්වීමත්, ගුරු තරග ඇතිකර ළමුන් ටියුෂන් කඩවලට පොළඹවා ගැනීමත්, පාට පාට ලෝකවල ළමුන් මංමුළාකර මුදල් ගරාගැනීමත් අප අනුමත නොකරන අතර, අම්පාරේ හොර ගුරා මෙන් රජයේ නීත්‍යානුකූල විභාග ශාලාවකට රිංගා ප්‍රශ්න පත්‍ර හොරකමේ ගොස් එම ප්‍රශ්න පත්‍ර තම හිතවතුන් අතර, සමාජ මාධ්‍ය ජාලාවලට බෙදා සමස්ත ශිෂ්‍ය පරපුරට සහ විභාග ක්‍රමවේදයට ඉහඳ තබන ටියුෂන් කඩකාරයින් අප කිසිසේත් අනුමත කරන්නේම නැත. එබැවින් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගෙන සමස්ත ටියුෂන් ව්‍යාපාරයම දැඩිසේ නියාමනය කිරීමටත්, දැඩිසේ පසු විපරමකට භාජනය කිරීමටත්, විටින් විට මේවාට කඩා පැන සොයා බැලීමටත් කටයුතු කරන ලෙස අප අධ්‍යාපන බලධාරීන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මෙසේ ප්‍රශ්න පත්‍ර “ලීක්” කිරීම මීට පෙර ද සිදුව ඇති නිසාය.

සැබැවින්ම අම්පාර අධ්‍යාපන කලාපය වැනි ඈත පළාතකින් මෙවැනි අකටයුත්තක් කිසිසේත් අප අපේක්ෂා කළ දෙයක් නොවේ. අප පමණක් නොව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිවකු හෝ එවන් දෙයක් අපේක්ෂා කරන්නට නැත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මෙම ගුරා, විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමට තමාට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙසේ ප්‍රශ්න පත්‍රයක් “ලීක්” කිරීම බරපතල වරදක් ලෙස අපි දකිමු. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින වයස අවුරුදු 52 ක් වයසැති ගුරා උත්තර පත්‍ර පරීක්ෂකවරයකු ලෙසද, පිළිතුරු පත්‍රවලට ලකුණු දීමේ ක්‍රමවේදය සකස් කිරීම සඳහා මෙන්ම අතිරේක විභාග පරීක්ෂකවරයකු ලෙසද සේවය කරන අධ්‍යාපන “පකීර්” කෙනකු බවට ද හඳුනාගෙන ඇත.

එවන් සමාජ තත්ත්වයක් තිබියදී මෙම ගුරාගේ මොලේ මඤ්ඤං වූයේ ඇයි දැයි අපට නොතේරෙන කාරණයකි. වසර 20 ක ගුරු සේවා කාලයෙන් වසර 15 ක්ම උත්තර පත්‍ර පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළ ඔහුට තමාගේ ටියුෂන් පන්තියෙන් එහා ළමුන්ට මෙතරම් අසාධාරණයක් කරන්නට තරම් හිත දුන්නේ ඇයිදැයි සොයාගත යුත්තේ මොහු මානසික වෛද්‍යවරයකු ළඟට ගෙන ගොස් පරීක්ෂා කර බලාය. අඩුම තරමෙන් ඔහු උගන්වන රජයේ පාසලේ තමන්ගේ පන්තියේ ළමුන්ටවත් මෙසේ හොරකම් කළ ප්‍රශ්න පත්‍රය නොදී ඔහු එය ලබාදී ඇත්තේ තමන්ගේ ටියුෂන් පන්තියේ ළමුන්ගේ වට්ස්ඇප් ජාලයකට ය. ඒ නයින් බලන කල මොහු මොනතරම් ජරාජීර්ණ පුද්ගලයෙක්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එම ප්‍රශ්න ලැබුණු එක දැරිවියක් ඊට ප්‍රතිචාර ලෙස අදාළ වට්ස්ඇප් ජාලයේ කමෙන්ටුවක් දමා තිබී ඇත්තේ “තෑන්ක්ස් දෙයියෝ” කියාය. නමුත් ඒ එදින රාත්‍රී 7ට පමණය.

කෙසේ හෝ මේ නොහොබිනා කටයුත්තෙන් ඉතා අපහසුවෙන් කල් තබා පවත්වන ලද මෙවර (2023) උසස් පෙළ විභාගය පමණක් නොව, විභාග ක්‍රමවේදයම අවුල් වී ඇති බව පෙනේ. එසේම කෘෂිවිද්‍යා විෂය සඳහා ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙයින් කම්පනයට පත්වූවාට සැක නැත. එසේම පසුදා පටන් පැවති රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඔවුන් මුහුණ දෙන්නට ඇත්තේ ද යම් දෙගිඩියාවකිනි. එසේම කෘෂි විෂය ධාරාව කරන ලද දරුවන්ගේ විභාගය අවසන් වීම මේ අනුව තවත් මාසයකට ඇදේ. එවිට ඔවුන් යන්නට සිටි විනෝද ගමන්ද, කරන්නට සිටි තවත් අධ්‍යාපන වැඩකටයුතු ද තවත් ඉදිරියට ඇදේ. එහි පාඩුව ද පියවා ගත යුත්තේ මේ අපරාධයට වගකිවයුතු ගුරු-හොරා ගෙනි.

එසේම, මින් පසු සාමාන්‍ය පෙළ වේවා, උසස් පෙළ වේවා, පහ වසර ශිෂ්‍යත්ව විභාගය වේවා එම විභාගවලට ටියුෂන් දෙන රජයේ ගුරුවරුන් එම විභාගවලදීම තවදුරටත් විභාග රාජකාරිවලට සහභාගි නොකරවීමට ද රජය මගින් තීන්දුවක් ගත යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment