හිරගෙවල් උතුරයි

227

සිරගත වන පිරිස වසරක් තුළ සියයට 300කින් නැගලා

බන්ධනාගාරගත වන රැඳවියන්ගේ ප්‍රතිශතය වසරක් තුළ සියයට තුන්සියයකින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ නිසා මෙරට පිහිටි බන්ධනාගාර විසිඅටෙහි විශාල තදබදයක් ඇති වී තිබේ.

බන්ධනාගාර තුළ ඇති වී තිබෙන මෙම තදබදය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය) ගාමිණි බණ්ඩාර දිසානායක මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ යම්කිසි තදබදයක් පවතින කතාව සත්‍යයක් බවයි.

2022.12.31 වනවිට මෙරට බන්ධනාගාර තුළ රඳවාගත හැකි රැඳවියන්ගේ සංඛ්‍යාව 10,384ක් වුවත් ඊයේ (16 වැනිදා) වන විට රැඳවියන් ගණන 32,400 දක්වා වැඩි වී ඇතැයි ද ඒ මහතා කීය. නමුත් මින් දහසක් පමණ නිදහස ලබන්නට නියමිතව තිබූ බැවින් එම ගණන 31,000 ක් පමණ දක්වා අඩුවන බවද ඒ මහතා සඳහන් කළේය.

බන්ධනාගාරගත වන රැඳවියන් ගණන ඉහළ යෑම නිසා රජය සතු රෝහල් දෙකක් (බස්නාහිර සහ නැගෙනහිර) හඳුනාගෙන ඒවාට පිරිසක් යොමු කිරීමටත් වැලිකඩ පිහිටි ගොඩනැගිල්ලක් හා තවත් ඉඩකඩ සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ රැඳවියන් තැබීමටත් පියවර ගනිමින් සිටින බවද ඒ මහතා කීය. යුක්තිය මෙහෙයුම නිසා අත්අඩංගුවට ගන්නා පිරිසක් බන්ධනාගාරගත කිරීම මෙම තදබදයට එතරම් බලපා නැතැයි ද නමුත් කුමන හෝ හේතුවක් මත බන්ධනාගාරගත වන රැඳවියන් ගණන ඉකුත් කාලයේ ඉහළ ගොස් ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළේය.

මෙම තදබදයට වහා විසඳුම් දීමට පියවර ගනිමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment