ආයුර්වේද පනත සංශෝධනය කළේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ නිපුණතාව ඇති කිරීමටයි – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

91

චැනල් 4 වීඩියෝ මානව හිමිකම් සැසිවාර ළඟ තිබියදී හැමදාම එළියට දානවා – මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීලපොපෙ)

චැනල් 4 වීඩියෝව ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – නලින් බණ්ඩාර (සජබ)

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය කර්මාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කාර්යක්ෂමතාවය ඇති කිරීම සහ නිපුනතාවය ඇති කිරීම වෙනුවෙන් ආයුර්වේද පනත සංශෝධනය කළ බව රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. එහිදී ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කෙරිණ.
විවාදය ආරම්භ කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා – මෙම සංශෝධනවලින් බොරැල්ල ආයුර්වේද රෝහල ආයුර්වේද ජාතික රෝහලක් ලෙස පත් කරනවා. අනෙක් රෝහල් ශික්ෂණ රෝහල් බවට පත් වෙනවා.

ආයුර්වේද වෛද්‍ය සභාවේ, පර්යේෂණ කමිටුවට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් එක් කරනවා. පර්යේෂණ දිරිගැන්වීමට පර්යේෂණ කාරක සභාවටත් විශ්වවිද්‍යාල නියෝජන ලබා දෙනවා.

ඔසු උයන් හා ඔසු වගා සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. පසුගිය අයවැය යෝජනාවලදී ජනපතිවරයා ඉදිරිපත් කළ පරිදි ඖෂධීය කංසා වගා කිරීමට අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා. නමුත් පනතේ තියෙන්නේ ඔසු උයන් හා ඔසු වගා ගැන පමණයි කතා කරන්නේ.

මේ යෝජනා කංසාවලට පමණක් අදාළ කරගන්න එපා. තවත් ඖෂධ ශාක වර්ග රැසක් තියෙනවා. ඒවා වාණිජ වගා ලෙස ඇති කිරීමට අවශ්‍යයි. ඖෂධ වගා කළ යුතුයි. අලුත් දෙයක් කරන විට ඉඩ ලබා දෙන්න ආයුර්වේදය කාර්යක්ෂම කළ යුතුයි.

පාරම්පරික වෛද්‍යවරුන් සුදුසුකම් බලා ලියාපදිංචිය ලබා දෙනවා. ගුණාත්මක භාවය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ)

මේ පනත නංගි පෙන්නලා අක්කා නොවෙයි ආච්චි දෙනවා වගේ එකක්. 1961 ගෙනා පනත දැන් සංශෝධනය විය යුතුයි. ගංජා වගාවත් සම්බාහන තුළින් ගණිකා වෘත්තියත් පාලනය කරන්න ගත්ත පියවරක් ලෙස මේ සංශෝධන දැක්විය හැකියි. සමස්ත ආයුර්වේදයට මේ තුළින් සෙතක් නෑ.

අද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රට තුළ ඉතා ප්‍රචලිතයි. දේශීය වෛද්‍ය ක්‍රමය රටේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට තවම ඇතුල් කර නෑ. 2017 දී ඉන්දියාවත් ඇතුල් කළා.

සම්බාහනය ඉතා වැදගත් ශිල්ප ක්‍රමයක්. නමුත් මේ සංශෝධන තුළින් එයත් ගණිකා වෘත්තිය දෙසට ගෙන යනවා. මේ පනත හදපු කණ්ඩායම කවුද කියලා හෙළි කරන්න. සංචාරකයන් ගෙන්වීම, ගංජා අපනයනය ඇතුළු වෙනත් යම් කණ්ඩායම් මෙහි සිටිනවා. වහාම නිවැරදි පනත් ගේන්න. ආයුර්වේද ක්‍රමය ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් අපිත් එක්ව හොඳ පනතක් හදමු. ආයුර්වේද මුවාවෙන් වෙන වෙන වැඩ කරන්න එපා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

