සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට දොර ඇරේ – ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35,000 ක්

172

දේශීය කෙළිබිමේ සුවිශාලතම හා ප්‍රමුඛතම ක්‍රීඩා එකතුව ලෙස සැළකෙන “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” මෙවර ද පැවැත්වීමට සංවිධායකයන් වන අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දිවයිනේ සිව්දෙස විසිරී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා දක්ෂතා දැක බලා ගැනීම හා ඇගයීම උදෙසා වාර්ෂිකව “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” ක්‍රියාත්මක කෙරේ. මලල ක්‍රීඩාවට අමතරව තවත් ක්‍රීඩා 30 කින් “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” සමන්විත වන අතර ඒ සඳහා සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 35,000 කට ආසන්නය.

ඒ අතර ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩීකාවන් මෙන්ම ජාතික මට්ටමේ අත්දැකීම් සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. මෙවර ක්‍රීඩා උළෙලෙහි ජවන හා පිටිය ඉසව් සහිත මලල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 23, 24, 25, 26 සහ 27 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. අවුරුදු 20 න් පහළ, අවුරුදු 18 න් පහළ, අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 14 න් පහළ යන වයස් සීමාවන් යටතේ බාලක සහ බාලිකා තරග ඉසව් එයට ඇතුළත් කොට තිබේ.

මෙවර ක්‍රීඩා උළෙලට අයත් කණ්ඩායම් ක්‍රීඩා සහ බර පංති ක්‍රීඩා අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන අංශය පියවර ගෙන තිබේ. එහි පළමු අදියර යටතේ ක්‍රීඩා 11 ක් ද දෙවන අදියර යටතේ ක්‍රීඩා 09ක් ද තෙවන අදියර යටතේ ක්‍රීඩා 10 ක් ද පැවැත්වේ. පළමු අදියර තරග සැප්තැම්බර් 16 දින ද දෙවන අදියර තරග සැප්තැම්බර් 23 දින ද තෙවන අදියර තරග ඔක්තෝබර් 07 දින ද ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය, ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන) උපාලි අමරතුංග මහතා අනාවරණය කළේය.

මෙවර මාර්ග ධාවන තරගය ඔක්තෝබර් මස 15 වන දින ගාල්ල නගරයේදී ක්‍රියාත්මක කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment