චන්න රාජිත ඇවිළෙති – රේන්ජ් රෝවර්, සුපිරි හෝටල්, නිවාස මැති සබේ රැව්දෙයි

862

* ඇමැති කියන්නේ පට්ටපල් බොරු – රාජිත

* සියලු වංචා තවදුරටත් හෙළි කරනවා – චන්න

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යෑම සහ ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් පෙරේදා (21 දා) රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා සිදු කළ ප‍්‍රකාශය පිළිබඳව මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා ඊයේ (22 දා) කරුණු කීම හේතුවෙන් දෙදෙනා අතර පාර්ලිමේන්තුවේදී දැඩි වචන හුවමාරුවක් සහ උණුසුම් තත්ත්වයක් ඇතිවිණි.

රාජිත සේනාරත්න මහතා ඊයේ පාර්ලිමේන්තු විවාදය ආරම්භයේදී ඊට පෙර දින චන්න ජයසුමන මහතා ප‍්‍රකාශ කළ කරුණු දක්වමින් එම රාජ්‍ය ඇමැතිවරයා කී කරුණු අමූලික බොරු බවත් තමා එවකට තිබුණු ඖෂධ මාෆියාව කඩා මිල පාලනය කළ බවත් කියා සිටියේය.

අවස්ථා කිහිපයකදීම ඖෂධ මිල පාලනය කරමින් ජනතාවට කෝටි පනහක මුදලක් ඉතිරි කර දී සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට කි‍්‍රයා කළ බව ද හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා කී ආකාරයට දත්ත පද්ධතියෙන් මැකුණු බව කී ඖෂධ වර්ග ඇතුළත් ලේඛනය සාමාන්‍ය පරිදි ලිපි ගොනුවල තවමත් පවතින බව ද වැඩි මිල ගණන්වලට 2015 – 2019 යන කාලයේදී ඖෂධ මිලදී ගත් බවට කරන ලද චෝදනාව පිළිනොගන්නා බව ද දැඩිව ප‍්‍රකාශ කළේය.

තමාට චෝදනා කරන අය මේ වනවිට සුපිරි වාහන, මිලියන 200 ක් වටිනා නිවාස, පක්ෂ කාර්යාල මිලදී ගෙන ඇති බව ද හෝටල් මිලදී ගැනීමට සොයන බවට ද චෝදනා කළේය.

වර්තමානයේදී ඇන්ටිජන් කට්ටල මෙන්ම කොවිඞ් මර්දන එන්නත් වැඩි මිලට මිලදී ගැනීමට කි‍්‍රයා කරන රාජ්‍ය ඇමැතිවරයා ඊට පෙර දින තමා සම්බන්ධයෙන් කරන ලද සියලූ චෝදනා අසත්‍ය හා අමූලික බොරු යැයි ද දැඩිව කියා සිටියේය.

ඊට විනාඩි කිහිපයකට පසුව ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා අදහස් දැක්වීමට පටන් ගත් අතර, එහිදී ඇමැතිවරයා රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් තවදුරටත් චෝදනා කරමින් කියා සිටියේ තමා ඊට පෙරදින කරනු ලැබුවේ 2015 වසරේ මුල් මාස 10 තුළ මන්තී‍්‍රවරයා විසින් කරන ලද දූෂණ සම්බන්ධයෙන් පමණක් බවත් ඉන් අනතුරුව වසරවලදී කර ඇති දූෂණ පිළිබඳව ඉදිරියේදී කරුණු අනාවරණය කරන බවත්ය.

එහිදී දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් ඇති වී ඊට ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්තී‍්‍රවරු ද එක්වෙනු දක්නට ලැබිණ. එහිදී ආණ්ඩු පක්ෂයෙන් හොරු – හොරු යැයි රාජිත මන්තී‍්‍රවරයාට චෝදනා කරනු ඇසිණ.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැතිව සිටියදී 2015 අංක 25 දරන පනත මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවනු ලැබුවේම වංචනික කි‍්‍රයා කිරීමට බවත් එම ආයතනය දුර්වල, අංගවිකල, සංජනනීය ආබාධ සහිතවූවක් බවටත් චෝදනා කළේය. ඊට වංචනික සභාපතිවරයකු පත් කරගත් අතර ඔහුට විරුද්ධව ඇති නඩු තීන්දුව කියවන්නැයි ද ජයසුමන මහතා කීය.

සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැති කාලයේදී ඖෂධ මිල ගණන් අඩු කළ බව කිව්ව ද එක් පිළිකා ඖෂධයකින් රුපියල් මිලියන 830 ක වංචාවක් සිදුකර ඇති බව ද, පිළිකා ඖෂධ ගෙන්වීමෙන් තවත් විශාල වශයෙන් වංචා සිදුකර ඇති බවට ද චෝදනා කළේය.

ඊට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීමට යැයි කියමින් බුලත්සිංහල ප‍්‍රදේශයෙන් රුපියල් මිලියන 90 කට ගොඩනැඟිල්ලක් මිලට ගෙන එය අලූත්වැඩියා කිරීමට තවත් රුපියල් මිලියන 40 ක් වැයකර ඇතැයි ද කීය. ඔහුගේ කාලයේදී මෙරට තුළ සේලයින් නිෂ්පාදනය කිරීමට නොහැකි වූයේ, එම නිෂ්පාදන සමාගම්වලින් ‘කප්පම්’ ඉල්ලූ නිසා යැයි ද රාජ්‍ය ඇමැතිවරයා සේනාරත්න මන්තී‍්‍රවරයාට චෝදනා කළේය.

තමන් රේන්ජ්රෝවර් වාහනයක්, කෝට්ටේ ප‍්‍රදේශයෙන් මිලියන 200 ක් වටිනා නිවසක්, හෝටල් මිලදීගෙන ඇත්නම් ඒ බව ඔප්පු කළහොත් ඒවා සේනාරත්න මහතාගේ නමට පවරා දීමට කටයුතු කරමින් රාජ්‍ය ඇමැති ධුරයෙන් මෙන්ම මන්තී‍්‍ර ධුරයෙන් ද ඉල්ලා අස්වන බවට ද ජයසුමන මහතා අභියෝගයක් කළේය.

මේ අතර තම මහාචාර්ය උපාධිය ලබාගනු ලැබුවේ සපුරාලිය යුතු ලකුණු ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක් ලබාගනිමින් බව ද රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ පශ්චාත් උපාධිය ලබාගත් පරීක්ෂකයාම තමන් හට මහාචාර්ය උපාධිය ලබාදීමේ පරීක්ෂණය පැවැත්වූ බව ද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ උණුසුම් ප‍්‍රතිචාර මැද කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment