ලබන ඔක්තෝබර්වලදී පත්වන අලු‍ත් ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්

632

ජාජබ නායක අනුර කුමාර දිසානායක ලොස් ඇන්ජලීස් ජන හමුවකදී කියයි

ලබන වසරේ ඔක්තෝබර් මේ කාලය වන විට ලංකාවේ අලු‍ත් ආණ්ඩුවක්, අලු‍ත් පාලනයක්. ඒ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත්කර ගත යුතුයි යැයි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ජන හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපේ ඇස් ඉදිරිපිට අධිකරණයෙන් අපරාධකරුවන් ලෙස දඬුවන් ලබන අය, අධිකරණයෙන් මරණ දඬුවම් හිමිවූ අය, බරපතළ අපරාධ කළ අය, අපරාධවලට හවුල් වූ අය, රටක් පාලනය කරනවා. නීතියේ විධානයේ ආධිපත්‍යය නැති රටක් බවට අපේ රට පත්වී තිබෙනවා. අපරාධ ගහන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. එහෙම රටක් අපිට ඕනැද? මේක වෙනස් කරන්න වුවමනා නැද්ද? මීට පෙර සිටියේ පාලකයාට බයේ, ඇකිළුණු ජනතාවක්. ඇමැතිවරයා එනකොට කාණුවට බහිනවා. ගමේ දේශපාලන අධිකාරිය විසින් බලය ගත්ත චණ්ඩි ටිකක් හිටියා. ගම්මු බිය වැද්දුවා. අද පළමු වතාවට ඇමැතිවරයා ජනතාවට බිය වී තිබෙනවා. ලංකාවේ ජනතාව දේශපාලන වශයෙන් මුවහත්වී, සක්‍රීයවී තිබෙනවා. එය කොතරම්ද කියනවා නම්, ලක්ෂ 69ක ඡන්ද ලබා බලයට පත්වූ ජනාධිපතිවරයා පළවා හැරීමට ජනතාව සමත්වී තිබෙනවා. අද ඉන්නේ වෙනස්ව සිතිය හැකි ජනතාවක්. එය අපට හොඳ අවස්ථාවක් උදාකර තිබෙනවා. ඉස්සර යූ.එන්.පී. හෝ ශ්‍රී ලංකා පාලනයක් ගොඩනඟා ගත් ජනතාව ඒ අවස්ථාවල අපි දිහා බැලු‍වේ, වොචර් ජොබ් එකට අපෙනුත් කිහිප දෙනෙක් යවන්න ඕන කියලා. පාර්ලිමේන්තුවේ කෑ ගහන්න හතර පස්දෙනෙක් යවන්න ඕන කියන චේතනාවෙන් තමයි අපිව තෝරා ගත්තේ. අපේ ආණ්ඩුවක් හදන්න එදා ජනතාවට වුවමනාව තිබුණේ නැහැ. අද ලංකාවේ දේශපාලනය වෙනස් වෙලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා.

බලය ලබාගැනීම සඳහා අවස්ථාව උදාවෙලා තිබුණත්, ඡන්ද පවත්වන්නේ නැතිව කොහොමද, බලය ලබාගන්නේ? ජනාධිපතිවරණය නොපවත්වා යන්න බැහැ. ලබන වසරේ ඔක්තෝබර් 17ට පෙර අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. අගෝස්තු මාසයේ නාම යොජනා කැඳවිය යුතුයි. ලබන වසරේ ඔක්තෝබර් මේ කාලය වන විට ලංකාවේ අලු‍ත් ආණ්ඩුවක්, අලු‍ත් පාලනකයක්. ඒ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත්කර ගත යුතුයි. ඒ සඳහා මතවාදී අරගලයක් කළ යුතුව තිබෙනවා. අද ප්‍රධාන මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍ය ජනතාව අතරට ගිහින් තිබෙනවා. අද අප සහ විදෙස්ගත ඔබ සමීප කරන්න ප්‍රධාන ලෙස ඉවහල් වුණේ සමාජ මාධ්‍ය. අද ඔබට සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රබල බලපෑමක් කළ හැකියි. ලෝකය දැකපු, ලෝකයේ සමාජ ආරක්ෂණය අත් විඳපු, සෞඛ්‍ය රැකවරණය, අධ්‍යාපන රැකවරණය, රැකියාවන් පිළිබඳ අත්දැකීම් ලද ප්‍රජාවක් ලෙස ඔබට අපේ රටේ සහෝදර ජනතාව දැනුවත් කළ හැකියි. ඒගොල්ලන් අපිට වඩා ධනය තිබෙනවා. එයාලට රාජ්‍ය බලය තිබෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපිට වඩා උඩින් ඉන්නවා. ඡන්දයකදි ඒ අය සාධක ගණනාවකින් අපට වඩා උඩින් ඉන්නවා. ඒ ඔක්කෝටම වඩා ප්‍රබලයි මහජනයාගේ බලය. ඒ නිසා මහජනයා සංවිධානය කොට ඒ බලයන්ට එරෙහිව පෙළ ගැස්වීම තමයි ජාතික ජන බලවේගයේ කාර්ය භාරය.

බල හුවමාරුවේදී විදෙස්ගත ශ්‍රිී ලාංකිකයන් වන ඔබට ඒ සඳහා විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී විශාල කාර්ය භාරයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉටුකළා. එය කරන්න නම් අපි අතර යම් එකඟතාවයන්, අපැහැදිලි තැන් නිරාකරණය කර ගත යුතුව තිබෙනවා. ඔබලා කියන දේ හරි, අපි ඔබලාව විශ්වාස කරන්නේ කොහොමද? කියන ප්‍රශ්නය පැන නගිනවා. ප්‍රශ්නය සාධාරණයි. අවස්ථා ගණනාවකදී, විවිධාකාර නායකයන්, විවිධාකාර පොරොන්දු දුන් ආණ්ඩු, පරම්පරා ගණනාවක් ඇති තරම් ඔබව රවට්ටා තිබෙනවා. අපිව අධ්‍යයනය කරන්න, සමීපව ඇසුරු කරන්න. අපි කියන්නේ කුමක්ද කියා තේරුම් ගන්න. එක වෙලාවකදි, මෙතරම් ප්‍රමාද වුණේ අපරාදේ කියලා ඔබට සිතේවි.

advertistmentadvertistment
advertistmentadvertistment