චැනල් 4 එක වීඩියෝ කලින් එලියට දාන්නේ මානව හිමිකම් සැසිවාරය ළඟ තිබියදීයි. අතීතයේත් එහෙමයි. නාලිකාව හරහා පැමිණිල්ල ඉදිරිපත් කරන පුද්ගලයා මවුලානා නමැත්තෙක්. චන්ද්‍රකාන්තන් මන්ත්‍රීගේ මාධ්‍ය ලේකම් ලෙස සිටිනවා. ස්විස්ටර්ලන්තයේ ඉන්නේ. මොහුට රුපියල් ලක්ෂ 700 ක් විදේශ රටවලින් ඇවිල්ලා. මොහු දෙහිවල නිවසක් ලක්ෂ 500 ට විකුණලා. වාහනයත් විකුණලා ලක්ෂ 140ක් ගිණුමට ඇවිල්ලා. දකුණේ සිංහල නායකයන් බලයට ගෙන එන්න පාස්කු ප්‍රහාරය එල්ල කළ බව මොහු පවසනවා. ඊළඟ මැතිවරණයට වෙන මතයක් හදන්නයි මේ උත්සාහ කරන්නේ. මුස්ලිම් අන්තවාදීන් 9 ක් මරාගෙන මැරෙනවා සිංහල නායකයකු බලයට ගේන්න. එහෙම වෙනවාද නෑ. මේ ප්‍රහාරය සිදුවුණේ අන්තවාදී අවශ්‍යතා මත කියලා සියල්ල හෙළි වුණා. ජනතාව අතර බෙදීමක් ඇති කරන්නයි මේ උත්සාහ කරන්නේ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල (සජබ)

ආයුර්වේද රෝහල් රැසක් ක්‍රියාත්මක වන්නේ පළාත් සභා මගින්. දැන් පළාත් සභා අක්‍රීයයි. ඒ නිසා එම රෝහල්වල භෞතික සම්පත් දියුණුවක් නෑ. මේ පාඩුව අහිංසක රෝගීන්ටයි. මේ රෝහල්වල සේවක හිඟය උපරිමයි. ආයුර්වේද රෝහල් පවත්වාගෙන යෑම දුෂ්කරයි.

මේ පනතේ හොඳ යෝජනා පවතිනවා. පර්යේෂණ කමිටුව මගින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ආයුර්වේද ගම්මාන ඇති කළ යුතුයි. ඒ සඳහා හොඳ ඉල්ලුමක් සංචාරකයන් අතර තියෙනවා.

පත් කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

ආයුර්වේදයේ ගුණාත්මකභාවය ඉහළ දැමීමට එකඟයි. මේ පනත කෙසේ බලපායි ද කියා වෘත්තීයේ නියැලෙන්නන්ට සැක මතුවෙලා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ)

මේ පනත හොඳ වුවත් යම් අරමුණු කිහිපයකුත් තියෙනවා. ගංජා නීතිගත කිරීම, මර්දනය, තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම ආදිය තියනවා. යම් අරමුණු නැතිව කරනවා නම් මේක හොඳයි.

පාස්කු ප්‍රහාරය බලය ලබා ගැනීමට එල්ල වූ ප්‍රහාරයක්. පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයා කළ ප්‍රකාශය මත පරීක්ෂණ කළ යුතුයි. එසේ නොකර ආණ්ඩුවේ මන්ත්‍රීවරු යොදවා චැනල් 4 එකට පහර ගහනවා. ඔහු ඉතා පැහැදිලි කරුණු දක්වනවා වහාම මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න. අසාද් මව්ලානා කළ ප්‍රකාශය ගැන වහාම සොයා බලන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ)

පාරම්පරික හෙළ වෙදකම නැංවීමට හා ලියාපදිංචියට නිවැරදි ක්‍රමවේද ඇති කරන බව කියනවා. එය හොඳ ක්‍රියාවක්. මේ වෙදකම අපට ඓතිහාසික සම්පතක්.

පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම් මුල්‍ය වංචාවක් කරලයි රට පැනලා තියෙන්නේ. මානව හිමිකම් සමුළුව අභියසදී මේ හැම චෝදනාවක්ම එන්නේ. එය හොඳින් අවබෝධ කරගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. ඩී. අලවතුවල (සජබ)

හෙළ වෙදකම ගැන අවධානය යොමු කිරීම අඩුයි. හෙළ වෙදකම හරහා ලෝකයටම හොඳ සේවයක් කළ හැකියි.

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ

අවුරුදු දෙකකුත් මාස 10 ක් මම පාර්ලිමේන්තුවට ගෙනාපු කංසා නීති ගත කර වගා කර පිටරට යවන්න කළ යෝජනාව මේ පනත මගින් ඉදිරියට ගෙන යෑමට ගත් පියවරට ස්තුතියි. මම කතා කළ දේ අද ඉටු වෙනවා. මුලින් මේ යෝජනාව අයවැයට දාලා අනුමැතිය ගත්තා.

පනත් කෙටුම්පත සම්පාදන විය.

පාර්ලිමේන්තුව යළි අද (06 දා) පෙරවරු 9.30 ට රැස් වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment