ලංකාවේ පාතාල සෙල්ලම් දදා ඩුබායිහි සැඟවී සිටි මන්නා රමේෂ් රඳවාගෙන ප්‍රශ්න කරයි

164

මිනිස් ඝාතන 10ක් ගැන චෝදනා

තල්දූවේ ‘පාතාල රජා’

කප්පම් ගැනීම්, මැණික් පතල් අල්ලා ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ජයටම කරලා

මිනිස් ඝාතන, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරත වෙමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි පාතාල කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (07දා) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

ඊයේ අලුයම 4.30ට ඩුබායි සිට පැමිණි ඹඛ 226 ගුවන් යානයේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ රැගෙන ආ මන්නා රමේෂ් අපරාධ පරීක්‍ෂණ මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබිණි.

අධිකාරි මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් ඩුබායි පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සිය බිරිඳ සමග මෝටර් රථයක යමින් සිටියදීය.

ප්‍රතිවිරුද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් ඩුබායි පොලිසිය වෙත ලබාදී තිබූ ඔත්තුවකට අනුව මන්නා රමේෂ් ගමන්ගත් මෝටර් රථයේ මත්ද්‍රව්‍ය ඇති බව සැකකර එම රථය නතර කිරීමට නියෝග කර තිබිණි.

එහෙත් මන්නා රමේෂ් ඩුබායි පොලිසියේ නිලධාරීන්ගේ නියෝග නොතකමින් නොනවත්වා රිය ධාවනය කිරීම නිසා එරට පොලිස් නිලධාරීන් රථය ලුහුබැඳ ගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

රථය පරීක්‍ෂා කිරීමේදී එහි මත්ද්‍රව්‍ය නොතිබූ අතර මන්නා රමේෂ්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබාගෙන තිබූ නිසා එරට පොලිසිය විසින් ඔහු සිය භාරයට ගෙන තිබිණි.

මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඩුබායි පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම්දී ඇති අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ඩුබායි පොලිසිය අතර මාස 02කට අධික කාලයක් තිස්සේ කළ සාකච්ඡා සහ නීතිමය කටයුතුවලින් පසුව ඔහු මෙරටට එවීමට කටයුතු කර තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මීට දින කීපයකට පෙර ඩුබායි බලා පිටත්ව ගිය අතර නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු ඊයේ අලුයම මෙම පාතාල නායකයා මෙරටට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

මන්නා රමේෂ්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කිරීම ඊයේ සිට ආරම්භ කර තිබෙන අතර අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබාගැනීමේ නියෝග ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

අවිස්සාවේල්ල තල්දූව ග්‍රාමයේ හැදුණු වැඩුණු මහේෂ් ප්‍රියජනක පාතාල ලෝකයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන්නේ මීට වසර 10කට පමණ පෙරය.

මත්ද්‍රව්‍ය ජාවාරම්, මැණික් පතල් බලහත්කාරයෙන් අල්ලා ගැනීම් සහ පෙම්වතියන් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් මත මහේෂ් ප්‍රියජනක අවිස්සාවේල්ල සහ තල්දූව ප්‍රදේශවල විවිධ පුද්ගලයන් සමග ගැටුම් ඇති කර ගත්තේය.

මන්නා පිහි යොදාගෙන මොහු විවිධ පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීම, තුවාල කිරීම නිසා ‘මන්නා රමේෂ්’ යන අන්වර්ථ නාමය මොහුට පටබැඳී තිබිණි.

මන්නා රමේෂ්ගේ පෙම්වතිය සමග සබඳතාවක් ඇතිකර ගැනීමට ගිය තල්දූවේ තරුණයකු කපා කොටා ඝාතනය කිරීම, මැණික් ව්‍යාපාරිකයකු සහ තවත් අයකු මරා දැමීම, කොන්ත්‍රාත්තුවක් මත තවත් පුද්ගලයන් සිව්දෙනකු අවස්ථා හතරකදී ඝාතනය කිරීම, අවිස්සාවේල්ල තල්දූවේදී ත්‍රිරෝද රථයක යමින් සිටි තරුණයන් තිදෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් 21 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන 10ක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

ලංකාවේ පාතාල සෙල්ලම් දදා ඩුබායිහි සැඟවී සිටි මන්නා රමේෂ් රඳවාගෙන ප්‍රශ්න කරයි

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටින කොටගෙදර පොඩ්ඩා නමැති පාතාල නායකයා මන්නා රමේෂ්ගේ ප්‍රතිවාදියා වන අතර මොහුගේ කල්ලිය සමග ඔහු නිතර ගැටුම් ඇති කරගෙන තිබිණි.

කොටගෙදර පොඩ්ඩාගේ කල්ලිය විසින් මන්නා රමේෂ්ගේ වැඩිමහල් සොහොයුරාට අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල කිරීමෙන් පසු රමේෂ් හොර රහසේම තම බිරිඳ සමග ඩුබායි රාජ්‍යයට පලා ගියේය. ඩුබායි රාජ්‍යයට පලායෑමෙන් පසු එහි අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් මන්නා රමේෂ් මෙරට පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබාගැනීමට පටන් ගත්තේය.

තම සොහොයුරාට පහරදී සදාකාලික අබ්බගාතයකු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමට නියෝග කර තිබුණේද මන්නා රමේෂ් විසින්ය.

මේ අතර අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට ඩුබායි සිට දුරකථනයෙන් කතා කර ඔහු සහ ඔහුගේ බිරිඳ දරුවන් ඝාතනය කරන බවට මරණීය තර්ජන එල්ල කිරීමටද මන්නා රමේෂ් කටයුතු කළේය.

රත්නපුර, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබාගැනීමට ද මන්නා රමේෂ් කටයුතු කර තිබිණි.

මන්නා රමේෂ්ගේ පාතාල කල්ලියට ඇති බිය නිසා බොහෝ ව්‍යාපාරිකයෝ ඔහුට කප්පම් මුදල් ලබාදී ජීවිතය බේරාගත්හ. ඇතැම් මැණික් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට අමතරව ඔවුන්ගේ මැණික් පතල් ද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට මන්නා රමේෂ් කටයුතු කළේය.

කප්පම් ලබා ගැනීමට අමතරව මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටි මන්නා රමේෂ් සිය ගෝල බාලයන් යොදවා ජාවාරම ජයටම කරගෙන ගියේය.

ප්‍රතිවාදී ජාවාරම්කරුවන්ට පහරදීම, ඔවුන් ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙයි.

මන්නා රමේෂ් විසින් අවිස්සාවේල්ල, රත්නපුර, තල්දූව ඇතුළු ප්‍රදේශ ගණනාවක් පුරා පතුරුවාගෙන සිටි භීෂණය නිසා එම ප්‍රදේශවල ජනාව දැඩි බියකින් ජීවත්ව සිටියහ. මන්නා රමේෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ පුවත ඇසීමෙන් පසු මේ ප්‍රදේශවල ඇතැම් පිරිස් රතිඤ්ඤා පත්තු කරමින් සිය ප්‍රීතිය පළකර තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

ඡායාරූපය – ටී. කේ. ජී. කපිල

හේමන්ත රන්දුණු, කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment