මිසදිටු අවලෝකිතේෂ්වර රිමාන්ඩ්

482

මානසික තත්ත්වය ගැන මුල්ලේරියාවෙන් වාර්තාවක් ගැනීමට නියෝග

මුදල් අතින්වත් නාල්ලන බව කීවත් පර්ස් එකේ ඇමරිකන් ඩොලර් 110ක් හා පවුම් 15ක්

හිටිහැටියේ කරළියට එන බෝධිසත්වයන් හා දේවදත්තයන්ගෙන් බුදු දහම රැකගැනීමට නීතිපති පසුබට වන්නේ නෑ – නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් පෙනී සිටිමින් බෞද්ධ ධර්මය විකෘති කර දේශනා කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ කොඩිතුවක්කු කංකානම්ලාගේ මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (17දා) නියෝග කළේය.

ඔහුව වහාම මුල්ලේරියාව අංගොඩ ජාතික මානසික රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා මුල්ලේරියාව ජාතික මානසික විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂවරියට නියෝග කළේය.

එම සැකකරු යූ ටියුබ් නාලිකා ඔස්සේ හා ප්‍රසිද්ධ දේශනවලින් සිදුකර ඇති ප්‍රකාශ මගින් බෞද්ධ ධර්මය විකෘති කර ඇති බව පෙනී යන බවත් එකී දේශන සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි උගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙන්ම සැකකරු වෙනුවෙන් පෙනී සිටි උගත් ජනාධිපති නීතිඥවරයා ද අධිකරණය හමුවේ දක්වන කරුණුවලට විත්ති කූඩුවේ සිටි සැකකරු අංගචලනයෙන් දැක්වූ ප්‍රතිචාර තම අධිකරණය නිරීක්‍ෂණය කළ බවත් ඒ අනුවම ඔහු මානසික ව්‍යාකූල තත්ත්වයකින් පසුවන බවට තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වා දෙමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම සැකකරු ඇතුළු හිටිහැටියේ කරළියට එන බෝධිසත්වයන් හා දෙව්දත්තයන් ඇතුළු මානසික හීනතාවයෙන් පෙළෙන පුද්ගලයන් විසින් සිදුකරන කටයුතු මැඩපවත්වා බෞද්ධ ධර්මයට සිදුවන හානි වළක්වා ගැනීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන බැවින් නීතිපතිවරයා එවැනි පුද්ගලයන්ට එරෙහිව ගත හැකි උපරිම පියවර ගැනීමට පසුබට නොවන්නේ යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.

බෞද්ධ ධර්මයට එවැනි අකටයුතුකම් නිසා සිදුවන හානිය වළක්වා ගැනීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙසට ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇති බවත් එයට අමතරව මෙම සැකකරුගේ අයුතු ක්‍රියාදාමය සම්බන්ධයෙන් තවත් පැමිණිලි රැසක් ලැබී ඇති බවත් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසීය. කොළඹින් දුරබැහැර ප්‍රදේශයක ඉපිද ඇති සැකකරු අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා 2011 වසරේදී විවාහ වී 2012 වසරේදී ඊජිප්තුවට ගොස් ඇමරිකානු හමුදා නිලධාරියකුගේ නිවසේ සුනඛයන් රැකබලා ගැනීමේ රැකියාවක නිරතව ඇති බවත් වීසා කාලය අවසන් වීමෙන් පසුවත් නීති විරෝධී අන්දමින් වසර හතරක් එම රටේ රැඳී සිටියදී එරට බලධාරීන් ඔහුව රටින් පිටුවහල් කර ඇති බවත් ඔහුව රටින් පිටුවහල් කර ඇත්තේ ඩොලර් 4500ක දඩයක් අයකර ගැනීමෙන් පසුව බවත් හෙතෙම අධිකරණයට පැවසීය.

එලෙස පසුගිය 1 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඔහුව කැලණිය ප්‍රදේශයේ පදිංචි පියතිස්ස නමැත්තාට අයත් සුඛෝපභෝගී වාහනයක් කුලියට ගෙන කටුනායක සිට කැඳවාගෙන පැමිණ එකී රංගනයේ යෙදී ඇති බවත් ඒ සඳහා කැලණිය විහාරස්ථානයෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත් අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස් සැරයන්වරයකු හා තවත් වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් පිරිසක් එකී ක්‍රියාවලිය සංවිධානය කර ඇති බවත් අධිකරණයට පැවසීය.

ඔහු ලංකාවට පැමිණි දින සිට ගෙවුන දින 12ක කාලය තුළදී රුපියල් ලක්‍ෂ 15ක පමණ මුදලක් වැය කර ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයකුගේ බිරිඳට අයත් නිවසක් කුලියට ගෙන සැඟවී සිටියදී බවද පැවසීය.

පසුගිය සිකුරාදා අධිකරණය හමුවේ කරුණු වාර්තා කර අධිකරණ නියෝග ලබාගත් පසුවත් සිය සුපුරුදු ක්‍රියාදාමය වෙනස් කර නොමැති එම සැකකරු 2016 වසරේ සිට යූ ටියුබ් නාලිකා පහක් පවත්වාගෙන යමින් බෞද්ධ ධර්මයට අපහාස වන අයුරින් දේශන පවත්වා ඇති බවද අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඔහුගේ එකී ක්‍රියාදාමය අනුව ප්‍රබල මහජන කැළඹීමක් ඇතිවී ඇති බැවින් විමර්ශන අවසන් වනතෙක් ඇප ලබා නොදෙන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිය සේවාදායකයා බෞද්ධ ධර්මය හෝ ආගමික නායකන් කිසිවකු විවේචනය කර නොමැති බව අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඔහුට එරෙහිව එල්ල වී ඇත්තේ ඇප ලබාදිය හැකි චෝදනා බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම සැකකරු සිදුකර ඇති දේශනා සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි මතවාදයක් ඇතැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එය සුළු කොට තැකිය නොහැකි ක්‍රියාවක් වන්නේ යැයි පෙන්වා දෙමින් විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. ඉදිරිපත් වී ඇති චෝදනා ඇප දිය හැකි වුවත් ඒවා විමර්ශන තත්ත්වයේ පවතින අවස්ථාවකදී ඇප පනතේ 14 (1) (අ) වගන්තිය නොසලකා කටයුතු කිරීමට තම අධිකරණයට නොහැකි බවද පෙන්වා දුන්නේය.

නීතිඥ අකිල අමුණුගම, සම්පත් විදාන, නවින් ජයමාන්න හා නීතිඥ සද්ධාසේන ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එම සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

මුදල් අතින්වත් නාල්ලන අයකු යැයි කියන ඔහුගේ මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා ශ්‍රාවකයන් පත්කර ඇති බවත් අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එසේ නමුත් ඔහු භාරයේ තිබූ මුදල් පසුම්බියේ ඇමරිකානු ඩොලර් 110 ක මුදලක් සහ පවුම් 15ක මුදලක් තිබූ බවද අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක, පින්තූරය – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment