ගිනි තැබීමෙන් තෙල්දෙණියේ ගම්මිරිස් වගාබිම් විනාශයි

196

“බොහොම අමාරුවෙන් මේ වැල් උස්මහත් කරගත්තේ. ගම්මිරිස් අක්කර පහක් පමණ සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වුණා. ගම්මිරිස් කියන්නේ පරම්පරා ගාණක් අස්වැන්න ගන්න පුළුවන් බෝගයක්.

එලෙස නියඟයෙන් විඳින පීඩාව මෙන්ම කැලෑ ගිනි තැබීම් නිසා දහඩිය මහන්සියෙන් වගා කරගත් අක්කර ගණන් වූ සිය බෝග වගාවන් අළුදූලි බවට පත්වූ ගොවියන්ගේ හදවතින් බුර බුරා නැගෙන ගිනි ජාලාවන් කිසිවෙකුටත් නොපෙනීම තවත් ඛේදවාචකයකි. මෙලෙස වැඩි වශයෙන් කැලෑ ගිනි තැබීම් නිසා විනාශ වන බෝගයක් බවට අද කඳුකරයේ ගම්මිරිස් වගාව පත්ව තිබේ. දිවයිනේ මේ වනවිට ඇතැම් ප්‍රදේශවලට වැසි ලැබෙමින් පැවතියද, මාස ගණනක් පුරා තවමත් වැසි කඳුලක් හෝ නොදුටු ප්‍රදේශ බොහොමයකි. නියං සමයේ කැලෑ ගිනි තැබීම්ද බහුල වශයෙන් සිදුවන අතර එසේ කැලෑ ගිනි තැබීම නිසා පරිසරයේ වෙසෙන සතුන්, භව බෝග විනාශ වෙන අවස්ථා ද බහුලව දකින්නට ඇත.

ගිනි තැබීමෙන් තෙල්දෙණියේ ගම්මිරිස් වගාබිම් විනාශයි

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සඳසිරි දුනුවිල හා මීගහලන්ද ගම්මානවල ගොවියන් ඉතා දුක සේ වෙහෙස මහන්සි වී ඇතිදැඩි කරගත් ගම්මිරිස් වගාවන්ටද මේ ශෝචනීය ඉරණම අත්වී තිබේ. මෙම ප්‍රදේශයන්හි ගම්මිරිස් වගාබිම් අක්කර 50කට අධික ප්‍රමාණයක් කැලෑ ගිනි තැබීම නිසා විශාල වශයෙන් විනාශ වීමෙන් ගොවියන් බොහොමයක් දැඩි සේ පීඩාවට පත්ව සිටිති. සඳසිරි දුනුවිල හා මීගහලන්ද ගම්මාන පාරිසරික හරිත ගම්මාන වන අතර මෙම ගම්මාන දෙකෙහි ගම්මිරිස් වගාව අක්කර 600කට අධික ප්‍රදේශයක් පුරා පැතිර පවතී. කාබනික තත්ත්වයන් යටතේ වස විසෙන් තොර පරිසර හිතකාමී ගම්මිරිස් දේශිය හා විදේශීය වෙළඳපළට වාර්ෂිකව කිලෝග්‍රෑම් ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් දායාද කිරීම මෙම ගම්මානවල ඇති සුවිශේෂත්වයකි. නමුත් ආසන්නයේ ඇති වනාන්තර ගිනි තැබීම නිසා මෙම ගම්මානවල ගම්මිරිස් වගාවට මෙන්ම පරිසරයට හා ආර්ථිකයට සිදුව ඇති හානිය ගණනය කිරීමද අපහසුය.

මේ එම කැලෑ ගිනි තැබීම නිසා සිදු වූ වගා විනාශය පිළිබඳ සඳසිරි දුනුවිල, මීගහලන්ද ගොවි සමිතියේ සභාපති – ඒ. එම්. අබේරත්න කියා සිටියේ මේ ප්‍රදේශයේ අක්කර 600ක පමණ ගම්මිරිස් වගාව සිදු කරනවා. ඒ වගේම එක මුරේකට කිලෝ ලක්ෂ 10ක් 15ක් අපි වෙළඳපළට ලබා දෙනවා. අපේ ගමේ වැඩි පිරිසක් ජීවත් වෙන්නේ මේ ගම්මිරිස් වගාවෙන්.

ගම්මිරිස් වගාව සමග රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. ඒ වගේම අවට ගම්වාසීන්ද ගම්මිරිස් කැඩීමෙන් විශාල ලෙස ආදායම් උපයා ගන්නවා.

මේ විදිහට ගිනි තැබීම් කළාම ඒ සියල්ල විනාශ වෙනවා. මේ ගිනි තැබීම් වළක්වන්න වහාම වැඩපිළිවෙළක් සකස් කරලා මේ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන්න. අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අහිංසක ගම්මිරිස් ගොවියන්ගේ ගම්මිරිස් ටික ආරක්ෂා කරලා දෙන්න. ගම්මිරිස් ගොවියා මහමඟ හිඟාකන තත්ත්වෙට පත් කරන්න එපා.

මීගහලන්ද -විජේරත්න බණ්ඩා ගොවි මහතා අදහස් දක්වමින්

මම අවුරුදු 30ක් තිස්සේ ජීවත් වෙන්නේ ගම්මිරිස් වගාවෙන් ලැබෙන ආදායමෙන්. බොහොම අමාරුවෙන් මේ වැල් උස්මහත් කර ගත්තේ. ගම්මිරිස් අක්කර පහක් පමණ සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වුණා. ගම්මිරිස් කියන්නේ පරම්පරා ගාණක් අස්වැන්න ගන්න පුළුවන් බෝගයක්. මේ විනාශ වුණ ගම්මිරිස් වැල්වලින් ලැබෙන ආදායම ඉදිරි කාලය එක්ක බලනවිට තක්සේරු කරන්නත් බැරි තරම්. දැන් මගේ වයස අවුරුදු 70ක්. මහපොළව එක්ක හැප්පෙන්න පුළුවන්කමක් දැන් නැහැ. අපිට නැගී සිටින්න රජයෙන් හරි ආධාරයක් දෙනවා නම් අපිට ඒක ලොකු ශක්තියක්.

මගේ නම ඩබ්ලිව්. ජී. රම්බණ්ඩා. මගේ වත්ත සම්පූර්ණයෙන්ම ගිනි ගත්තා. ගින්න එනකොටම මම නිවාගත්තා. නැත්නම් අනිත් වතුවලටත් පැතිරෙනවා. මම අඬා වැලපිලා වත්තෙන් ගියා. මට ජීවත් වෙන්න කිසිම දෙයක් නෑ. මම මේකෙන් තමයි ජීවත් වුණේ. මම කියන්නේ මේ ගිනි තබන පුද්ගලයා හොයලා උපරිම දඬුවම් කරන්න ඕනේ. මෙහෙම වගා ගිනි තිබ්බාම අපේ ජීවිතයි අස්ථාවර වෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා මෙහෙම ගිනි තබන පුද්ගලයෝ සොයලා දඬුවම් කරන්න කියලා.

එස්. එම්. ආර්. ජී. ප්‍රේමරත්න කියා සිටියේ අපි අහිංසක ගොවියෝ. අපිට තිබ්බ එකම ආදායම් මාර්ගය නැති වුණා. කැලෑ ගිනි තැබීම නිසා ගම්මිරිස් වගාවන් බොහොමයක් මුළුමනින්ම විනාශ වෙලා. අපි මේ කිසිම ගම්මිරිස් වැලකට රසායනික පොහොර දාන්නේ නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ අසරණ වුණ ගොවියන්ට කිසියම් හෝ සහනයක් ලබාදීලා මොවුන්ගේ වගාවන් යථා තත්ත්වයට පත් කරන ලෙසයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්. කේ. ඩබ්. රන්කෙත්කුඹුර මහතා සඳහන් කළේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කුළුබඩු කර්මාන්තයයි. මෑතක සිට කුළුබඩු බෝග ආශ්‍රිතව තිබෙන වනාන්තර ගිනි තැබීම නිසා එම වගාවන් විනාශවීමේ තර්ජනයකට මුහුණපාලා තිබෙනවා. ගම්මිරිස් වැනි බෝගයකින් පරම්පරා ගාණකට අස්වැන්න නෙලා ගන්න පුළුවන්. මෙවැනි විනාශයන් සිදු කිරීමෙන් ගොවියන්ගේ ජන ජීවිතය අඩාල වෙනවා වගේම රටට ලැබෙන විදේශ විනිමය උත්පාදන හැකියාව වසර ගණනාවකට අහිමි වෙනවා. මෙවැනි ක්‍රියාවන් නවත්වන්න මේ හා සම්බන්ධ අනිකුත් රාජ්‍ය ආයතන ජනතාව හා ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ වගේම විනාශ වූ වගාවන් නැවත ස්ථාපිත කරන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා.
ලලන්ත වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment