තත්ත්වයෙන් බාල ඖෂධ රට තුළ නැති බවට ප්‍රකාශ කළ නිලධාරීන් ඉවත් කරන්න – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයෙන් ජනපතිට ලිපියක්

311

තත්ත්වයෙන් බාල ඖෂධ මෙරට තුළ නැති බවට ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනයට වගකිව යුතු ඉහළ නිලධාරීන් ඉවත් කිරීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

සෞඛ්‍ය සේවාවේ නොවිසිඳී පවතින ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සාක්ෂි සහිතව කරුණු අනාවණය කළ සිය වෘත්තීය සමිති ව්‍යාපාරයට ජනාධිපතිවරයා හමුවී වර්තමාන සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් සාකච්ඡා කර ප්‍රායෝගික, සාධනීය විසඳුම් සෙවීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවන් ලබාදෙන ලෙස ද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ වනවිට වෛද්‍ය සැපයුම් පද්ධතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පැවතියත්, සැපයුම් ඒකකයෙහි දත්ත පද්ධතිය යාවත්කාලීන නොකිරීමෙන් තවදුරටත් ප්‍රශ්න පැන නැඟී ඇති බවත්, මෙම තත්ත්වය හමුවේ ප්‍රශ්න සහගත ගනුදෙනු මේ මොහොතේදී සිදුවෙමින් පවතින බවද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සිය ලිපිය මඟින් ජනාධිපතිවරයාට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment